කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කරන ලද "ආලෝකෝ උදපාදි" සිනමාපටය පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ.
මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොළී ආක්රමණයත් අනතුරුව වළගම්බා රජු සොළීන් පළවාහැර සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික්ෂූන් වහන්සේලා විසින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් පාදක කරගෙන 'ආලෝකෝ උදපාදි' සිනමාපටය බිහි වී තිබේ. මේ පිළිබඳව එහි අධ්යක්ෂ චත්‍ර වීරමන් සමඟ 'සාරවිට'ට කළ කතාබහකි මේ.
'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය කොහොමද නිර්මාණය වෙන්නේ සහ ඔබේ සම්බන්ධය කොහොමද සිද්ධ වුණේ?
උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනයට මැලේසියාවට යනවා. එහිදී අවුරුදු පහක් සිනමාකරණය සහ සජීවීකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරනවා. මැලේසියාව කියන්නේ කේන්ද්‍රස්ථානයක්. නැගෙනහිර පැසිපික් කලාපයේ හා හොලිවුඩ්වල නිර්මාණය වන චිත්‍රපටවල පසු නිෂ්පාදන කටයුතු කරන ස්ටුඩියෝ මැලේසියාවල තිබෙනවා. ඒවා සමග සම්බන්ධකම් ගොඩනගා ගන්න මට හැකියාවක් ලැබෙනවා. ඔය අතරේ තමයි මැලේසියාවේ ඉගෙන ගන්න ලංකාවේ පිරිසක් මට හමුවෙන්නේ. ඒ අතරේ මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක භාරත ගිහාන් හෙට්ටිආරච්චි සිටිනවා. අපේ කණ්ඩායම උපාධිය හදාරලා ලංකාවට එනකොට සජීවීකරණ විෂය සම්බන්ධයෙන් ඉදිරියට යන්න තමයි උවමනාව තිබුණේ. විශේෂයෙන් චිත්‍රපට සහ වෙළඳ දැන්වීම්වල විෂුවල් ඉෆෙක්ට්ස් පැත්ත තමයි කල්පනාවට ආවේ. ඒ වනවිට මගේ තාත්තා(සමන් වීරමන්) 'සිද්ධාර්ථ ගෞතම' අධ්‍යක්ෂණය කරලා අවසන් වුණාම ඔහුට උවමනාවක් එනවා කොහොමහරි ෂීක්වල් එකක් ඊළඟ චිත්‍රපටය විදියට නිර්මාණය කරන්න. එහිදී තමයි බුදුදහමේ විකාශනය පෙන්වන තවත් සන්ධිස්ථානයක් විදියට ආලෝකෝ උදපාදි චිත්‍රපටියට තේමාවුණු කතාවස්තුව අලළා තිර රචනයක් ලියන්නේ.
ඒ සමගම තමයි තිරපිටපත මෙහි නිෂ්පාදක විජයසේන මහතාට පෙන්වලා ඔහුගෙන් අනුමැතිය ගනිද්දි ඔහු බොහෝ කැමති වුණා මෙම චිත්‍රපටයේ එන කතාවට සහ පණිවිඩයට. ඔහු නිතරම දරපු මතය තමයි මෙය ලංකාවෙන් ජාත්‍යන්තරයට යන්න ඕන කතා වස්තුවක් වගේම අපේ ඉතිහාසය විසින් වැඩි තැනක් දුන්නෙ නැති කතා වස්තුවක් යන්න. වළගම්බා රජ සමය ගත්තත් ලොකු අවධානයක් අපේ මූලාශ්රවල ලබාදෙන්නෙ නෑ. එනිසා මේ කතා පුවතත් යටගහල තිබුණෙ. එය ඉස්මතු වෙන්න ඕන සහ එම කතාපුවත සමාජගත වෙන්න ඕන කියන කාරණය ඔහු මුල ඉඳන්ම දක්වපු මතයක්. ඒ නිසා තමයි අර්ථපති දායකත්වය දෙනවාය කියා තීරණය කරලා අපිට අවශ්‍ය මූල්‍යමය පසුබිම සහ නිර්මාණශීලීව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම ලබාදුන්නෙ. ඒ සමගම තවත් එක දෙයක් තමයි මුල ඉඳන්ම ඔහුගේ අරමුණ වුණේ ගුණාත්මක බවින් ඉහළ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. එයට අවශ්‍ය සියලුම දේ අපිට දුන්නා. මම සහ සම අධ්‍යක්ෂකවරයා ඇතුළුව මැලේසියාවෙන් ආපු තරුණ කණ්ඩායමක් මේ චිත්‍රපටයට දායක වුණා. සහාය අධ්‍යක්ෂකවරු සහ සංගීත අධ්‍යක්ෂක මිලින්ද තෙන්නකෝන් යන හැමෝගේම කුළුඳුල් චිත්‍රපටය විදියට තමයි මේ නිර්මාණය එළියට එන්නෙ. එවැනි තරුණ කණ්ඩායමකට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය කිරීම තමයි වැදගත් වුණේ. ඒ හැම පසුබිමකම මගේ තාත්තා හිටියා. ඒකත් අපිට ලොකු ශක්තියක් වුණා.
මේ නිර්මාණය ඇතුළෙ ඉන්නෙ සමන් වීරමන්ද? ඔබ හිටියට ඔහුට අවශ්‍ය දේද මේ චිත්‍රපටය තුළින් එළියට එන්නෙ?
තිර පිටපත ලිව්වට පස්සෙ සම්පූර්ණයෙන්ම තිර පිටපත මුල ඉඳල අගට කියවලා අපි දෘශ්‍ය භාෂාවේ එන එක එක සංකල්ප එකිනෙකට ගළපන්න පටන් ගන්නවා. එවිට තිර පිටපත නැවත සංස්කරණය වීමක් සිදුවෙනවා. එහිදී අපි බලන්නෙ තාක්ෂණික පැත්තෙ තිබුණ අවබෝධයත් එක්ක දෘශ්‍ය ප්‍රයෝග කොහොමද භාවිත කරන්නේ කියලයි. අපි ඉදිරිපත් වෙලා සම්පූර්ණ සංශෝධනයක් ඉදිරිපත් කළා තිර පිටපතට. ඔයාලගෙ චිත්‍රපටය මේක, ඔයාල මේ දේ කරන්න කියලයි තාත්තගෙන් අවවාද ලැබුණේ. භික්ෂූන් වහන්සේලා සමගින් කරන ගනුදෙනුවේදි තාත්තා අපිට උදව් කළා. වැඩිහිටියෙක් ඉන්න ඕන එවැනි සංවේදී තැන්වලදි අපිට උදවු කරන්න. ඒ වගේ දේවල්වලින් බොහෝ උපදේශනයන් ඔහුගෙන් ලැබුණා.
මේ චිත්‍රපටය තුළ සජීවීකරණ දර්ශන හරහා චිත්‍රපටයට වැඩි එළියක් ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය ගොඩ දාල තිබෙන්නේ ඒ හරහාය කියා බොහෝ අය කියනවා. ඒක ඇත්තද?
පැහැදිලිවම එය අපිට බොහෝ ඉවහල් වුණා. දැවැන්ත ගණයේ සිනමාවක් ඇතුළේ ප්‍රේක්ෂකයන් නිර්මාණකරුවන්ගෙන් අපේක්ෂා කරන දෙයක් තිබෙනවා. අපිට ඒදේ ගේන්න පුළුවන් වෙලා තිබෙනවා. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග භාවිතයට වැඩි අවධානයක් මුල සිටම යොමු කළා. කතා වස්තුව ගත්තොත් ඉතිහාසය විසින් සීමා කරපු පරාසය ඇතුළෙ තමයි කතාව තීරණය කළේ. එතැනින් එහාට කතාවේ තිබෙන විවිධ තොරතුරුවලට යන්න උත්සාහ කළේ නෑ. අපිට තවත් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා එවැනි ඉසව්වලට ගියානම්. ඒ පසුතලය සමස්තයක් වශයෙන් ඉදිරිපත් කිරීමක් තමයි සිදුකරන්නේ. රටවැසියන් ඉදිරිපත් කරන්නේ එක ගමකින්. ගැමි ජීවිතය ඉදිරිපත් කරන්නේ එක පවුලකින්. මෙහි තිබෙන තාත්ත්විකභාවය රැකගන්න ඕන නිසා දෙබස් පවා පුළුවන් තරම් කෙටි කළා. ඒ කාලෙ තිබුණු භාෂාව භාවිත කළා නම් ප්‍රේක්ෂකයාට මොකවත්ම තේරෙන්නෙ නෑ. දෙබස් ඛණ්ඩ සීමාකර සිනමාව තුළ අපි භාවිත කරන තාක්ෂණික ක්‍රමවේද මිනිස්සුන්ට පණිවුඩ ලබාදීමට භාවිත කළා. රූප මාධ්‍යයෙන්ම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තිබුණා. අපි එතැනට වැඩි අවධානයක් යොමු කළා. එහිදී තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය උපරිමයෙන් භාවිත කරන්න උත්සාහ ගත්තේ. අපි මුල ඉඳන්ම තේරුම් ගත්ත දෙයක් තමයි දෙබස් අඩු වෙනවාය කියන්නෙ, සංකේතාත්මක දෘශ්‍ය සංයුතිය වැඩිවෙනවාය කියන්නෙ ශ්‍රව්‍ය සංයුතියට වැඩි තැනක් දිය යුතුය යන්න. ඒ නිසාම තමයි මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂකවරයා වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ එම ඉසව්වට. අපි මුල සිටම දරපු මතයක් තමයි චිත්‍රපටය රූගත කරන්න පෙරසිටම මෙම චිත්‍රපටයේ සංගීතයට ඇති ඉඩ ඉතාම වැඩියි කියා. දෘශ්‍ය මාධ්‍යයේ තිබෙන බලපෑම ප්‍රබලයි. මෙහිදී ශබ්දයේ බලපෑම විදියට එන කර්තව්‍යය සවුන්ඩ් ඩිසයිනර් විසින් සිදුකරනවා. එයත් එක්ක තමයි දර්ශනවල පිරුණු ස්වභාවයක් එන්නෙ. එය තමයි මෙහිදී අපි භාවිත කළ කලර් එක. එයට තමයි අපි මුල සිටම උත්සාහ කළේ. අපි ලාංකික ප්‍රේක්ෂකයන්ට ආගන්තුක ප්‍රවේශයක් තමයි ඉදිරිපත් කළේ. නමුත් මෙය ජාත්‍යන්තර සිනමාවට අලුත් දෙයක් නෙවෙයි. මුල සිට අගටම කතාන්තරයක් කියන්න ඕන වුණෙත් නෑ. අදහස් ප්‍රකාශ කරන්න ඕන අපේ රටාවෙන්. අපේ ශෛලියෙන්.
ඔබේ පළමු වැනි නිර්මාණය ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙනවා. දැවැන්ත නිර්මාණයක් කරලා ජාත්‍යන්තර ඇගයීමකට ලක්කර ගන්න හැකිවෙන්නෙ කොහොමද?
ලංකාව ඇතුළෙ මාකට් එක බැලුවොත් අපිට ප්‍රේක්ෂකයෝ ලක්ෂ විස්සක් ලක්ෂ තිහක් බලන්න ඕනෙ චිත්‍රපටයක් සාර්ථකත්වය ලබන්න. මෑත කාලීන අපිට තියෙන අර්බුදයත් එක්ක එන කාරණා තමයි මේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නෝන ප්‍රචාරණ කටයුතු ලංකාව ඇතුළෙ සිද්ධ කරලා අවශ්‍ය ප්‍රේක්ෂකයන් ගන්න. නමුත් ලාංකික ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම සහ නොපැමිණීම ගැන අනාවැකි කියන්න බැහැ. ඔවුන් සිනමා ශාලාවලට එන හේතු සාධක වරින්වර වෙනස් වෙනවා. හොඳටම දුවන චිත්‍රපටයක් වුණත් දුවන්නැතුව ඉන්න පුළුවන්. දුවන්නැහැයි කියල හිතෙන චිත්‍රපට හොඳටම දුවන්න පුළුවන්. ඒ අවදානමත් එක්ක අපි මුල ඉඳලම හිතුවෙ පුළුවන් තරම් ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන් චිත්‍රපට කරන්නයි. එනිසා තමයි ලාංකේය ප්‍රේක්ෂකයාට සාමාන්‍ය දර්ශන තලයක් කියා හිතෙන දේවල් වෙනස් අත්දැකීමක් බවට පරිවර්තනය වෙන්නෙ. මේ වෙනකොට ඉන්දියාවේ තැන් කිහිපයකම ප්‍රදර්ශනය කළ නිසා එයින් මට ලැබුණු අදහස් අනුව ඔවුන් ගොඩාක්ම ළංවෙන්නෙ හාමුදුරුවන්ගේ රූප දර්ශනවලට. එය ඔවුන්ට අලුත් දෙයක්. අපි මේ ජාත්‍යන්තරයට ගෙනියන්න චිත්‍රපටයක් කරනවා නම් අපිට ජාත්‍යන්තරයේදී ආගන්තුක දේ මොකද්ද යන්න තේරුම් අරගෙන තමයි මුල ඉඳන්ම චිත්‍රපටය කරන්නෙ. එනිසාම වෙන්නැති ජාත්‍යන්තර උලෙළවලදී පැසසුමට ලක්වෙන්නෙ. එය ඔළුවෙ තියාගෙන තමයි අපි මුලඉදලම චිත්‍රපටය කරන්නෙ.
මේ නිර්මාණය ගත්තොත් ලංකාවේ ප්රමුඛ ශිල්පීන් ගණනාවක් ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. කොහොමද මේ පිරිසත් එක්ක කරපු ගනුදෙනුව?
ඇත්තටම මං හිතනවා අපේ සම්බන්ධතාව ඇතුළෙදි ගොඩක් හැලහැප්පීම් වෙන්න ඇති. මේ චිත්‍රපටයෙන් අපි ප්‍රකාශ කරන්නෙ කුමක්ද කියල අඳුනගන්න සමහර ශිල්පීන්ට කාලයක් යන්න ඇති. නමුත් අන්තිමේදී ඔවුන් දුන්න සහයෝගයත් එක්ක තමයි මේ ආකාරයෙන් සාර්ථකත්වයක් ලබන්නෙ. මේ තරුණ නිර්මාණ කණ්ඩායම කෙරේ ඔහුන් තුළ ලොකු විශ්වාසයක් තිබුණෙ. උපරිම සහයෝගය අපට දෙනවා කියන තැන ඔවුන් හිටියා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා, මේ චිත්‍රපටය මේ ආකාරයෙන් නිර්මාණය කරන්න.
ලංකාවෙ චිත්‍රපට සම්බන්ධයෙන් තිබෙන ලොකුම ගැටලුව තමයි ඩිජිටල් ගැටලුව. මේ ගැටලුව කොහොමද ඔබට බලපාන්නෙ?
මුල ඉඳන්ම නිෂ්පාදකතුමාගේ අරමුණ තිබුණෙ උපරිම ගුණාත්මකභාවය භාවිත කරන්න. ඒකත් එක්ක තමයි අපි ඉන්දියාවේ ෆිල්ම් ලැබ්ස්වලට ගිහින් හොඳ වර්ණ සංයෝජන කටයුතු එහේදීම සිදුකරන්නෙ. එවිට එහේ ස්ක්‍රීන් එකේ දකින දේ ඔස්ට්‍රේලියාවෙ තියටර් එකක දැම්මත් පෙනෙනවා කියන වගකීමෙන් බැඳී සිටින්න ඔහු න්ට පුළුවන්කම තිබුණා. අපි සවුන්ඩ් ඩිසයින් සහ මික්ස් කළේ කළේ චෙන්නායිවල. අපි මේවාට ලොකු වියදමක් කරන්නෙ අපට උවමනාවක් තිබුණා ජාත්‍යන්තර මට්ටමේ සම්මත ප්රමිතීන් අනුව චිත්‍රපටය නිර්මාණය කරන්න. මෙවැනි වූ වෙහෙසක් දරුවත් අපිට එන ගැටලුව තමයි ඒ අත්දැකීම අපේ ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න පුළුවන්ද යන්න. අපි ඉන්දියාවේ සිනමා ශාලාවක පෙන්වද්දි මට එය අත්දකින්න පුළුවන් වුණා. නමුත් ලංකාවෙ සිනමාශාලා දෙක තුනක ඇරෙන්න අනෙක් සිනමා ශාලාවලින් ඒ අත්දැකීම ලබන්න බැහැ. ඉතාමත්ම දරුණු තත්ත්වයක් සහ අර්බුදකාරී තත්ත්වයක්. අපි කොහොමද පුද්ගල ප්‍රකාශන අපිට ඕන විදියට ඉදිරිපත් කරන්නෙ. සංගීතයේදී 5.1 කියන මික්ස් එක එන්නැතිවුණොත් වෙනත් විදියට සෘණාත්මකව බලපාන්න ඉඩ තිබෙනවා. ඒකට අපි බයයි.
මංගල දර්ශනය සැවෝයි වගේ සිනමා ශාලාවක පෙන්නනකොට ඒ අත්දැකීම තමයි හැම ප්‍රේක්ෂකයන්ටම ලැබෙන්න ඕන අත්දැකීම. මං හිතන්නෑ එය ඒ ආකාරයෙන් ලැබෙයි කියා. එය හරිම අර්බුදකාරී තත්ත්වයක්. හැම සිනමා කෘතියකටම බලපා තිබෙන තත්ත්වයක්.
35mm සේයා පට දැන් නිෂ්පාදනය නවතලා තිබෙන්නෙ.ෆිල්ම් ලැබ්වල විතරයි දැන් 35mm ප්‍රින්ට් ගහන්නෙත්. ඒ මැෂින් කැඩුණුදාට ලංකාවට 35mm චිත්‍රපට එනඑක නවතිනවා. මේවාට ඉක්මනින් විසඳුම් සෙවිය යුතුයි. ඒවාට අදාළ බලයලත් නිලධාරීන් ඒ කෙරෙහි ලොකු අවධානයක් යොමුකළ යුතුයි. මෙය මීට අවුරුදු 10කට පෙර සිදුවීමට තිබූ දෙයක්.
ලංකාවේ චිත්‍රපටයක් කරලා වසර ගණනාවක් තියාගෙන ඉන්න වෙනවා ඒක ප්‍රදර්ශනය කරන්න. ඒක ඔබට අදාළ වුණේ මොන විදියටද?
ඇත්තටම ලංකවෙ චිත්‍රපටවල බෙදාහැරීමේ අක්‍රමවත්භාවයක් තිබෙනවා. අපිටත් බලපෑවා යම්කිසි විදියට. වාණිජමය චිත්‍රපටයක් වීම තුළින් අපි ඒ ප්‍රශ්නෙන් යම්තාක් දුරට මිදුණා. අපිට පස්සෙ හැදුණු චිත්‍රපට පවා තිරගත වුණා. පෝලිමට කොහොමටවත් වැටෙන්න ඕන නැති නිර්මාණ විසි ගණනක් පෝලිමේ තිබෙනවා. මොනවගේ අවස්ථාවක්ද මෙමගින් ලැබෙන්නෙ. බෙදාහැරීමේ ක්‍රමය තුළ තිබෙන්නෙ ඒකාධිපතීත්වයක්. මේවා ඉතාම අර්බුදකාරී තත්ත්ව. මෙයට විසඳුම් හොයනෙක ලේසි නෑ. එය අද, ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. සිනමාවේ කඩාවැටීමත් එක්ක සිදුවූ දේවල්. නමුත් ඒකට තවමත් විසඳුමක් නෑ. නියාමන කොමිසමක් එනතුරු මේ ප්රශ්නය දිගටම යයි.
ජාත්‍යන්තර ප්‍රදර්ශනය තිබෙනවා නේද?
අපි ජාත්‍යන්තර ප්‍රදර්ශනය අදියර දෙකකින් තියනවා. එකක් තමයි බුද්ධාගම පෙරටුකර ගත් රටවල්වලට චිත්‍රපටය බෙදාහරිනවා. ඔවුන්ගේ ප්‍රධාන මණ්ඩලවල චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. අනික තමයි ලාංකිකයන් බහුලව සිටින රටවල්වල සිනමාහල්වලට චිත්‍රපටය බෙදාහරින්න සියලු කටයුතු යොදමින් තිබෙනවා.
මේ නිර්මාණයෙන් පසුව ඔබේ ගමන කෙසේ වේවිද?
පැහැදිලිවම මෙය අවසන් නිර්මාණය කරගන්න අදහසක් නැහැ. මේ වනවිටත් තිරපිටපත් කිහිපයක්ම සකසමින් යනවා. ඒ සමගින් මම ඇතුළු අපේ කණ්ඩායමේ රිද්මය ඒ ආකාරයෙන් ගෙනියන්න පුළුවන් රජ කතාවකට හා ඉතිහාස කතාවකට කොටු නොවුණු වෙනත් ආරක අලුත් වැඩක් එක්ක අපි දෙවැනි නිර්මාණය එළිදක්වන්න අපේක්ෂාවෙන් ඉන්නවා.
නිරෝෂාන් ප්‍රේමරත්න