පහුගිය දවසක ජාතික රූපවාහිනියේ කොරිඩෝරය දිගේ ඇවිදගෙන යනකොට නිකමට වගේ ඔළුව උස්ස්සලා දකුණු අත පැත්තෙ තිබුණු හඬ දෙකැවි මැදිරියේ ශබ්දාගාරය දිහා බැලුවා.
හඩ දෙකැවි මැදිරියේ ශබ්දාගාර දොරේ සටහන් කරලා තිබුණු මෙන්න මේ වාක්යය දැක්කම මට ඇත්තටමම හිනා ගියා. බැලූ බැල්මටම.
මේක සිනහව උපදින වාක්යයක් වගේ පෙනුනට. මේක ඇතුලේ තියෙන්නේ ගැඹුරු තේරුමක්.මේක නිශ්ශබ්ද විය යුතු ස්ථානයක් බව හැඟවීම මේ වාක්යයෙන් සිදු කරනවා.
අනිත් අතට මෙම ස්ථානයේ සිදු සිදුකරන්නේ හඬ කැවීම් බවට හැඟවීමක්ද සිදුකරනවා.
මෙම ස්ථානයට අඩිය තියන්න කලින්ම මෙහි තිබෙන නිර්මාණශීලී පරිසරය ගැන තේරුම් ගන්න මේ වාක්‍යම ප්‍රමාණවත්..
ශ්රී ලාංකේය රූපවාහිනී ප්රේක්ෂක ගාරයට.මුල්වරට හඩ කැවීමේ කලාව හඳුන්වා දුන් ටයිටස් තොටවත්වයන් තමයි මෙම ශබිදාගාරයේ නිර්මාතෘ වෙන්නේ.එතුමාට කරන උපහාරයක් විදිහට.මෙම ශබ්දාගාරය එතුමාගේ නමින් නම් කරලා තිබෙනවා.

වර්තමාන පරපුර බොහෝවිට සයිබර් පරපුර විදියට නම් කරනකොට අපේ පරම්පරාව " රූපවාහිනී පරම්පරාව" විදියට නම් කලොත් ඒක නිවැරදියි.
මොකද අසූව දශකයේ ඉපැදුනු අපි දණගාගෙන ඇවිත් නැගිට්ටේ රූපවාහිනිය අල්ලගෙන. අද පරපුර සයිබරය එක්ක තියෙන අත්යන්ත බැදීම හා සමානම බැදීමක් එදා අපිට රූපවාහිනීය එක්ක තිබුණා.
රූපවාහිනිය මෙරටට ආගමනය වෙන්න කලින් මේ රටේ මිනිස්සුන්ගේ ප්රධාන විනෝදාස්වාදන මාධ්යන් වුණේ සිනමාව, රේඩියෝව, පුවත්පත් නවකථා සහ චිත්රකථා.එයිනුත් දෘශ්ය මාධ්යක් විදියට මිනිසුන් වැළදගෙන හිටියෙ සිනමාව.
ඒත් ඒ දෘශ්ය මාධ්ය රසවින්දනය ලබාගන්න නම් මිනිසුන්ට සිනමාහලකටම යන්න සිදුවුණා. ඒ නිසා මිනිසුන් බහුතරයකගේ එදිනෙදා රසවින්දන මාධ්යන් වුණේ රේඩියෝව නවකථාව සහ පුවත්පත්.
රූපවාහිනී ආගමනයත් එක්ක ලංකවෙ මිනිස්සුන්ට දෘශ්ය මාධ්යයේ විනෝදාස්වාදන මාධ්යයක් එකතුවුණා. ඒක වෙනම අත්දැකීමක්.අද වගේ නොවෙයි ඒ කාලෙ මිනිස්සුට බලන්න තිබුණේ නාළිකා දෙකයි.ඒවගෙ විකාශය ආරම්භ වුණේ හවස හතරට වගේ.
මුල්කාලීනව සිනමාව සමග සම්බන්ධ වෙලා හිටපු ඩී.බී නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ , ටයිටස් තොටවත්ත වගේ දැවැන්තයන් ටෙලි මාධ්යයට සම්බන්ධ වෙන්නෙ ජාතික රූපවාහිනීය හරහා.
සිංහල සිනමාවට චණ්ඩියා, හාරලක්ස මංකොල්ලය, හදයා, මරුවා සමග වාසේ වගේ අමරණීය සිනමාපට නිර්මාණය කරපු ටයිටස් තොටවත්ත මහතා ජාතික රූපවාහිනිය තුලින් ලංකාවේ ප්රේක්ෂකයාට මුල්වරට හඩකැවීමේ කලාව හඳුන්වා දුන්නා.අහල-පහල, ලොකු බාස්- පොඩි බාස්, දොස්තර හොදහිත, පිස්සු පූසා, සුරඟන කථා කරලිය, ඔෂින්. වගේ කාටූන් සහ කථා මාලාවල් ටයි මහතා හඳුන්වා දුන් හඩකැවීමේ තාක්ෂණය ඔස්සේ හැඩවෙලා අපේ ගෙදර ආලින්දයට ආවා.

අද වගේ තාක්ෂණය සුලබ නොවුණු ඒ කාලෙ හඩකැවීමේ තාක්ෂණය හැසිරවීම පහසු වෙලා නැහැ.
හරි හැටි ස්ටුඩියෝවක්වත් රූපවාහිනියට නොතිබුනු ඒ කාලෙ හඩකැවීම සිදුකරල තිබුණේ චිත්රපට සංස්ඨාවෙමයි.ඒ නිසාම ශිල්පීන් අතින් සිදුවියහැකි වැරදීම් අතිශයින්ම අවමවීම සිදුවිය යුතුම තිබුණා.
මේ තත්වය උඩ දෙබස් කීම " වන් ටේක්" ගන්න සිදුවෙලා තියෙනවා. මේ නිසාම ටයිටස් මහතාට හඬ කැවීමේ කටයුතු වලදී ගොඩක් කේන්ති යනවා කියන දේ සිද්ධ වුණා කියල අතුල රන්සිරිලාල් ශර් මාත් එක්ක වතාවක් කිව්වා.

ටයි මහත්තයගෙ දැඩි වෘත්තීමය ස්වභාවයෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි.උදාහරණයක් විදියට කුන්ග්ෆූ කරද්දි එතුමා ඉදල තියෙන්නේ අංශභාග රෝගී තත්වයෙන් පීඩා විදිමින්. ඒත් එහෙම අමාරු තත්වයක ඉදලත් එතුමා කුන්ග්ෆූ කලාවේ ඉතිහාසයම හදාරලා තමයි කුන්ග්ෆූ පරිවර්තනය කරන්න අරගෙන තියෙන්නේ.ඔහු සිදුකරපු හැම නිර්මාණයක්ම ලංකාව ඇතුළෙ සන්නාමයක් වෙන්නෙ අන්න ඒ නිසයි.

සිනමාවෙ, රූපවාහිනිය ඇතුළෙ දඩබ්බර රැඩිකල් ගමනක් ගිය ටයි මහත්තයගෙ උපන්දිනය අප්රේල් 17. ඒ කියන්නෙ 1927 අප්රේල් 17 තමයි එතුමාගෙ උපන්දිනය. සුජීවත්ව සිටියානම් දැන් එතුමාට අවුරුදු 98ක්.
කර්තෘ - ජයශංඛ කරුණාරත්න
(ජයශංඛ කරුණාරත්න ගේ මුහුණු පොත ඇසුරිනි)