lan englan tam

විශේෂාංග

මොනා ලීසා අපිට දකින්න වෙන්නේ මෙන්න මේ වගේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පැරිස් නගරයේ ලූව්‍ර කෞතුකුගාරයේදී මොනාලිසා අපිට දකින්න වෙන්නෙ මෙන්න මේ වගේ.

පැය ගාණක් පෝලිමේ ඉඳලා… දහස් ගණන් සෙනග මැද්දෙ තෙරපිලා මේ වගේ ඈතින් මොනාලිසාව දකින්න පැරීසියට යන්න ඕනෙද.. අපිට හිතෙනවා.

මේ සිතුවම ඉතා කුඩා චිත්‍රයක්. ප්‍රමාණය සෙන්ටිමීටර් 77 X 53 ක් පමණයි.

Overview theories Leonardo da Vinci painting Mona

මේ වගේ චිත්‍රයක් ඇයි ලෝක ප්‍රසිද්ධ වෙන්නෙ..? ලෝකෙ හතර කොනින්ම එන රසිකයො පැය ගණන් පෝලිම්වල රස්‍තියාදු වෙන්නෙ ඇයි?

ලියනාඩෝ ඩාවින්චි කියන්නෙ කලාතුරකින් ලොව පහලවන විදිහේ දක්ශයෙක්..බුද්ධිමතෙක්. ඒකෙ සැකයක් නෑ.

චිත්‍ර ශිල්පියෙක්ටත් වඩා විද්‍යාඥ්ඥයෙක්, ගණිතඥ්තයෙක්, යුධ විශේෂඥ්ඥයෙක් ආදී විවිධ තානාන්තර ඩාවින්චිට පිලිගන්වන්න පුළුවන්.

මොනාලිසා චිත්‍රය අඳින්න පටන් ගැනෙන්නේ 1503 අවුරුද්දේ. ඒ වෙනකොට ලංකාවේ කෝට්ටේ රාජධානියේ රජකරන්නේ නවවන ධර්ම පරාක්‍රමභාහු රජු. සීතාවක රාජධානියේ නම් මායාදුන්නේ රජතුමා.

ඩාවින්චි අවුරුදු දාසයක් තිස්සේම මේ චිත්‍රය අඳිනවා සැරින් සැරේ. 1519 දී ලියනාඩෝ මියයන තෙක්ම මේ චිත්‍රය විවිධාකාරයට වැඩි දියුණු කරමිනුයි පවතින්නේ. තව විදිහකට කීවොත් චිත්‍රයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් නැහැ.

ඒ වෙනකොට පෲතුගීසින් ලංකාවට පැමිණීමත් රාජ්‍ය බලය හයවන විජයභාහු රජුට පැවරීමත් වැනි විශාල වෙනස්කම් සිදුවෙනවා. මේ වසරේදීමයි ස්පාඤ්ඤ නැවියන් මෙක්සිකෝ බොක්ක හරහා යාත්‍රාකරමින් පැනමාවට ලඟාවෙන්නේ.

ලියනාඩෝ ඩාවින්චි මොනාලිසා චිත්‍රයට කොයිතරම් වැදගත් කමක් දුන්නාද යත් ඉතාලියේ සිට ප්‍රංශයට පිටත් වීමේදී රැගෙන යන චිත්‍රවලින් එකක් වන්නේ අපි මේ කතාකරන මොනා ලීසායි.

ඊට අමතර මරිය තුමිය හා ශාන්ත ඈන් චිත්‍රයත් (The Virgin and Child with Saint Anne)… සෙන්ට් ජෝන් ද බැප්ටිස්ට් (Saint John the Baptist) කියන චිත්‍රත් ඔහු සමග ලොවා බලකොටුවට ගමන් කරනවා.

MonaLisa 2 480x480

මේ චිත්‍රය ඇඳීමට පටන් ගැනෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී.

සිතුවමට පාදක වෙන්නේ ලීසා ජෙරාදිනී (Lisa Gherardini) නම් වංශවත් තරුණිය. ෆ්ලොරන්ස් , මිලාන්, රෝම් නගරවල වරින්වර ජීවත්වෙන අතරතුරදීත් ලීසා චිත්‍රයේ වැඩකටයුතු සිද්ධවෙනවා.

රෝම පාලනය හා වතිකානුව සමග ඇතිවන මත ගැටුම් හේතුවෙන් කලකිරීමෙන් පසුවෙන ලියනාඩෝ ප්‍රංශයට සංක්‍රමණය වෙන්නේ 1516 අවුරුද්දේදී. විශේෂයෙන්ම වතිකානුව විසින් තමන්ගේ ලිංගිකත්වය ගැන ප්‍රශ්ණ කිරීම සම්භන්ධව ලියනාඩෝ පසුවන්නේ කලකිරීමෙන්.

එමෙන්ම ආගමික හා මූල්‍ය කටයුතු සම්භන්ධයෙනුත් දෙපාර්ශවය අතර මත ගැටුම් ඇතිවෙනවා.

ප්‍රංශයේ පලමුවන ෆ්‍රැන්සිස් රජුගේ ආරාධනයෙන් ප්‍රංශයේ ලොවා ප්‍රදේශයේ පදිංචියට යන මේ අපූරු බුද්ධිමතා මිය යන්නේත් ඔහු අවසන් වසර කීපයේ ජීවත් වූ ක්ලෝස් ලූසේ බලකොටුවේදීයි.

මොනාලිසා චිත්‍රය චිත්‍ර ශිල්පීන් අතර මේ තරම් ඇගයීමටත් කතාභටත් ලක්වෙන්නේ ඇයි කියන ප්‍රශ්ණය අපිට අහන්න පුළුවන්.

ස්ෆුමාටෝ (Sfumato) ශෛලිය හෝ තාක්ශණය ගැන අපිට අහන්න ලැබෙන්නේ මේ ප්‍රශ්ණයට ලැබෙන පිළිතුරුත් සමගයි.

මේ චිත්‍රයේ රූප හෝ ශරීරාංග වෙන්කරන රේඛාවන් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවට දකින්න තියෙන්නේ වර්ණ සංකලනය මගින් බොඳවුණු මිශ්‍රවුනු ඡායාවන් පමණයි. (Blurred Outlines and Smokey Atmosphere) .

සියුම් වර්ණ ආලේපනයන් වසර ගණනාවක් තිස්සේ වරින් වර ආලේප කර ඇති නිසා ඒ තුල ගැඹුරක් ඇතිකරනවා. මොනාලිගේ ඇස් සහ සිනහවෙන ඉරියව්, අපි ඒ දිහා බලන දිශාව හා කෝණය අනුව වෙනස්වන්නේ මෙන්න හේතුව නිසයි. ඒත් එක්කම මේ ක්‍රමය හරහා සිතුවමට එක්තුකරන්නේ මායාකාරී පෙනුමක්.

එක් කෝණයකින් බලද්දි සිනහවෙන ආකාරයක් දිස්වුනත් තවත් දිශාවකින් බලද්දි අපිට ඒ සිනහව දකින්න බැහැ.

ඒත් එක්කම මොනාලිසා දෙස කුමන කෝනයකින් බැලුවත් ඇය තමන් දෙස බලන ආකාරයකුයි අපිට දිස්වන්නේ.

ප්‍රේක්ශකයා සහ චිත්‍රය අතර හැඟීම් හුවමාරුවීමක් හෝ සංවාදයක් සිදුවෙනවා නිරන්තරයෙන්ම.

තමාව ලුහුබඳින ඇස් සඳහා ඩාවින්චි විසින් යොදාගන්නේ ඇසේ කළු ඉංගිරියාවේ ප්‍රමාණය. දකුණු ඇසේ කළු ඉංගිරියාව වම් ඇසට වඩා ප්‍රමාණයෙන් විශාලයි.

රූපයක් හෝ පුද්ගලයෙක් දෙස බලද්දි අපේ ඇස් සහ මොළය ක්‍රියාත්මකවන ආකාරය ගැන ඉතා ගැඹුරු අධ්‍යයනයක් මේ තුලින් ලියනාඩෝ ඉදිරිපත් කරනවා සැක නැතිවම.

යුරෝපයේ පුනරුදය කාල පරිච්ඡේදයේ නිර්මාණය වූ අනෙකුත් සියළුම චිත්‍රවල සියුම් රේඛා හා වර්ණ අතර වෙනස සෘජුවම සිතුවම් කර ඇති ආකාරය අපිට දකින්න පුළුවන්. මෙන්න මේ අනුවයි තාක්ශණික වශයෙන් මොනාලිසා විශේෂ වන්නේ.

1519 වර්ශයේ ඩාවින්චිගේ මරණයත් සමග මොනාලිසා ෆ්‍රැන්සිස් රජුගේ අයිතියට පත්වෙද්දි ඒ වසර අවසානයේ ලූව්‍ර චිත්‍ර හා මූර්ති එකතුවට එකතු කරනු ලබනවා.

ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ 1793 වර්ශයේදී ලූව්‍ර මාලිගය කෞතුකාගරයක් හා ප්‍රදර්ශණාගාරයක් බවට පත්වෙද්දි මොනාලිසා එහි ප්‍රදර්ශණයවන විශේෂ චිත්‍ර අතරින් එකක් බවට පත්වෙන ආකාරය අපිට දකින්න පුළුවන්.

නැපෝලියන් අධිරාජ්‍යා මේ චිත්‍රය සමග ආදරයෙන් බැඳුනු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් එක් අයෙක්. 1800 වර්ශයේදී තමන්ගේ නිදන කාමරයේ එල්ලීම සඳහා මොනාලිසා චිත්‍රය කෞතුකාගාරයෙන් බැහැරකිරීමට නැපෝලියන් කටයුතු කරනවා.

additional 3dba5940c3bc9ab3b9aa5606ee7633d1007580b9 AICC2 8

නැවත මේ චිත්‍රය කෞතුකාගාරයට ලැබෙන්නේ 1804 වර්ශයේදීයි.

1911 වර්ශයේදී මොනාලිසා චිත්‍රය සොරකම් කිරීමට වින්සෙනෝ පෙරුජියා නම් ඉතාලි ජාතිකයා සමත්වෙනවා.

වින්සෙනෝ කෞතුකාගාර සේවකයෙක්. 1913 වර්ශයේදී මොනාලිසා චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙන් සොයාගනු ලබන්නේ වින්සෙනෝ පෙරුජියා විසින් එම චිත්‍රය විකිණීමට ගත් උත්සාහයකදී.

වින්සෙනෝ පවසන පරිදි එම චිත්‍රය අයත් විය යුත්තේ ප්‍රංශයට නොව ඉතාලියටයි.

වසර දෙකක් පුරා තමන්ගේ නවාතැනේ මොනා ලීසා සඟවා තබාගැනීමට මේ පුද්ගලයා සමත්වීම විශේෂයි.

ඉතාලි භාශාවෙන් මේ චිත්‍රය හැඳින්වෙන්නේ La Gioconda නමින්. ප්‍රංශ භාශාවෙන් නම් La Joconde.

ලොව වටා විචාර, වේදිකා නාට්‍ය, චිත්‍රපට , ගීත හා සංවාදවලට ලක්වුණු මොනාලිසා තවත් සියවස් ගණනාවක් තිස්සේ සංවාදයටත් අගය කිරීම්වලටත් බඳුන්වන බවනම් නිසැකවම කිවහැකියි.

කර්තෘ - Malcolm Sang

මූලාශ්‍රය -Malcolm Sang ගේ මුහුණු පොත ඇසුරිනි 

Back to top
Go to bottom