ඇය සිනමාවට පිවිසුණේ බොහොම පුංචි සන්දියේ. ඇගේ පවුලේ සාමාජිකයන් සිනමාවට සම්බන්ධයි. ඒ නිසාම ඇයට හරියට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් ඇය වැඩිපුර කැමැත්තක් දැක්වූයේ නැහැ. කොහොම වුණත් අන්තිමේ ඇය ට දැවැන්ත සිනමා නිර්මාණවලට සම්බන්ධවෙන්න ලැබුණා. මේ ජීවරාණි කුරුකුලසූරියගේ නැගණිය මැණික් කුරුකුලසූරියගේ සිනමා අතීතාවර්ජනයයි.
සිනමාවට එන්න හිතගියේ අක්කා ජීවරාණි කුරුකුලසූරිය නිසාද?
ඔව්. පොඩි කාලේ ඉඳන් අපේ පවුලේ අය සිනමාවට සම්බන්ධයි. නමුත් සිනමාවට හිතගියාට වඩා මට ආරාධනා ලැබුණා කිව්වොත් නිවැරදියි.
ධර්මසේන පතිරාජයන්ගේ අහස්ගව්ව නිර්මාණයෙන් තමයි රිදී තිරයට සම්බන්ධවෙන්නේ ?
ඔව්. මුලින්ම මම රඟපෑවේ අමරසිරි කලංසූරිය සමග.
අමරසිරි කලංසූරිය සමග මුලින්ම වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?
ඒ කාලේ අමරසිරි කලංසූරියත් නවක නළුවෙක්. මමත් වැඩිපුර රඟපෑවේ නැහැ. ඔහු ගැන මට ලොකුවට දැනුනේ නෑ. මේ චිත්‍රපටයේ විජය අයියාත් රඟපෑවා. ඔහු තමයි ධර්මසේන පතිරාජට මගේ නම යෝජනා කරලා තිබුණේ.
චිත්‍රපටවල රඟපාන්න ගෙදරින් අවසර ලැබුණාද?
ගෙදරින් නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මගේ හිතේ නම් රඟපෑමට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ.
ඊට පසුව සැණකෙළිය චිත්‍රපටයට ආරාධනා ලැබෙනවා ?
ඔව්. එහිදී මම ගාමිණී ෆෙන්සේකා සහ ෂෙරීනා ලායි සමග වැඩ කරනවා.
අන්තිමේ ගාමිණී ෆෙන්සේකා නිසා ඔබට නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා නේද?
සැණකෙළිය චිත්‍රපටයේ මගේ හැකියාවන් දැකලා ගාමිණී කිව්වා මම හොඳට රඟපානවා කියලා. අන්තිමේ ඔහු ගොඩක් අධ්‍යක්ෂවරුන්ට මා ගැන කියලා තිබුණා. ඒ හින්දා මට චිත්‍රපට
රැසකට ආරාධනා ලැබුණා.
මේ චිත්‍රපට දෙක රඟපාලා දිගු කාලයක් නිහඬ වෙලා හිටියා නේද?
අවුරුද්දක් විතර ඈත්වෙලා හිටියා. ඒ දවස්වල මම හිතාගෙන හිටියේ ආපහු සිනමාවට සම්බන්ධවෙන්නේ නැහැ කියලයි. නමුත් මට ඒ කාලය ඇතුළත නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා.
අවුරුද්දකට පසුව ද ගෝඩ් කිං චිත්‍රපටයේ රඟපෑවා?
ඒක බටහිර නිර්මාණයක්. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර නළු නිළියන් පවා සහභාගි වුණා. ඊට අමතරව ලංකාවේ අයිරාංගනී සේරසිංහ, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය වගේ දැවැන්තයන් සමග වැඩකළා. ඒක දැවැන්ත නිර්මාණයක්. ඒකයි මම භාරගත්තේ. ඒකින් පසුව ආපහු මම ටික කාලයක් විවේකයෙන් හිටියා.
ඊට පසුව මොකද වුණේ ?
මගේ අම්මා අසනීප වුණා. ඉතිං මම ආපහු කල්පනා කළා රඟපාන්න ඕනෑ නැහැ කියලා. අම්මාව බලාගෙන සෑහෙන කාලයක් හිටියා.
වසර හතරකට විතර පසුව ආපහු බඹාකෙටූ හැටි චිත්‍රපටයට ආරාධනා ලැබෙනවා?
ඔය අතරතුර මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් මම භාරගත්තේ නැහැ. අන්තිමේ මම බඹාකෙටූ හැටි චිත්‍රපටයට ලැබුණ ආරාධනාව භාරගත්තා. අනික මට ලැබුණ ආරාධනා කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැතිව ඇති කියලා මට හිතෙනවා.
කොහොමද මේ ආරාධනාව ලැබුණේ?
ඒ කාලේ වික්ටර් රත්නායක හිටියේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර. ඔහුව හමුවෙන්න ගොඩක් කලාකරුවෝ එනවා. ඔවුන් සියලු දෙනාම මාව අඳුරනවා. හරි එකතුයි. ඒ දවස්වල වික්ටර් රත්නායක හමුවන්න සුනිල් ආරියරත්නයන් එනවා. ඒ ආපු වෙලාවක දැකලා තමයි මට බඹාකෙටූ හැටි චිත්‍රපටයට ආරාධනා ලැබුණේ.
ඔය අතරින් ඔබට වඩාත්ම සුවිශේෂී චරිත ලැබුණේ?
මම වැඩිපුරම කැමැති චිත්‍රපට දෙකක් තියෙනවා. ආදර කතාවක් සහ රන්දම්වැල් චිත්‍රපට දෙකට මම ගොඩාක්ම කැමැතියි.
ඒ කාලේ ලැබුණ ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රසිකයෝ අපේ ගෙවල් ඉස්සරහ හිටගෙන ඉන්නවා. අපේ අක්කලාගේ කාලේ ඊට වඩා ගොඩාක් වෙනස්.
ඒ දවස්වල අක්කාට නම් ලියුම් මලු පිටින් එනවා. නංගිට එහෙම ප්‍රතිචාර නැතිද?
ආදර කතාවක් තිරගත වුණාට පසුව සෑහෙන ලියුම් ලැබෙන්න පටන්ගත්තා. ඒ කාලේ අම්මා තාත්තා මා ළඟ නැහැ. මම තමයි තනියම වැඩටික කරගත්තේ. රසිකයන්ට ලියුම් ලියන්න මට වෙලාවක් තිබුණේ නැහැ.
රන්දම්වැල් ඔබට සුවිශේෂයි. කවුද ඔබට ඒ සඳහා ආරාධනා කළේ ?
ලයනල් ඇලරික් ප්‍රනාන්දු තමයි මට ආරාධනා කළේ. ඒ වෙලාවෙත් මම විදෙස්ගතවෙන්න තමයි හිටියේ. අන්තිමේ මම එහි රඟපෑවා.
හිතහොඳ කොල්ලෙක් චිත්‍රපටය ගැනත් යමක් පැවසුවොත් ?
ජීවන් එක්ක තමයි මම හිතහොඳ කොල්ලෙක් චිත්‍රපටයේ රඟපෑවේ. සාමාන්‍යයෙන් මම ගොඩක් චිත්‍රපටවල රඟපෑවේ බටහිර පන්නයේ චරිත. නමුත් මේ චිත්‍රපටයේදී රෙද්දය හැට්ටය ඇඳගත් මුඩුක්කුවක ඉන්න තරුණියකගේ චරිතයක් තමයි මට කරන්න ලැබුණේ.
ජීවන් එක්ක වැඩිපුර ර`ගපාන්න ලැබුණානේද?
මම ජීවන් කුමාරතුංග එක්ක චිත්‍රපට කිහිපයක රඟපෑවා. පෙම්රජදහන, රන්දම්වැල්, නොම්මර දාහත, රජවැඩකාරයෝ වගේ චිත්‍රපට ගණනාවක රඟපෑවා.
ඒ කාලේ ඔබ සනත් සමගත් වැඩකළා ?
සනත් සමග මුලින්ම රඟපෑවේ තනිතරුව චිත්‍රපටයේ. ඔහු මුලින්ම දායකවුණ චිත්‍රපටයට පවා මට ආරාධනා කළා. මම බැහැ කිව්වා. තනිතරුව වැඩකරන කාලේ ඉඳන් අපි හොඳ මිතුරන්.
තිරයේ ඔබට වැඩිපුර පෙම් චරිත රඟපාන්න ලැබුණේ කවුරු සමගද?
ඒ කාලේ වැඩිපුර හිටියේ ජීවන්, සනත් තමයි.
ජීවන් - මැණික් කියලත් යුගයක් තිබුණා කියන්නේ ඇත්තද?
ජීවන් එක්ක ප්‍රාර්ථනා චිත්‍රපටයේ රඟපෑවා. එහි ගීතවලට ගොඩක් දෙනෙක් අදටත් කැමැතියි. ඒ කාලේ ගොඩක් දෙනෙක් ෂෙරීන් මම වගේ කියලා ගොඩක් දෙනෙක් වරද්ද ගත්තු අවස්ථා තිබුණා. ගොඩක් දෙනෙක් මමයි ෂෙරීනුයි එකවගේ කියලා තමයි හිතුවේ. මේ ළඟකදීත් මම සහභාගි වුණ සරසවි සම්මාන උළෙලකදී තරුණියක් හා... ෂෙරීන් අක්කා කියලා කතා කළා. පසුව තමයි ඇය මාව අඳුරගත්තේ. ඊට පසුව කියනවා ආ.... මේ මැණික් අක්කා නේ... කියලා.
ඒ දවස්වල චිත්‍රපටවලට ආරාධනා කරනකොට තෝරාබේරාගැනීම් සිදුකළාද?
මම හිතන්නේ කරන්න බැරි දේවල් තෝරාගත්තේ නැහැ. හැබැයි මට ඉදිරියට යන්න ඕනෑ කියලා අධිෂ්ඨානයක් තිබුණේ නැහැ. ඒ හින්දා මට ලැබුණු ආරාධනාවලින් රැසක් අතහැරියා.
සිනමා සක්විති ගාමිණී ෙµdන්සේකා සමගත් ඔබට වැඩකරන්න ලැබෙනවා. මොකද හිතෙන්නේ ?
මට ගාමිණී එක්ක ගොඩක් වැඩකරන්න ලැබුණේ නැහැ. නමුත් බොහොම පුංචි කාලේ ඉඳන් මට ඔහුව මතකයි. සැනසුම කොතැනද? චිත්‍රපටයේ ඔහු රඟපෑවා. සුළංකුරුල්ලෝ චිත්‍රපටයේ අක්කා සමග ගීතයක රූප ජවනිකාවක් රූගත කරනකොට මම ඒක බලන්න ගියා මතකයි. මම බොහොම පුංචි කාලේ පටන් ඔහුව දන්නවා.
මාතර ආච්චි චිත්‍රපටයේ පුංචි දර්ශනයක රඟපෑවා කියන්නේ ඇත්තද?
ඇත්තම කියනවා නම් ස්වර්ණා අක්කා නිසා තමයි ඒක සිද්ධවුණේ. ඒක පුංචිම දර්ශනයක්. සුජාතා අක්කාගේ හොඳම යාළුවෝ තමයි ස්වර්ණා. ඉස්සර අපේ ගෙදර ඇවිත් ඉන්නවා. එයා ඒ චිත්‍රපටයේ රඟපානවා. එතැනට එයා මාව එක්කගෙන ගියා. එතැනට ගියවෙලාවේ තමයි පුංචි දර්ශනයකට සම්බන්ධවෙන්න ලැබුණේ. ඒක පුංචිම පුංචි දර්ශනයක්. ඔය වගේ දර්ශන රැසකට නම් අනන්තවත් ඉඳලා ඇති.
ඒ කාලේ රසිකයන්ගෙන් ආදර යෝජනා එහෙමත් ඇවිත් ඇති නේද?
රසිකයෝද කියන්න දන්නේ නැහැ ගොඩක් අය නම් දුරකථන ඇමතුම් දෙනවා. මම කවදාවත් තනියෙන් කොහේවත් ගිහිං නැහැ. ඒ දවස්වල ගෙදරින් ගැහැණු ළමයි එක්ක චිත්රපටයක්වත් බලන්න දෙන්නේ නැහැ. ලියුම් එහෙමත් එවනවා. අපේ පින්තූර එකතුකරගෙන පොත් හදාගෙන, පින්තූර ගෙදර බිත්තිවල අලවාගෙන හිටපු රසිකයෝ හිටියා. මම ඒ දවස්වල චිත්‍රපටවලට මංගල දර්ශනවලට යනකොට සමරු පොත් අරගෙන එනවා මගේ අත්සන ගන්න.
දිනේෂ් විතාන -දිවයින