සිනමා මාධ්‍යයේ පවතින නිසඟ දෘශ්‍ය ස්වභාවය හා බලය වන්නේ එය ප්‍රේක්ෂකයාට බලපෑම් සහගත ප්‍රවේශ, තත්ව, හැඟීම් පරිකල්පනය කරගැනීමට ඉඩ සැලසීමයි. චිත්‍රපටයකට එහි චරිත හැසිරෙන ආකාරය දෘශ්‍ය ඉඟි, දෙබස් හා සංගීතය සමග කතාවක් හෝ සිදුවීමක් අභ්‍යන්තරයෙන් පවසන ආකාරය මගින් ප්‍රේක්ෂකයන්ට චරිත සමග ඒකාත්මිකව සංවේදනය වීමේ හැකියාවට බෙහෙවින් බලපෑම් කළ හැකිය. මේ නිසා දෘශ්‍ය කලාවන් අතර ප්‍රබලම මාධ්‍ය ලෙස සිනමාවට පිළිගැනීමක් ගොඩනැගී ඇත.
හොඳට හෝ නරකට එවැනි කෘතියක් මගින් ගොඩනගන සහකම්පනය එහි මුඛ්‍ය සාධකයක් වන අතර එය මානව සමාජය වෙත බලපෑමක් ඇති කරයි. එසේ වන්නේ, දෘශ්‍ය කලා මාධ්‍ය අතර සිනමාව අතිශයින් ආකර්ෂණීය හා වේගවත් ලෙස ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නා කලා මාධ්‍යය නිසාය.
කලාකරුවෙක් (සිනමාකරුවෙක්) යනු සංවේදී සහකම්පනය සහිතව තමන්ගේ අභ්‍යන්තරය තුළ ජනිත වන සිතුවිලි කලා කෘතියක් බවට පෙරලන අයෙකි. සිනමාකරුවන් තමන්ට කිසිදා හමුවී නැති හෝ ඇසුරු නොකළ චරිත අධ්‍යයනය කරමින් ඔවුන්ගේ බාහිර විලාස මෙන්ම අභ්‍යන්තර මනෝභාවයන් ද තම සිනමා නිර්මාණ තුළින් ලෝකයට පැවසීමට උත්සාහ දරයි. තියුණු සිනමාකරුවෙකුගේ කාර්යය වන්නේ තම නිර්මාණ තුළ ඇති චරිත වලින් උකහාගත හැකි සංකීර්ණ මානව අත්දැකීම්, මනෝභාවයන් හා මානසික අරගල ගැඹුරු ලෙස ගවේෂණය කොට යථාර්ථවාදි හා සංවේදීතාවයකින් යුතුව ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමයි.
චිත්රපටයකදී සහකම්පනය යනු ප්‍රේක්ෂකයා අවබෝධයකින් හා සංවේදීව චිත්‍රපටය තුළ ඇති චරිතවලට සමීප වීමයි. ඒ වගේම චරිත හෝ කතාව තුළ පවතින අත්දැකීම්, භාවමය තත්ත්ව සහ කතාවේ වස්තු විෂයට සංවේදනාත්මකව සමීප වීම සහ කතාව තුළින් ප්‍රකාශ කරන හෝ සන්නිවේදනය කරන මනුෂ්‍ය හැඟීම් ප්‍රේක්ෂකයාගේ භාවයන් හා මුසුකර ගැනීමයි. මේ සියලු කාර්යයන් වල තීරකයා වන්නේ චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයා සහ තිර රචකයාය. සහකම්පනය උපරිමයෙන් තම නිර්මාණවලදී අදාළ කරගන්නා සිනමාකරුවෙකුට මානව ගතික හොඳාකාරවම තම නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙනයාමට හැකි වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ තම නිර්මාණය ප්‍රේක්ෂකයාට කෙලින්ම බලපෑම් කරන ආකාරයට හා ප්‍රේක්ෂකයා එහි චරිත හා ආත්මීයව බැඳෙන තරමට දෙපාර්ශවය සමීප කරවීමට හැකි වීමයි. පුලිට්සර් සම්මානලාභි ඇමෙරිකානු සිනමා විචාරක රොජර් ඊබ්ට් 2005 වසරේදී චිකාගෝ රංගශාලාවේ ඔහු විසින් පැවැත්වූ ‘සහකම්පනය’ පිළිබඳ දේශනයක් අතරතුර පවසන ආකාරයට අනුව එය මෙසේය.
“මට අනුව චිත්‍රපටි සහකම්පනය උත්පාදනය කරන යන්ත්‍ර වැනිය. ඇත්තෙන්ම එය උසස් චිත්‍රපටියක් නම් එය ඔබට හොඳින් වටහාගන්නට ඉඩ දෙනවා. වෙනස් ලිංගිකත්ව, වෙනත් ජාතීන්, විවිධ වයස්, විවිධ ආර්ථික පන්තීන්, විවිධ වෘත්තීන්ට අයත්වීම මොන වගේද යන්න සහ විවිධ බලාපොරොත්තු, අභිලාෂ, සිහින සහ චකිත තිබීම මොනවගේද කියන එක එයින් සම්ප්‍රේෂණය වෙනවා. අපි යන මේ ගමනේදී අපට මිනිසුන්ව හඳුනා ගන්නට එය අපට උදව් කරනවා.”
සිනමාකරුවන් විසින් සමාජයේ පවතින එහෙත් කතාබහට ලක් නොවූ හෝ ප්‍රසිද්ධ අවකාශයේ කථා කිරීමට මැලි වන අතිශය සංවේදී මාතෘකා සිය සිනමා නිර්මාණ සඳහා යොදාගත් අවස්ථා ලෝක සිනමාව තුළ ඕනෑතරම් හමු වේ. එමෙන්ම සිනමාකරුවන් ඒ මාතෘකා හා පුද්ගල චරිත පිළිබඳ ඇති කරගත් සංවේදී බව හා සහකම්පනය හේතුවෙන් අදාළ සිනමා කෘතිය ප්‍රේක්ෂකයා හමුවට ගිය පසුව අදාළ මාතෘකා හෝ පුද්ගලයන් පිළිබඳව සමාජය එතෙක් දැරූ මත වෙනස් වී සමාජයීය වශයෙන් සහකම්පනයක් නැවත නිර්මාණය වූ අවස්ථාද දක්නට ලැබේ.
1981 දී ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ ප්‍රථම ඒඩ්ස් රෝගියා හඳුනා ගැනීමෙන් පසුව ඊට අවුරුදු දොළහකට එනම් 1993 දී ජොනතන් ඩේම් (Jonathan Demme) විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ෆිලඩෙල්ෆියා’ (Philadelphia) චිත්‍රපටය හරහා සිනමා මාධ්‍යයෙන් ප්‍රථම වරට ඒඩ්ස් සහ සමලිංගික භීතිකාව යන මාතෘකා පිළිබඳව කතා කර තිබේ. එවකට ඒඩ්ස් රෝගය යනු සමලිංගිකයන් අතර පැතිර යන රෝගයක් බවට ඇමරිකානු සමාජය තුළ දුර්මතයක් මුල්බැසගෙන තිබුණි. මෙම ‘ෆිලඩෙල්ෆියා’ චිත්‍රපටය ඒඩ්ස් වෛරසය ආසාදනය වීම නිසා විවිධ කාලවකවානු දෙකකදී තම සේවා ස්ථාන වලින් නෙරපනු ලැබූ නීතිඥවරුන් දෙදෙනෙකුගේ ජීවන සංසිද්ධි පාදක කරගෙන නිර්මාණය වූ ප්රබන්ධයකි. ප්‍රබන්ධයක් වුවද රෝගය හෝ රෝගයේ බලපෑම් පිළිබඳ මෙතෙක් නොවූ විරූ ආකාරයේ සෘජු, සත්‍යවාදී හා පර්යේෂණාත්මක ලෙස මෙන්ම මානුෂීය සහ සහකම්පනයෙන් යුතුව චිත්‍රපටය තුළ අවධානය යොමුවී තිබුණි. මෙම චිත්‍රපටය තිරගත වන විට ඇමරිකාවේ ලක්ෂ දෙකක් පමණ සහ ෆිලඩෙල්ෆියා වල පමණක් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් ආසාදනය වීමෙන් මියගොස් තිබුණි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබූ නළුවන් වන ටොම් හැන්ක්ස් (Tom Hanks) සහ ඩෙන්සිල් වොෂින්ටන් (Denzel Washinton) කෙතරම් ප්රශස්ත ලෙස තම කාර්ය ඉටු කළාද කිවහොත් ඒ පිළිබඳව තිබූ සමාජ දුර්මත සියල්ල සුණු විසුණු කර දමනු ලැබීය. මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා චිත්‍රපටයේ චරිත ගොඩනැංවීම කෙතරම් සාර්ථකව සිදු කළාද යන්න මෙයින් පිළිබිඹු වේ. චිත්‍රපටයේ අධ්යක්ෂ ජොනතන් ඩේම් (Jonathan Demme) පවසා ඇති පරිදි, සමාජයේ එතෙක් ඒඩ්ස් රෝගය පිළිබඳව තිබූ දුර්මතය වෙනස් කිරීමටත් මිනිසුන් මේ රෝගය පිළිබඳව යථාර්ථවාදීව සහ මානුෂීයව ඉගෙන ගැනීමට පෙළඹවීමටත් මේ චිත්‍රපටය හරහා හැකි වී තිබේ.
1993 Jonathan Demme විසින් අධ්‍යක්ෂණය කළ Philadelphia චිත්‍රපටය
මිනිස් සමාජයක අන්තර් පුද්ගල සම්බන්ධතා බහුල පරිසරයක ජීවත්වන විට සහකම්පනය එනම් අනෙකාගේ හැඟීම්, මනෝභාව සහ පරිකල්පන සංජානනය කිරීමට ඇති හැකියාව විශේෂයෙන් මනුෂ්‍යයෙකුට තිබිය යුතු මානව ගති ලක්ෂණයකි. කලාකරුවෙකු තම කලා නිර්මාණය ගොඩනැගීමට ආශ්‍රය කර ගන්නා සංදර්භය චරිත හෝ සංසිද්ධීන් පිළිබඳ ඇති කරගන්නා සහකම්පනය අවසානයේ එකී කලා කෘතිය මගින් ප්‍රේක්ෂකයා අතරට ගෙන ගිය පසුව ඔවුන් ද ඒ පිළිබඳව ගොඩනගා ගන්නා සහකම්පනයට කෙලින්ම බලපෑමක් එල්ල කරයි.
ඇතැම් සම්මානනීය චිත්‍රපටවල ඉතා ප්රශස්ත ලෙස ගොඩනංවන ලද සංකීර්ණ චරිත සංසිද්ධි සහ ඒ ඒ චරිතවලට අදාළ ගතික හේතුවෙන් එම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාගේ ජීවිතය පුරාවටම එම චරිත මතකයේ තැන්පත්ව පවතී. එසේ වන්නේ අදාළ චරිතවල විවිධ මානසික තල හැසිරීම් ජය, පරාජ, විවිධ අරගල, බිඳවැටීම් සහ නැගිටීම් ආදිය සමඟ ප්‍රේක්ෂකයාට කෘතිය බද්ධ වීමට හැකි වුවහොත් පමණි.
තිරගත වී වසර ගණනක් ගත වුවත් ප්‍රේක්ෂකයාගේ මනසේ අදටත් ඒ ආකාරයෙන්ම තැන්පත් වී තිබෙන සිනමා චරිත කිහිපයක් මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.
1. මිලෝෂ් ෆෝර්මාන් (Milos Forman) අධ්‍යක්ෂණය කරන ලද ‘වන් ෆ්ලූ ඔවර් ද කුකූස් නෙස්ට්’ (One Flew over the Cockoo’s Nest) (1975) චිත්‍රපටයේ ජැක් නිකොල්සන් (Jack Nicholson) නිරූපණය කරන ලද ආර් පී මැක්මර්ෆි (R.P McMurphy) චරිතය
2. මාර්ටින් ස්කොසැසේ (Martin Scorsese) ගේ ‘ටැක්සි ඩ්‍රයිවර්’ (Taxi Driver) (1976) චිත්‍රපටයේ රොබට් ඩි නිරො (Robert De Niro) පෙනී සිටි ට්‍රැවිස් බික්ල් (Travis Bickle) චරිතය.
3. රොබර්ට් සෙමැකිස් (Robert Zemeckis) ගේ ‘ෆොරස්ට් ගම්ප්’ (Forrest Gump) (1994) චිත්‍රපටයේ ටොම් හෑන්ක්ස් (Tom Hanks) පෙනී සිටි ෆොරස්ට් ගම්ප් චරිතය.
4. රොමන් පොලැන්ස්කි (Roman Polanski) අධ්‍යක්ෂණය කරන ලද ‘ද පියනිස්ට්’ (The Pianist) (2002) හි ඒඩිරියන් බ්‍රෝඩි (Adrien Brody) නිරූපණය කරන ලද ව්ලැඩිස්ලෝෆ් ස්පිල්මන් (Wladyslaw Szpilman) චරිතය.
5. ස්ටීවන් ඩැල්ඩිරි (Stephen Daldry) අධ්‍යක්ෂණය කළ ‘ද රීඩර්’ (The Reader) (2008) හි කේට් වින්ස්ලට් (Kate Winslet) නිරූපණය කළ හැනා ෂ්මිත්ස් (Hanna Schmitz) චරිතය.
2008 වර්ෂයේ Stephen Daldry විසින් අධ්‍යක්ෂණය කළ ''The Reader'' (2008) චිත්‍රපටයේ දර්ශනයක්
විශේෂයෙන්ම සිනමාකරණයේ හෝ වෙනත් කලා මාධ්‍යයක නිරත වන කලාකරුවෙකුට ස්වයං සහකම්පනයක් තිබීම වැදගත් ලක්ෂණයකි. මන්ද ස්වයං සහකම්පනයෙන් යුත් පුද්ගලයකුට තමන්ගේ පර්යාලෝකන, තමන්ගේ අදහස්, තමන්ගේ ආකල්ප, මනෝභාව, චිත්තවේග සියල්ලම පිළිබඳ මනා අවබෝධයක් තමන් සතු වන නිසාය. එවැන්නෙකුට සිය ස්වභාවය හරහා අනෙකුත් චරිතවල මනෝභාව හා ඒ සියලු මානවීය ගති ලක්ෂණ තේරුම් ගැනීමට ඉතාම පහසු කරවන කාර්යයකි.
ඇතැම් සිනමාකරුවන්ට තමන් පිළිබඳවම සහකම්පනයක් තිබුණද අනෙකුත් මිනිසුන් පිළිබඳව සහකම්පනයෙන් තොරනම් තමන් තුලින් පැනනගින සාධනීය මෙන්ම අසාධනීය ආත්ම ප්‍රකාශන කෘතියේ චරිත හරහා ඉදිරිපත් වීම වැළැක්විය නොහැකි දෙයකි. එතනදී සිදුවන්නේ එකී චරිතවල සැබෑ ගුණාංග ගතික සහ මනෝභාවයන් යටපත් වී සිනමාකරුවාගේ ස්වයං ප්‍රකාශන ඒ චරිත හරහා ප්‍රේක්ෂකයා කෙරෙහි ගමන් කිරීමයි. යම් සිනමාකරුවෙක් තම කලා නිර්මාණ තුළ ඇසුරු කරගන්නා චරිත පිළිබඳව සහකම්පනයෙන් තොරව ක්‍රියා කරන විට එකී චරිත තුළ වූ ගැඹුරු හා සංකීර්ණ චිත්තවේගීමය ස්වභාව ප්රේක්ෂකයාටද නොදැනෙනවා සේම ප්රේක්ෂකයාද චරිතයේ මතුපිට ස්වභාවයන් මිස අභ්‍යන්තර ස්වභාවයන් හසු කර නොගනී. එහෙත් සංවේදී ප්‍රේක්ෂකයා මේ බව හඳුනා ගන්නවා ඇත.
උදාහරණයක් ලෙස ගතහොත් සමාජයක ජීවත් වෙන හෝ මියගිය පුද්ගලයකු පිළිබඳව චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අදාල අධ්යක්ෂවරයා චරිතය සතු බාහිර අභිනයන් මෙන්ම සංකීර්ණ අභ්‍යන්තර මනෝභාවයන් පිළිබඳ අසංවේදී වීම හෝ සහකම්පනයෙන් තොරව ක්‍රියා කිරීම මගින් අවසානයේ එකී සිනමා පටය නරඹන ප්රේක්ෂකයාටද ඒ චරිතය සැබෑ ස්වභාවය නොදැනී මතුපිටින් පමණක් ඒ චරිතය ග්‍රහණය කර ගැනීමට යොමු වීම නොවැළැක්විය හැකි දෙයකි. අනෙක් අතට එකී චරිතය පිළිබඳව හොඳින් දන්නා හඳුනන හෝ ජීවත්ව සිටියදී දැන හඳුනාගෙන සිටි පුද්ගලයන් ප්‍රේක්ෂකාගාරයේ සිටී නම් සිනමාකරුවා එම චරිතය චිත්‍රපටය තුළ ගොඩනගන ආකාරය සහ සැබැවින්ම ඒ චරිතයේ ගති ලක්ෂණ අතර වෙනසක් තිබේ නම් වෙනස සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයා තුළ පරස්පරතා ඇතිවීම හේතු කොට ගෙන ප්‍රේක්ෂකාගාරය විසින්ම සිනමාකරුවාව ප්‍රශ්න කිරීමකට ලක් කරයි. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී නිර්මාණකරුවා විසින් ‘සහකම්පනය’ට ප්‍රධානම තැනක් ලබා දේ. මන්ද සහකම්පනය නොමැති සිනමාකරුවෙකු තුළ අරක්ගෙන සිටින්නේ මමංකාර ගතිලක්ෂණයක් සහිත කෙනෙකු වන බැවිනි. මමංකාරයෙන් යුතු නිර්මාණකරුවෙකු නිතරම තම නිර්මාණය ගැන අධි තක්සේරුවකින් යුතුව කතාකරයි. එවැන්නෙක් නිර්මාණයේ අන්තර්ගතයට වඩා අවධානය යොමු කරන්නේ නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙරෙහිය.
මමංකාරයට වඩා සහකම්පනයට තම නිර්මාණය තුළ මූලික ආස්ථානයක් ලබා දෙන සිනමාකරුවෙකුට සිනමා නිර්මාණයක් අවසාන කර එය ප්‍රේක්ෂාගාරය වෙත මුදා හැරීමෙන් පසු එකී නිර්මාණයේ යම් අඩුපාඩු පිළිබඳව ප්‍රේක්ෂක විවේචන එල්ල වනවිට ඒවාට ප්‍රතිචාර දැක්වීම පළ රහිත කාර්යයකි. මන්ද මුදා හැරීමෙන් පසු එම නිර්මාණය පවතින්නේ ප්‍රේක්ෂක තලයේ වන නිසාය.
අධ්‍යක්ෂකවරයෙකුට විවේචනවලින් චිත්‍රපටය ආරක්ෂා කර ගැනීමට කරන අනවශ්‍ය සාධාරණීකරණය කිරීම්, ප්‍රේක්ෂකයා ඒ නිර්මාණය තේරුම් ගන්නා ආකාරය වැරදි සහගත යැයි කියමින් ප්‍රේක්ෂක මතය කෙරෙහි සිදු කරන අනවශ්‍ය අතපෙවීම් සහ චිත්‍රපටයේ චරිත සහ සිද්ධී ගොඩ නැංවීම සම්බන්ධයෙන් කරන සාධාරණීකරණය කිරීම් වැනි දේ කරන්නට වෙහෙසෙන්නට අවශ්‍ය වන්නේ නැත. මන්ද සිනමාපටයක් නරඹා එය වටහාගැනීම හෝ නොගැනීම එය පිළිගැනීම හෝ නොගැනීම සහ ඒ පිළිබඳ විවිධාකාර අර්ථකථන දීම ප්‍රේක්ෂකයා සතු කාර්යයක් බැවිනි. මේ සඳහා ඉතා ආකර්ශනීය අදහසක් ඇමරිකානු සිනමා කරුවකු නළුවෙකු සහ කතුවරයකු වන ක්වෙන්ටින් ටැරන්ටිනෝ (Quentin Tarantino) කියා තිබේ.
“මගේ චිත්‍රපටයක් මිලියනයක පිරිසක් නරඹනවා නම් ඔවුන් ඒ තුළින් මිලියනයක් වූ විවිධාකාරී චිත්‍රපටි දකිනවාට මම කැමතියි”
(කර්තෘ - භාග්‍යා රාජපක්ෂ)
මූලාශ්‍රය - මෙය 2025.03.15 දින 'අනිද්දා' පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි)