“මම උපන්නේ ගාල්ලේයි. මුලින් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ගියා. පසුව තාත්තාට ස්ථාන මාරුවක් ලැබිලා කොළඹට ආවා. ඉන් පසු මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පාසලේ අධ්‍යාපනයෙන් පසු මම දැක්කා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පුවත්පත් දැන්වීමක්. එය සංඥා භාෂා පරිවර්තක තනතුරක් සඳහායි. මං ඒකට අයදුම් කළා.”
චම්මි ඩයස්ගේ රූපය ඔබ බොහෝ වර දැක ඇති. ඇය රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාවක්. එහෙත් ඔබට ඇගේ හඬ ඇසෙන්නේ නැහැ. ඇය ප්රවෘත්ති ‘කියවන්නේ’ සංඥා භාෂාවෙන්. ඇය වෘත්තීය සංඥා භාෂා පරිවර්තිකාවක්.
සාමාන්‍ය පුද්ගලයකු වන ඇය සංඥා භාෂාව ඉගෙන ගන්නට යොමු වුණේ කොහොම ද?
“මගේ බාප්පාත්, නැන්දාත් බිහිරියි. බාප්පා චිත්‍ර ශිල්පී සඟබෝ ඩයස්. ඔහු මගේ ජීවිතයට ගොඩක් සමීපයි. මම සංඥා භාෂාව හුරු වුණේ ඔවුන් සමග සන්නිවේදනය කරලායි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ බාප්පාත් හිටියා. මම ඇතුළට යනකොට ඔහු පිටව ගියා. මට ඒකට තරහ ගියා. මම ගෙදර ගිහිනුත් රණ්ඩු වුණා. ඒත් පසුව මට තේරුණා එහු නිවැරදි බව. මම තනියම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී සමත් වුණා. සමාජ සේවා දෙපාර්තමේන්තුවට බැඳුණු පසු මම ස්වීඩනයේ පුහුණුවක් ලැබුවා.”
ඇය මෙම ක්ෂේත්රයේ කටයුතුවලට සම්බන්ධ වුණේ පාසල් යද්දීමයි. “මට මතක විදියට, 1989 විතර කාලෙ ජාතික අධ්‍යාපනය ආයතනය විසින් ජාතික සංඥා භාෂා ශබ්ද කෝෂයක් හැදුවා. මගේ බාප්පා වන සඟබෝ ඩයස් එක්ක මාත් ඒ කටයුත්තට සහභාගි වුණා. එතකොට මම පාසල් සිසුවියක්.”
ඇය වර්තමානයේදී ඉතා කාර්යබහුලයි. ඇයට ඇගේ කටයුතුවලට පවුලෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. “මම උදේ ගෙදරින් ආවාම ආපසු යන්නෙ රෑ වෙලා. මම දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඔවුන්ගේ වැඩ කටයුතු වැඩි හරියක් බලා කියා ගන්නේ මගේ සැමියා බුද්ධිකයි.”
කටින් කතා කරනවාට වඩා සංඥා භාෂාවෙන් දෑතින් කතා කරන්නට තමන් කැමති බව චම්මි පවසනවා. “බිහිරි ජනතාවට කණ හා කට වෙන්නට පුළුවන් වෙන්නේ සංඥා භාෂා පරිවර්තකයි. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට කණ හා කට වෙන්නට හැකි වීම ගැන මම සතුටු වෙනවා.”
චම්මි අපට හමු වුණේ සමාජ සේවා අමාත්‍යාංශය, බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය, ජාතික අධ්‍යාපන ආයතනය, Y-peers හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල එක්ව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා සම්බන්ධ සංඥා කෝෂයක් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටයදීයි. “වසර 15ක් විතර කාලයක් තිස්සේ සංඥා භාෂා පරිවර්තිකාවක් ලෙස වැඩ කරද්දී දැකපු දෙයක් තමයි, මෙම ක්ෂේත්රයේ සංඥා නොමැතිකම නිසා බිහිරි ජනතාව අතර බරපතල සන්නිවේදන ගැටලු ඇති වන බව. එම ගැටලුව නිසා ඔවුන් අතර දික්කසාද හා අපයෝජන ආදිය වැඩි බව මම දුටුවා. මෙවැනි ශබ්ද කෝෂයක් නිසා ඔවුන්ගේ ජීවන ගුණය වැඩිදියුණු වෙනවා.”
දළ වශයෙන් ලක්ෂ හතරක් පහක් වන ශ්‍රී ලංකාවේ බිහිරි ජනතාවගේ ජීවන ගුණය නැංවීම සඳහා තව තවත් සංඥා පරිවර්තකයන් බිහි විය යුතු බව චම්මි ඩයස් පවසනවා.