කලාකරුවකු වන ඔහු රංගන ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වශයෙන් හැඳින්විය හැකිය. ඞී. බී. නිහාල්සිංහයන්ගේ, ආචාර්ය සොලමන් ෆොන්සේකාවගේම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ද ඇසුර ලබා තමන්ටම අනන්‍ය වූ රංගන විලාසයක් හෙබි ශ්‍රී ලංකාවේ කලාව, ටෙලිනාට්‍ය, වේදිකාව, නිවේදන යන ක්ෂේත්රයන්ගෙන් පෙරළියක් කළ නවීන පරම්පරාවත් සමඟ වැඩක් කළ හැකි අසහාය නළුවෙකුද වන මහේන්ද්‍ර පෙරේරා ‘‘දිවයින’’ සිනමා කලා සමඟ පිළිසඳරකට එක් විය.
මේ දිනවල තිරගතවන ‘‘වැලි පවුරු’’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය කොහොමද?
මිනිස්සුන්ට චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන්න බෑ. මේ තියෙන වාතාවරණයත් එක්ක මුළු රටම මළගෙයක් වෙලා තියෙන්නේ. ඒක නිසා ප්‍රතිචාරයක් ගැන හිතන්න අමාරුයි. මිනිස්සුන්ට චිත්‍රපට බලනවා වගේ මානසික මට්ටමක් නෑ.
ඇතිවුණු ව්‍යසනයත් එක්ක චිත්‍රපට කර්මාන්තයට කොයිවගේ බලපෑමක් ඇති වේවිද?
ඔව් ඉතින් කාලයක් යනකම්ම එන්ටර්ටේන්ට්මන්ට් බිස්නස් කියන එක කඩාගෙන වැටෙනවා. චිත්‍රපටයක් බලලා රස විඳින්න, සිංදුවක් අහලා රස විඳින්න නාට්‍යයක් බලලා රස විඳින්න තිබූ අවස්ථා ඔක්කොම ඇන හිටලා තියෙන්නේ. ගොඩක් වැඩ කල් ගිහිල්ලා දින නියමයක් නැතුවම.
‘‘ගින්දරී’’ චිත්රපයේ වැඩකටයුතු කොහොමද?
ගින්දරී ෂූටින් වැඩ ඔක්කොම ඉවරයි. දෙබස් කැවීමත් අවසන් කළා. පාලකයන් විසින් මේ තත්ත්වය යහපත් අතට ගන්නකම් ඉතින් අපිට මේක විඳවන්න වෙනවා. ඔවුන්ට යානවාහන, ආරක්ෂාව, ආර්ථික වශයෙන් හැම දෙයක්ම තියෙනවා. අපිට කිසිම දෙයක් නෑ අනාරක්ෂිත මට්ටමේ ඉන්නේ. අපිට වැඩත් නෑ තියෙන වැඩ ටිකත් කල් ගියා.
මේ දවස්වල මොනවද ඔබගේ විශේෂ වැඩකටයුතු
මේ දවස්වල ගෙදර තමයි ඉන්නේ ඊට අමතරව රඟපෑම ගැන තියෙන පොත් කියවනවා. ස්ක්‍රිප්ට් දෙක තුනකුත් තියෙනවා ඒවා කියවනවා.
මේ රටේ කලබලකාරී තත්ත්වය ඔබේ වැඩ කටයුතුවලට බලපාලා තියෙන්නේ කොහොමද?
චිත්‍රපට ගණනාවකට කතා කරලා තිබුණා. ඉස්සරහට චිත්‍රපට කරගෙන යන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒවා සාකච්ඡා මට්ටමෙන් තිබුණා. ඒ සියලූ දේවල් ඇන හිටලා. ක්ලාස් එක පටන් ගන්න කියලා හිටියේ. ක්ලාස් එක නවත්තලා තිබුණේ සීමාසහිත පිරිසක් සහභාගී කරගෙන. ‘‘වර්ක් ෂොප්’’ එකක් පටන් ගත්තා.
ඔබ ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය ඒ වගේම නිවේදන යන හැම ක්ෂේත්රයක්ම නියෝජනය කරනවා
වේදිකා නාට්‍ය මම කරන්නේ නෑ. මම ඒකෙන් අයින් වෙලා ගොඩක් කල්. ‘‘හිරු එවෝඞ්’’ එකට මම ප්‍රසන්ට් කළා. මම ඒක ආශාවට කළා වෘත්තීමය මට්ටමෙන් ඕන කියලා එකක් නැහැ.
ඇයි වේදිකා නාට්‍යවලින් අයින් වුණේ?.
අවසානයට මම රඟපෑවේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘‘යක්ෂාගමනය’’ වේදිකා නාට්‍යයෙයි. මේ දේ ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. කියන්න බැරි තරමට මට වේදිකාව එපා වුණා. විභාග කරනවා වගේ අපි වේදිකා නාට්‍ය කළේ.
බොහෝ ශිල්පීන් මෙන් ඔබත් ක්ෂේත්රයට පිවිසියේ වේදිකා නාට්‍ය හරහාද?
නැහැ. ගාමිණී ෆොන්සේකාගේ ‘‘සක්විති සුවය’’, ‘‘කොටිවලිගය’’ යන චිත්‍රපටවල එහෙම රඟපාලා තමයි මම වේදිකාවට ගොඩ වුණේ. මට ආශාව තිබුණේ සිනමා නළුවෙක් වෙන්න.
ලංකාවේ වෘත්තීය මට්ටමේ නළුවෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්ද?
මම වෘත්තීයමය මට්ටමෙන් නළුවෙක් විදියට තමයි ජීවත් වුණේ. රඟපාන එක තමයි නොම්බර එක. මගේ ජීවිතේ මේක තමයි මගේ ආදායම් මාර්ගය. දැන් තියෙන කාලවකවානුවත් එක්ක මේ ප්‍රතිපත්තියක් නැතිව ඉන්දියාවෙන් ගෙන්නලා පෙන්වන කසිකබල් නාට්‍ය එක්ක මේ සියලූ දේවල් එක්ක නළුවෙක් හැටියට හෝ ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියලා හිතේ සැකයක් තියෙනවා. සම්මානයක් දීලා උදව්වකුත් නෑ. මගේ පවුල නඩත්තු කළේ වෘත්තීය නළුවෙක් හැටියට. ඒත් දැන් ඉන්න අය වෘත්තීය විදියට රංගනය තෝරා ගනීද යන්න සැකයක් තියෙනවා. මොකද මේ තෝතැන්නත් සශ්‍රීක නෑ. සශී‍්‍රක වෙන්න දෙන්නෙත් නෑ මේ පාලකයෝ නිසා.
ඔබ කියන්නේ සිනමාවට හෝ නාට්‍යයට රජයෙන් කිසිම සහයෝගයක් නෑ කියලද?
සහයෝගයක් නෑ. කිසිම ප්‍රතිපත්ති මාලාවක් සකස් කරලා නෑ අඩුම ගාණේ බජට් එකකින්වත්. නාට්‍ය ගැන සිනමාව නිර්මාණ තුළිනුත් මෙම ශ්‍රේණියේ ප්‍රවීණ මොළවල් තියෙන අයගෙන් අදහස් දැනගෙන මේවට පිළිවෙළක් හදලා මොකක් හරි දෙයක් කලාකරුවන් වෙනුවෙන් කරන්න ඕන. ඉස්සර තිබුණා සම්භාවනීය පස්වැනි සිනමා මණ්ඩලය කියලා. ඒවගේ දෙයක් රටට ව්‍යාප්ත කරලා දෙන්න. එතකොට තමයි රටේ රස වින්දනය පෝෂණය වෙන්නේ ඒ මතින් රටේ රසවින්දනය උසස් මට්ටමකට ගේන්න පුළුවන්. තරුණයන්ට උසස් රස වින්දනයක් දෙන්න පුළුවන්. ඒ ඔස්සේ තරුණ පරපුර සම්බන්ධ කරගන්න පුළුවන්.
ඔබ චරිත තෝරා ගැනීමක් කරනවද?
මෙහෙමයි, මම ටෙලි නාට්‍යවලදී පොඩි තෝරා බේරා ගැනීමක් කරනවා. සිනමාවේ අන්තවාදී ලෙස තෝරා බේරා ගන්නේ නෑ. මගේ ගාණට ආවේ නැත්තම් අත් හරිනවා. සිනමාව තුළ කොමඩි පැත්තයි සීරියස් පැත්තයි දෙකම මම කරනවා. නමුත් කවුද කරන්නේ කොහොමද කරන්නේ කියලා පොඞ්ඩක් හොයා ගන්නවා. ප්‍රවීණයන් වැඩකට කතා කළොත් මම කැමැත්තෙන් යනවා.
රූපවාහිනී නාලිකාවල වැඩියෙන්ම ඉන්දියාවේ ටෙලිනාට්‍ය විකාශය වීම ගැන මොකද හිතන්නේ
කසිකබල් නාට්‍ය මේ රටේ දෙබස් කවලා තියෙනවා. හඬ කවන ටෙලි නාට්‍යවලත් සම්මාන දෙන්න පටන් අරන්. මොකක්ද කරන්න හදන්නේ කියන එක තේරෙන්නේ නෑ. අනාගතයේදී දෙබස් කවන ශිල්පීන් විශාල පිරිසක් බිහිවෙයි මේ රටට.
මේ රටේ සම්මාන දෙන විදිය ගැන ඔබේ අදහස කුමක්ද?
මම සම්මාන ගන්න ඒ තරම් ඇඹරෙන්නේ නෑ. ඒක දුන්නොත් එහෙමයි. නැත්නම් ඒකත් එහෙමයි. මම ඉන්න ‘‘ගොළු තාත්තා’’ ට පිටරටින් සම්මාන ලැබුණට මට මේ රටෙන් සම්මාන ලැබුණේ නෑනේ. සම්මාන නොලැබුණත් ජනතාවගේ සම්මාන මට ලැබිලා තියෙනවා.
ඔබ වැඩිපුරම සහභාගි වෙලා තියෙන්නේ විකට චරිතවලටද වෙනත් චරිතවලටද?
හැම දෙයක්ම දෙපැත්තම එකවගේ කරලා තියෙනවා. හාස්‍ය උත්පාදන චරිත කරලා තියෙනවා හරි අඩුයි.
නව පරපුර ගැන ඔබගේ අදහස කොහොමද?
විෂය හැදෑරීමක් නෑ. කිසි තැනකට යන්න විෂය සොයාගෙන යෑම කියන එක නෑ. අභ්‍යාස ගත වුණේ නැත්නම් ඒක ගැන විමසිලි වුණේ නැත්නම් මේ විෂය වටිනාකම තේරෙන්නේ කොහොමද? මේ විෂය තුළ වර්ධනයක් ඇති වෙන්නේ නෑ. දක්ෂතාව නැතුව නොවේ හොඳ අධ්‍යක්ෂකවරු ඉන්නවා රචකයන් ඉන්නවා නළු නිළියන් ඉන්නවා. විෂය තුළ හැසිරීම නැතිකමින් නිකන් අයාලේ යනවා. මේක තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා. විෂයට ආදරයෙන් සලකන්න ගෞරවයෙන් සලකන්න. අභ්‍යාස ගත වෙන්න සොයාගෙන යන්න. විෂයට අවංක වෙන්න කවදා හරි දවසක විෂය පෙරළා ඔබට සලකාවි.
ඔබ මෙගා නාට්‍යවල දකින්න නොලැබෙන්නේ ඇයි?
අවුරුදු දෙකක් විතර මෙගා නාට්‍ය ප්‍රදර්ශනය වෙනවා. සතියේ දවස් පහම තියෙනවා. ඒකටම කැපවුණාම නිර්මාණය කරන්න කාලය නැති වෙනවා. අපේ දැනුම නැති වෙලා යනවා. පිටපත් නෑ සීමාවක් නෑ. අරමුණක් නෑ.
ඔබේ පවුලේ විස්තර කීවොත්
බිරිඳ තක්ෂිලා. ලොකු පුතා ෂැංග්‍රිලා හොටෙල් එකේ වැඩ කරන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් අනූනවයෙන් බේරුණා. දෙවැනියා ඔස්ටේ්රලියාවේ පදිංචි වෙලා ඉන්නවා. තුන්වැනියා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්.
ඔබේ දරුවන් මේ ක්ෂේත්රයට යොමු කරන්න අදහසක් නැද්ද?
නෑ ඒගොල්ලෝ කිසිම උනන්දුවක් දැක්වූයේ නෑ. ඒගොල්ලෝ ගිටාර් ගහනවා. සිංදු කියනවා. සිංදු එකතු කරනවා. ඒවගේ දේවල් කරනවා. ඒ ගොල්ලන්ට යන මාර්ගයට සහයෝගය දෙනවා.
සුජානි ගුරුගේ
දිවයින