2010 සාහිත්ය සඳහා නොබෙල් ත්යාගලාභී සහ ලතින් ඇමරිකාවේ වඩාත්ම බලගතු ලේඛකයෙකු වූ පේරු නවකතාකරුවෙකු, රචනාකරුවෙකු, මාධ්යවේදියෙකු සහ දේශපාලනඥයෙකු වන මාරියෝ වර්ගාස් ලෝසා පසුගිය ඉරිදා ලීමාහිදී වයස අවුරුදු 89 දී මිය ගිය බව ඔහුගේ දරුවන් පැවසූහ.
අල්වාරෝ, ගොන්සාලෝ සහ මෝර්ගනා වර්ගාස් ලෝසා විසින් අත්සන් කරන ලද ප්රකාශයකට අනුව, ඔවුන්ගේ පියා මිය ගියේ ඉතා සාමකාමී ලෙසිනි.
"මම ජීවත් වූ ආකාරයට ජීවත් වීමට එක් හේතුවක් වූයේ මට වික්රමාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්ය වූ නිසයි. නමුත් මගේ හොඳම වික්රමාන්විතයන් දේශපාලනික ඒවාට වඩා සාහිත්යමය දේවල්" ලෝසා 2012 දී ගාඩියන් පුවත් පතට පැවසීය.
ලීමා විශ්ව විද්යාලයෙන් උපාධිය ලබාගත් පසු, ස්පාඤ්ඤයේ වැඩිදුර අධ්යාපනය ලබා පසුව පැරිසියට ගියේය.
ඔහු මුලින් අපරාධ වාර්තාකරුවෙකු සහ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු ලෙස සේවය කළ නමුත් ඔහුගේ පළමු නවකතාවේ සාර්ථකත්වයෙන් පසු පුවත්පත් කලාව අතහැර දැමීය. 1963 දී, එනම්; වයස අවුරුදු 27 දී, පේරු කැඩෙට් පාසලක් පසුබිම් කරගත් ඔහුගේ පළමු නවකතාව වන The time of the hero සඳහා Premio Biblioteca Breve සහ Premio de la Crítica Espanola දිනා ගත්තේය.
මෙම නවකතාවට පදනම් වූයේ ලීමා හි ලියොන්සියෝ ප්රාඩෝ හමුදා ඇකඩමියේදී ඔහු ලැබූ අත්දැකීම් සමුහයකි.

ඔහුගේ බොහෝ කෘති මතභේදයට තුඩු දුන් අතර The City and the Dogs (The time of hero නවකතාව පාදක කොට ගත් සිනමා පටයකි) ලියොන්සියෝ ප්රාඩා හමුදා පාසලේ භුමියේදී පුළුස්සා දමන ලදී.
එක් ජෙනරාල්වරයෙක් ලේඛකයා හැඳින්වූයේ "පරිහානියට පත් මනසක්" ලෙසයි.
තවද "Pantaleon and the Visitants" (1973) ප්රකාශයට පත් කිරීමෙන් පසුව හමුදා රජයෙන් එල්ල වූ චෝදනාවලට ඔහු ලක් වූයේ පේරු කාන්තාවන්ට අපහාස කිරීම සම්බන්ධයෙනි.
මර්දනයේ පියවරක් ලෙස, ඔහුගේ ග්රන්ථ පාදක කොටගත් ඕනෑම චිත්රපට අනුවර්තනයක් රට තුළ රූගත කිරීම තහනම් කරන ලදී.
ස්පාඤ්ඤ පුවත්පතක් වන එල් පයිස් (EL PAIS) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.
"පරීක්ෂා කිරීමට හා කරුණු තහවුරු කර ගැනීමට පුවත්පත් කලාව මට බල කළා. එය මට ඉගැන්වූයේ ප්රවේශම් වීම කොතරම් වැදගත්ද යන්නයි. මට මාධ්යවේදී විනයක් නොතිබුනේ නම්, මම ලේඛකයෙකු නොවනු ඇත. මම සෑම දෙයක්ම දැඩිව පරීක්ෂා කර නිවැරදි කරමි. (...) ලිවීම කියන්නේ දුෂ්කර කාර්යයක් , නමුත් ප්රීතියක්, මහත් අහ්ලාදයක්..."
සිය නවකතා තුලින් ලෝසා බල අවුල, ප්රචණ්ඩත්වය සහ දූෂණය විස්තර කළ අතර, දකුණු ඇමරිකානු සමාජවල පරිදර්ශක රූප නිර්මාණය කළේය.
"දෙව්මැදුරේ සංවාදයෙන්" (Conversation in the Cathedral) 1948 සිට 1956 දක්වා මැනුවෙල් ඔඩ්රියා (Military officer and former President of Peru) විසින් නායකත්වය දුන් පේරු ආඥාදායකත්වය සාමාන්ය ජනතාවගේ ජීවිත පාලනය කර විනාශ කළ ආකාරය පෙන්නුම් කරන ලදී
. "The Feast of the Goat" (2000) කෘතිය දශක තුනකට වැඩි කාලයක් ඩොමිනිකන් ජනරජය පාලනය කළ ඒකාධිපති රෆායෙල් ටෘජිලෝ (Rafael Trujillo)කෙරෙහි අවධානය යොමු කළේය.
ඒ අතරම, ඔහුගේ ගද්යය බහු ස්ථරවලින් යුක්ත වූ අතර ඒවා බොහෝ අර්ථකථන සඳහා විවෘත විය.
කෙසේ වෙතත්, කාලයත් සමඟ ලෝසා ඔහුගේ නිර්මාණශීලීත්වය සහ දේශපාලන මැදිහත්වීම හේතුවෙන් පේරු රාජ්යයේ කේන්ද්රීය චරිතයක් බවට පත්විය.
1960 සහ 1970 ගණන් වලදී ඔහු කියුබානු විප්ලවයට, යටත් විජිතකරණ ක්රියාවලියට සහ සමාජවාදී ප්රතිසංස්කරණවලට සහාය දැක්වීය.
කාලයාගේ අවෑමෙන් ඔහු තම වාමාංශික අදහස් අතහැර දැමීය.
1984 දී අගමැති ධුරයට පත්වීමට කොන්සර්වේටිව් ජනාධිපති ෆර්නැන්ඩෝ බෙලෝන්ඩේ ටෙරීගෙන්( Fernando Terry) ලැබුණු යෝජනාව ඔහු ප්රතික්ෂේප කළද, වසර හයකට පසු පේරු ජනාධිපති ධුරයට තරඟ කිරීමට තීරණය කළේය. එහෙත් දෙවන වටයේදී ලෝසා පරාජයට පත් විය.

1994 දී ඔහු ස්පාඤ්ඤ භාෂා සාහිත්ය ලෝකයේ වඩාත්ම කීර්තිමත් කුසලානය වන සර්වන්ටෙස් ( Cervantes Literary Award) ත්යාගය ලබා ගත්තේය.
2010 දී ස්වීඩන් ඇකඩමිය ඔහුට සාහිත්ය සඳහා නොබෙල් ත්යාගය ප්රදානය කළේය. "ඒක සතියකට සුරංගනා කතාවක් සහ අවුරුද්දකට බියකරු සිහිනයක්" යැයි ඔහු පසුව ගාඩියන් පුවත්පතට පැවසුවේ සම්මුඛ සාකච්ඡා ලබා දීමේ සහ පොත් ප්රදර්ශනවලට පෙනී සිටීමේ පීඩනය නිසා ලිවීමෙන් වැළකී සිටි බවයි.

2010 දී මාරියෝ වර්ගාස් යෝසා සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවස්ථාව
ඔහුගේ අවසන් නවකතාව වන "මේ නිහඬතාවය ඔබ වෙනුවෙන්" ( (I Give You My Silence) ප්රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය වසරේදීය.
ලෝසාගේ කෘතීන් කීපයක් (මගේ දැනීම අනුව 6ක් පමණ) සිංහල බසට පරිවර්තනය වී තිබෙන අතර ඒ පෙරළුම් සිදු කරන ලද්දේ වියන්ගොඩ, අමරකීර්ති, චුලානන්ද ,ඉන්දික ගුණවර්ධන වැනි පරිවර්තකයන් විසිනි.

ගාමිණී වියන්ගොඩ විසින් සිංහලට පරිවර්තනය කළ යෝසාගේ 'The Bad Girl' කෘතිය
සටහන - සුරී ලංකා විසිනි
(පෝලන්ත පුවත්පත් ඒජන්සියේ තොරතුරු ඇසුරෙනි)