මාකේස්ට ආදරය කරන්නෝ වර්ගාස් යෝසා ව පිළිකුල් කරන්නේ ඇයි? මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) මරණයත් එක්ක මේ කතාව ආයෙමත් මතුවෙලා තිබුණා
කොලොම්බියානු ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් (Gabriel Garcia Marquez) මිය යන්නෙ අප්‍රේල් 17 දාවක. ඒ 2014 දී (වයස 87යි).
පෙරූ ජාතික මාරියෝ වර්ගාස් යෝසා මිය යන්නෙ පසුගිය අප්‍රේල් 13 (වයස 89යි) දා.
දෙදෙනාම මිය ගියේ ශුද්ධ වූ සතියෙ කියල ඔවුන් ආදරය කරන කතෝලික බැතිමතුන් කියන්නෙ.

මාරියෝ වර්ගාස් යෝසා ගේ හා ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ තරුණ අවධියේ ගත් ඡායාරූපයක් (වම් පස-යෝසා, දකුණු පසින් -මාකේස්)
1966 දී පමණ ඇරඹුණු මේ මිත්‍රත්වය දෙපාර්ශවයම පවුලේ ඉතාමත්ම ළඟම හිතවතුන් වීම දක්වා වර්ධනය වුණා.
යෝසා සහ ඔහුගේ බිරිඳ පැට්‍රීෂියා (Patricia Llosa) ගෙ එක් පුතෙක්ව නම් කරන්නේත් ගේබ්‍රියෙල් නමින්. ඒ මාකේස් සමඟ තිබුණු මිත්‍රත්වය නිසා.
එම දරුවාගේ ගෝඩ්ෆාදර් සහ ගෝඩ්මදර් ලෙස නම් කරන්නේත් මාකේස් සහ ඔහුගේ බිරිඳ මර්සිඩීස් (Mercedes Barcha) ව.
1971 දී යෝසා සිය ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා සිදුකරන්නේ මාකේස්ගේ One Hundred Years of Solitude (සියක් වසක හුදෙකලාව) පොතෙහි දීර්ඝ සාහිත්‍ය විමර්ශණයක්, "Story of a Deicide" නමින්. එය මාකේස්ගේ පොත ලෙසටම වැදගත් නිබන්ධනයක් ලෙස ලතින් ඇමෙරිකාණු සාහිත්‍යයේ හැඳින්වෙනවා.
එහෙත් මේ ප්‍රාණ සහ මිතුදම බිඳෙන්නෙ අනපේක්ෂිතව.
යෝසා පෙරූ ජාතිකයෙක් වුවත් ජීවත් වෙන්නෙ ස්පාඤ්ඤයේ බාසිලෝනාවල.එහෙත් ඔහු නිතර පෙරූ රටට යනවා. කෙටි කාලීනව එහි ජීවත් වෙනවා.1964 දී ඔහු සිය බිරිඳ පැට්‍රීෂියා සමඟ පෙරූ රටට යෑමට නැව් නඟිනවා බාසිලෝනාවෙන්.එම දීර්ඝ නැව් ගමනේදී ඔහුට ඉතාමත් සුරූපී යුවතියක් මුණගැහැනෙවා සහ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩ නැඟෙනවා. ඔහුගේ මිතුරන් කියන්නෙ ඔහුගේ කඩවසම් බව නිසා කාන්තාවන්ගේ ඔහුට බේරුමක් නැති බවයි. එනිසාම ඔහු ස්ත්‍රී ලෝලියෙක් ලෙසට ප්රකටයි.ගමනාන්තය කෙළවර වෙන්නෙ යෝසා විසින් පැට්‍රීෂියාව අතහැර අනිත් තරුණිය සමඟ ජීවත් වීමට තීරණය කිරීමෙන්.මේ බැව් නැව තුළදීම පැට්‍රීෂියාට ලිපියක් මඟින් දැනුම් දුන් බවයි සඳහන් වෙන්නෙ.
පැට්‍රීෂියාට වෙන විකල්පයක් තිබුණෙ නැහැ නැවතත් බාසිලෝනා වලට යනවා හැරනේනට. එහෙත් ඇය එසේ පිටත් වීමට පෙර සිය පවුලේ මිතුරන් වූ මාකේස් යුවල මුණගැසීමට කොලොම්බියාවට පැමිණෙනවා.
ඇයගේ හිත හදන්නට ඔවුන් උත්සහ කළ බවත් සිදුවූ අවාසනාවන්ත සිද්ධියෙ දී ඈ ළඟින් සිටයේ ඔවුන් බවයි පැවසෙන්නෙ.
1965 දී පැට්‍රීෂියා නැවත බාසිලෝනා වෙත ගුවන් මඟින් පිටත් වෙනවා. කෙසේ නමුත් තවත් අවුරුද්දකින් පමණ යෝසා සහ පෙර කී තරුණිය අතර සම්බන්ධතාවය බිඳෙනවා.
යෝසා නැවතත් බාසිලෝනා වෙත පැමිණ පැට්‍රීෂියා සමඟ අලුතින් ජීවිතයක් ආරම්භ කරනවා.
එහෙත් යෝසාගේ නැවත පැමිණිමත් සමඟම මෙතුවක් කල් පරාජයට පත්ව සිටීමේ වේදනාව මඟ හැරනේනට දෝ "මමත් ආකර්ශනීය නෑ කියලා හිතන්න එපා. ගැබෝ (මාකේස්ගේ සුරතල් නාමය) වගේ ඔයාගේ යාළුවොත් මාව හොයාගෙන ආවා ඔයා ගියාට පස්සෙ" යැයි පවසා තිබෙනවා.
බොහෝ කාලයක් මුණ ගැසීමට ඉඩක්නොලද මාකේස් සහ යෝසා මුහුණට මුහුණ මුණගැහැන්නෙ 1976 පෙබරවාරි 12 දා මෙක්සිකෝවේ දී ඇන්ඩීස් හි අනතුරට ලක් වූ උරුගුවේ රග්බි කණ්ඩායමේ දිවි ගලවා ගත් අය පිළිබඳ වර්ගාස් ලෝසා විසින් රචිත The Andes Odyssey වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ.මාකේස් සිය මිත්‍රයා බොහෝ කලකින් දැක ගැනීමේ සතුටින් දෑත් විදහා යෝසාව වැළඳ ගැනීමට පැමිණෙද්දී ඉතා වේගයෙන් ඔහු වෙත පැමිණි යෝසා දැවැන්ත පහරක් මාකේස්ගේ මුහුණ වෙත එල්ලකරනවා.
"මේක උඹ මගෙ ගෑනිට කරන්න හැදුව දේට!"
ක්ෂණිකව වම් ඇසට වැදුණු එම දැවැන්ත පහරත් සමඟම බිඳුණු ඇස් කණ්ණාඩියෙන් මාකේස්ගේ නහය අසළ කැපී ලේ ගලන්නට පටන්ගත් අතර ඔහුව බිම ඇද වැටෙනවා. ඇස වටේ ඉතා තද කළු පැල්ලමක් (Black eye) මතු වෙනවා.
ළඟින් සිටි මාකේස්ගේ බිරිඳ මර්සිඩීස් "මගේ මිනිහා ගෑනුන්ට කැමතියි තමා, ඒත් ඉතා හොඳ පෙනුමක් ඇති ගෑනුන්ට. ඒක නිසා තමුසෙ කියන දේ ඇත්තක් වෙන්න බැහැ" යනුවෙන් කෑ ගැසූ බවයි පැවසෙන්නෙ.
සිද්ධිය ට ඇත්ත හේතුව දන්නෙ මාකේස්, යෝසා සහ ඔහුගේ බිරිඳ පමණි.එය බොහෝවිට එය යෝසා විසින් බිරිඳ අතහැරීමේන් පසුව මාකේස් ඇයට යෝසාව අත්හැරල දාන්න යැයි පැවසීම යෝසාට ආරංචී වී තිබීම හෝ මාකේස් යෝසාගෙ බිරිඳ පැට්‍රීෂීයා වෙත ඇත්තටම ළං වීමට උත්සහා දැරීම නිසා හෝ වෙන්නට ඇත.
එහෙත් වරෙක මාකේස් විසින් සිය මිතුරෙකුට පවසා තිබුණේ "නෑ, බලන්න, එයා (පැට්‍රීෂීයා) මං ළඟට එන්න හදනවා, ඒත් එයාලා වෙන් වෙලා හිටියත් මම මාරියෝ (යෝසා) ට ගොඩක් ආදරෙයි...". සමහරවිට පැට්‍රීෂීයා යෝසාට පවසා තිබුණේ අතිශෝක්තියක් වන්නට පුළුවන.
ඊටත් අමතරව යෝසා සහ මාකේස් අතර ඒ වන විට යටින් දිවෙන දේශපාලන විරසක බවක් තිබී ඇත.
1970 මුල සිට යෝසා කෙමෙන් කෙමෙන් වාමංශික අදහස් ඉවත දමා දකුණු ඉවුර වෙත මාරුවෙමන් තිබුණු අතර මාකේස් සුපරුදු වාමංශික අදහස සහිතව කැස්ත්‍රෝගේ දේශපාලනයට ආකර්ශනය වී තිබුණි. යෝසා කැස්ත්‍රෝගේ දේශපාලනය පිළිකෙව් කළේය.
කෙසේ නමුද මෙම සිදුවීමෙන් පසු මාකේස් සහ යෝසා කිසිදිනෙක නැවත මුණගැසී හෝ කතා කර නොමැත.
දෙදෙනා කිසිදු මොහොතක දෙදෙනා ගැන සඳහන් කිරීමෙන් ද වැළකී ඇත.
"Story of a Deicide" නම් වූ සිය උපාධි නිබන්ධනය ඉංග්‍රිසියට පරිවර්තනය කිරීමට පවා ඔහු ඉඩ දී නොමැත්තේ මේ විරසකය නිසාවෙනි.
එහෙත් 2007 දී මාකේස්ට වයස 80 සම්පූර්ණ වීම සහ One Hundred Years of Solitude පොතට වසර 40ක් සම්පූර්ණ වීම වෙනුවෙන් එම පොතෙහි හැඳින්වීමට සිය නිබන්ධනයෙන් කොටසක් එකතු කිරීමට යෝසා එකඟ වී තිබුණි.

ඉහත ඡායාරූපය ගෙන තිබුණේ පහර කෑමෙන් දින දෙකකට පසු, මාකේස් ගේ මිතුරෙකු වූ ඡායාරූප ශිල්පී රොඩ්රිගෝ මෝයා (Rodrigo Moya) විසිනි. මාකේස් සහ බිරිඳ ඡායරූප ගැනීම සඳහාම රොඩ්රිගෝ සොයාගෙන ගොස් තිබුණි.
ඒ කිසිම නීතිමය කටයුත්තකට නොව මතක සටහනක් එකතු කරගැනීමට පමණි.
රොඩ්රිගෝ විසින් ඡායාරූප කිහිපයක්ම රැගෙන තිබූ අතර මාකේස් ඒ මොහොතේ වේදනාවෙන් සහ සිත්තැවීමෙන් සිටියත් මෙය ඔහු විසින් යම් විහිළුවක් පැවසූ විට මාකේස් සිනාසෙන විටදීම ලබා ගත් ඡායාරූපයකි.
මෙම ඡායාරූපය රොඩ්රිගෝ විසින් 2007 වෙනතෙක්ම ප්‍රසිද්ධ කර නොමැති අතර එහිදී වුව සිය මිත්‍ර මාකේස්ට ඇති ආදරය නිසාවෙන් ඔහු සිනහා වී සිටින මෙම ඡායාරූපය පමණක් මුදලට විකුණා ඇත.
“මම ඔහුට ඇත්තටම ආදරෙයි, මට ඒ ඡායාරූපය ඛේදජනක එකක් විදිහට පෙන්නන්න ඕන වුණේ නැහැ - උඹ මට ගහල ඔය කළේ. මම තඹෙකට ගණන් ගන්නෙ නැහැ - වගේ දෙයක් කියන්නයි මට ඕනෑ කළේ, රොඩ්රිගෝ පවසා තිබුණි.
“මාරියෝ (යෝසා) ඊර්ෂ්‍යාකාර මෝඩයෙක්. ඌ ඊර්ෂ්‍යාකාර මෝඩයෙක්” යැයි ඡායාරූප ගැනීමට පැමිණි මාකේස්ගේ බිරිඳ කේනතියෙන් පැවසු බැව් ද රොඩ්රිගෝ 2007 දී මාධ්‍යයට පවසා තිබුණි.
එහෙත් යෝසා මේ පහර මාකේස්ට එල්ලකළේ ඇයි යන්න තමා නොදන්න බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.
1982 දී මාකේස් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණු අතර, 2010 දී වර්ගාස් ලෝසා ට එම ද එම නොබෙල් ත්‍යාගයම ලැබුණි.
වර්ගාස් ලෝසා නැවතත් සිය බිරිඳ පැට්‍රීෂියාව අවසානයේ 2015 දී සදහටම අතහැර දමා නැවත ස්පාඤ්ඤ ජාතික ගායක ජූලියෝ ඉග්ලේසියස් ගේ පෙර බිරිඳ සමඟ සම්බන්ධතාවයක් ඇත් කර ගත්තේය (ඒ වන විට ලෝසාට වයස අවුරුදු 79 කි).
මාකේස්ට ආදරය කරන්නෝ වර්ගාස් යෝසා ව පිළිකුල් කරන්නේ ඔන්න ඔය විරසකය නිසා.
සටහන - මහේෂ් මුණසිංහ
(මූලාශ්‍රය - මහේෂ් මුණසිංහගේ මුහුණු පොත ඇසුරිනි)