lan englan tam

විශේෂාංග

මහගම සේකරගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කළ යුත්තේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහගම සේකර කිවිඳුන්ගේ 'ප්‍රබුද්ධ' කාව්‍යය සරසවි ප්‍රකාශනයක් ලෙස නැවත එළිදැක්වුණා

ඒ, මහගම සේකර 96 වන ජන්ම දින සැමරුමට සමගාමීව යි. මෙය ප්‍රබුද්ධ කාව්‍යයේ විසි වන මුද්‍රණය ලෙස සැලකෙනවා.

'ප්‍රබුද්ධ' යනු මහගම සේකරයන්ගේ අවසාන කෘතියයි. ඒ වගේම එය, එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැළකෙනවා.

50 දශකයෙන් පසු මෙරට බිහිවුණු විශිෂ්ටතම ආඛ්‍යාන කාව්‍යය ප්‍රබුද්ධ ලෙස ප්‍රවීණ විචාරයකයන් බොහෝ වර මත පළ කර තිබෙනවා.

මේ නව මුද්‍රණය පිළිබඳව ඇතිවුණු පෞද්ගලික කතාබහකදී  ප්‍රවීණ ලේඛක- විචාරක දයා දිසානායකයන් මා හට අලුත් අදහසක් ප්‍රකාශ කළා. එනම් සේකරයන්ගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය නොකරන්නේ මන්ද යන්නයි එය ඉතා වැදගත් අදහසක් යයි මටත් හිතෙනවා.

බෙංගාලයේ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමා සහ එතුමාගේ නිර්මාණ ලොව පුරා ගෞරවයට පාත්‍ර වූයේ 1911 රචිත ගීතාංජලී 1913 දී එතුමා විසින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව නොබෙල් ත්‍යාගය හිමි වීමෙන් පසුවයි .

මහාචාර්‍ය විමල් දිසානායකගේ පසුවදන, ප‍්‍රබුද්ධ කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය විය යුත්තේ ඇයි අපට කදිම සාක්ෂියක් සපයනවා.

"සතුටෙහි ගැටෙමින් පීඩනයට පත් වෙමින් දුක වැලඳ ගෙන උද්දාමයට පත් වෙමින් බහල තිමිර පටලයක් මැදින් ගමන් ගන්නා අපට කුරිරු දෑත් විදා ලුහු බැඳ ගෙන එන අසහනයෙන් මිදෙනු වස් පිළිසරණක් ලද හැක්කේ කොහින්ද?

මහගම සේකර කිවිඳුන් මෙම කාව්‍යයෙන් පවසන පරිදි පුද්ගල අනුභූතියෙහි පිහිටා පසක් කොට ගත් බුදු දහමෙහි මානුෂික හරයෙනි.

කාලීන සමාජ සංකේත ස්තබකයක් ආශ්‍රයෙන් කවියා බුදු දහමේ හරය අප ඉදිරියේ ගෙනහැර පාන්නේ අපූරු කල්පනා ශක්තියකින් යුතු වය.

මහගම සේකරයන්ගේ පරිණත කවීත්වයෙහි අග්‍ර ඵලය ප‍්‍රබුද්ධ කාව්‍යයයි.

පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියේත් සහජයෙන් ලද භාෂාධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිබිඹු වේ. ගත් වහර, ගැමි වහර, පුර වහර එක් වී සකස් වුණු සුන්දර භාෂා ප්‍රවාහයක් මතුයෙහි විචිත්‍ර වින්දන පථයක් ඔස්සේ අප කවියා අප කැඳවා යන්නේ අපට හොරා අපගේ නැණස පාදාලමිනි.

කවියන්ගේ පිය පහස අනවරතයෙන් ලද යුතු සන්මාර්ගය ද මෙය ම නො වන්නේ ද?"

-මහාචාර්ය විමල් දිසානායක

ප්‍රබුද්ධ කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළහොත් එය සමාන අදහස් ඇති බෙංගාලයේත් ආසියාතිකයන්ගේත් යුරෝපය පු‍රාත් ඉන් ඔබ්බටත් ඉතා ඉක්මනින් පැතිරී යනු ඇතැයි මගේ විශ්වාසයයි.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආදරණීය රවින්ද, පාටලී, නිරූපමා මහගමසේකර සොයුරු සොයුරියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ අවධානයත් මේ සඳහා යොමු කරවන්නට ඉතා කැමැතියි.

සටහන - පුෂ්කාර වන්නිආරච්චි

(උපුටා ගැනීම - පුෂ්කාර වන්නිආරච්චි ගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom