දැනට අපි ඒක රහසක් විදිහට තියා ගනිමු
මොනවද මේ දවස්වල විශේෂ තොරතුරු
පහුගිය දවස්වල රඟපෑම් කටයුතු සහ නිරූපණ කටයුතුවලින් ටිකක් විතර ඈත්වෙලයි හිටියේ. දැන් ආයෙමත් ඒ දේවල් පටන්ගෙනයි තියෙන්නේ.
එහෙම ඈත්වෙන්න සිදුවුණේ විශේෂ හේතුවක් නිසාද?
ඒක පෞද්ගලික හේතුවක් නම් නෙමෙයි. රටේ තිබුණු කලබලකාරී තත්ත්වය තමයි ඒකට හේතු වුණේ. අනෙක් හැම අංශයකම අය වගේම අපටත් සිද්ධ වුණා ඒ තිබුණු වාතාවරණයත් එක්ක වෘත්තීය කටයුතුවලින් ටිකක් ඈත් වෙන්න. මට හිතෙන්නේ දැන් අපි ජාති භේදයකින් තොරව එකතුවෙලා ආයෙමත් රට ගොඩනගන්න ඕන කාලය ඇවිත්.
එතකොට රඟපෑම් කටයුතු නිසා ඔබ දැන් ආයෙමත් කාර්යබහුල වෙලාද ඉන්නේ?
හුඟක්ම කාර්යබහුල නැහැ. මේ දවස්වල සනත් අබේසේකරගේ ගුත්තිල චිත්‍රපටයේ ෂූටිං තියෙනවා. රාජකුමාරිකාවකගේ චරිතයක් තමයි එහි මට රඟපාන්න තියෙන්නේ.
ඉදිරි කාලයේදී තිරගතවීමට නියමිත නිර්මාණත් ඇති...
ඔව්. මම රඟපෑ චිත්‍රපට තුනක් තියෙනවා තවම තිරගත නොවුණු. ඒ තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය, උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 2 සහ මොහාන් නියාස්ගේ ශ්‍රී වික්‍රම. ඒ චිත්‍රපට ළඟදීම තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ.
ඒ චිත්‍රපටවලදී ලැබුණ චරිත මොනවගේ ඒවාද?
ඒ චරිත මොන වගේ ඒවාද කියන එක දැනට අපි රහසක් විදිහට තියා ගනිමු. හැබැයි මම දැනට රඟපෑ හැම චරිතයක්ම සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස් ඒවා බව නම් මට කියන්න පුළුවන්.
චුලක්ෂි ඇයි චිත්‍රපටවල විතරක් රඟපාන්නේ?
චිත්‍රපටවල විතරක් රඟපානවා කියලා මම මගේ රංගනයට සීමාවක් මම පනවාගෙන නැහැ. හොඳ පිටපතක් තිබෙන ටෙලි නාට්‍යයකට වුණත් ආරාධනාවක් ලැබුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මට තවම එවැනි ආරාධනාවක් ලැබුණේ නැහැ. චිත්‍රපටවල රඟපෑම උසස් දෙයක්. ටෙලි නාට්‍ය හෝ වෙනත් කලා නිර්මාණවල රඟපෑම ඊට වඩා පහත් දෙයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි සිනමා තාරකාවක් බවට පත්වීම.
සිනමා තාරකාවක් වෙන්න යන ගමනේදී ලැබෙන ආරාධනා සම්බන්ධයෙන් ලොකු තෝරාගැනීමක් කරනවා ඇති නේද?
ආරාධනාවක් ලැබුණාම මම මුලින්ම බලනවා මා එක්ක වගකීමකින් යුතුව වැඩකරන්න පුළුවන් පිරිසක්ද ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ කියලා. අනික් වැදගත්ම කාරණය තමයි හොඳ පිටපතක් තිබිම. ලැබෙන චරිතයේ ස්වභාවය අනුව තමයි ඒ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවාද කියන එක තීරණය කරන්නේ.
චුලක්ෂි කියන නිරූපණ ශිල්පිනියගේ භූමිකාව මේ දවස්වල මොන වගේද?
රඟපෑම අතරතුර නිරූපණ කටයුතුවලටත් දිගටම සහභාගි වෙනවා. සන්නාම තානාපතිනියක් විදිහටත් කටයුතු කරන නිසා නිතරම සමාජ සත්කාර වැඩවලටත් සම්බන්ධ වෙන්න ලැබෙනවා. හුඟක් වෙලාවට ඒ දේවල් මගේ ආත්ම තෘප්තියට තමයි මම කරන්නේ.
එතකොට ඔබ ළඟදී විවාහ වෙන්න යනවා කියන කතාව ඇත්තද? බොරුවක්ද?
කවුද කියන්නේ....(සිනා) මගේ නම් තවම එහෙම අදහසක් නැහැ.
කිෂාන් කනංකෙ
ලක්බිම