lan englan tam

විශේෂාංග

කළු මහත්තයාගේ ඩ්‍රාමා ෆැක්ටරිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
හැත්තෑව දශකයේ නිහාල් නෙල්සන් ගැයූ ‘ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ’ ගීතය බෙහෙවින් ජනප්රිය වූවකි.
 
ගීයක් ලෙස එය එදා මෙදාතුර අතිශයින් ජනප්රිය වූවත් ඒ ගීයේ කියවෙන ලෙස එදා සිටි කලාකරුවන් එකතු වී විනෝද වූ ‘‘ගුණෙ අයියගෙ’’ බජව් දාන කාමරයක් ඇත්තටම කොළඹ තිබූ බවට අදටත් නොදන්නෝ සිටිති.
ඒ කාමරය හිමි ගුණෙ අයියා වූ ගුණතිලක පෙරේරා අදටත් වියපත්ව ගම්පහ ප්රදේශයේ වසන්නේය.
එලෙසින්ම ඔය කාලයේ රයිගම් පුරවරයේ කලාවට හිතැත්තෝ තිඹිරිගෙය කරගත් කාමරයක්ද එපුරේ විය. ඒ හොරණ කළු මහත්තයාගේ ඩ්රාමා පැක්ටරියයි. එදා එහි ආගිය අංකුර කලාකරුවෝ අද නිර්මාණකරණයේ විශිෂ්ට කලාකරුවෝ වී සිටින්නෝය.
මේ කියන ඩ්රාමා පැක්ටරියේ හිමිකරු වී සිටියේ දොන් ජෙරාඩ් නානායක්කාරය. ඒත් එදා එහි ආගිය ඔහුගේ ඇසුර ලැබූවන්ට ඔය නමට වඩා ඔහුව මතක කළු මහත්තයා ලෙසිනි.
 
‘‘කළු මහත්තයා හොරණට ඇවිත් තියෙන්නේ මග්ගොන ඉඳලා. ඒ සමුපකාර දෙපාර්තමේන්තුවේ රැකියාවකට. හොරණ නගරයේ පානදුර පාරේ විද්යාරත්නය පැත්තට වෙන්න තමයි කළු මහත්තයාගේ කාමරේ තිබුණේ. බ්ලොක් ගල්වලින් බැඳපු දිග කාමරයක්.
ඒකේ ඉදිරිපස කොටසේ තමයි කළු මහත්තයාගේ ‘මානෙල් චිත්රාගාරය’ දාලා තිබුණේ. හොරණ තිබුණ පැරණිම පොටෝ සාප්පුව ඒ . කාමරේ බිත්තියේ අඟුරු කෑල්ලකින් ලියලා තිබුණා ‘ඩ්රාමා ෆැක්ටරි’ කියලා.
 
ඔය කාමරේ පැදුරු තියෙනවා. එක ඇඳක් තියෙනවා. පොඩි පොඩි නාට්ය පුහුණුවීම් කරනවා. රෑ වෙනවා කළු මහත්තයාගෙන් මොනවා හරි කනවා. එතනම රෑ නවතිනවා. බොහොම සුන්දර තැනක් වුණා. මමත් විද්යාරත්නෙ ඉස්කෝලෙ ඇරිලා එන ගමන් ඔතනට ඔළුව දාලා ගිහින් ආයෙත් පහට හයට විතර එනවා. ඉතින් ඔතන තමයි කලාකාරයෝ හැන්දෑවේ මුණගැහෙන තැන.
මට මතකයි ඒ කාලේ අපි කලාකරුවො කියලා දැනගෙන හිටපු මහගමසේකර, දයානන්ද ගුණවර්ධන, පියසිරි විජේරත්න,එස්. ඒ. ප්රේමරත්න, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම වගේ අයත් ආවා ගියා. ඒ වගේම ඔය ක්ෂේත්රයේ නමක් දරා සිටි ජයසේන ජයකොඩි, මහාචාර්ය හේමපාල විජේවර්ධන, ගුණදාස ලියනගේ, කරුණාසේන ජයලත් කිත්සිරි සමරනායක, සෝමපාල පීරිස් වැනි ලේඛකයින් හා විද්වතුනුත් ඔය ඩ්රාමා පැක්ටරිට ආවා ගියා"
 
‘රාජකපුරු, සක්වළ කැලඹිලා, රජගහේ නාඩගම, අබුද්දස්ස කෝලම, ආඬි හතයි කැඳ හැළියයි ඔය ආදි නාට්ය තුළින් මෙන්ම වේදිකාව පුංචි තිරය සිනමාව තුළින් ඉහළ ප්රේක්ෂක මනාපයක් දිනාගත් ජනක් ප්රේමලාල් කියන විදිහට ඔහු කළු මහත්තයා ඇසුරු කළේ විද්යාරත්නයේ පාසල් යන සමයේය.
 
මානෙල් චිත්රාගාරයට නම හැදුණ හැටි ද හරි අපූරු කතාවක්ය. එය අපට කීවේ ද ජනක් ප්රේමලාල්ය.
එකල කළු මහත්තයා ප්රේම සබඳතාවක් ඇතිකර ගෙන තිබුණේ මානෙල් නම් යුවතියක් සමගය. බොහෝ කලක් දෙදෙනා අතර ප්රේම සම්බන්ධය පැවතුණත් අවසානයේ අවාසනාවන්ත ලෙස ඇය රෝගී තත්ත්වයට පත්වී මියගොස් ඇත්තේය. ඇය රෝහලේ සයනය මත අවසන් හුස්ම පොද හෙළා ඇත්තේ කළු මහත්තයාගේ අතින් අල්ලාගෙන බව කියයි. තමා කිසි දිනක විවාහ නොවන බවට තීරණය කළ කළු මහත්තයා ඇය සිහිපත්වීම සඳහාම ඇයගේ නම යොදා මානෙල් චිත්රාගාරය ආරම්භ කර ඇත.
පසුකාලීනව මෙරට දක්ෂ නාට්යකරුවන් අතර ජනක් සේම එකල විද්යාරත්නයේ ඉගෙනුම ලැබූ තවත් අය වූහ.
කළු මහත්තයා ඉගෙනුමට දක්ෂතා පෙන්වන දරුවෙක් හමුවුණොත් ඔහු දරුකමට හදා ගන්නා තරමටම උදව් පදව් කරන්නේය. එවැනි ආකාරයට කළු මහත්තයා ඇසුරේ හැදී වැඩී ජීවිතය ජයගත් ඇත්තන් බොහෝය.
 
නාහල්ලේ උපන් හේමසිරි ලියනගේ ද විද්යාරත්නයට ගියේ කළු මහත්තයාගේ ඩ්රාමා ෆැක්ටරියේ නැවතීය. ඔහු දෙවෙනි තාත්තා තරමටම කළු මහත්තයාට ආදරය කරන්නේය.
‘‘මාව උදෙන්ම නැගිට්ටවලා මයිලෝ එකක් හදලා දීලා කියනවා පාඩම් කරපන් කියලා. ඊට පස්සේ කන්න බොන්න හදලා දීලා ඉස්කෝලෙ යවනවා. බොහෝ දාට මයිනර් කාර් එකේ ඇවිත් මාව එක්කරගෙන යනවා. දවසක් සංගීත ගුරුතුමා මාව මහන්සි කරව කරව සිංදු කියවන්න හදනකොට කේන්ති ගිහින් ඔය ළමයව මරවන්නෙ නැතිව මෙන්න මෙහෙට දෙනවා කියලා මාව අරගෙන ගියා.
ආගමෙන් කතෝලිකයෙක් වුණාට, මහනුවර ධම්මරතන හාමුදුරුවන් හොරණ වජිරඤාණ හාමුදුරුවන් එක්ක ළඟ ඇසුරක් තිබුණා.
මම හොරෙන් චිත්රපටි බලන්න ගිහින් එහෙම අහුවුණොත් අල්ලගෙන හොඳටම බනිනවා. අන්තිමට දුක හිතිලා හවසට මට අලුත්ම කමිසයක් ගෙනත් දෙනවා.
මං වගේම තව දරුවෝ රාශියකට ම තාත්තා කෙනෙක් වුණා.
දවසක් පත්තරේ තිබුණා ඡන්ද ප්රතිඵල මතකින් කියන්න පුළුවන් දක්ෂතා තියෙන දරුවෙක් ගැන. අපි බිංගිරියට ගිහින් එයාව එක්කගෙන ඇවිත් තක්ෂිලාවට දැම්මා. ආරියරත්න කියලා එයා පසුව විදුහල්පති කෙනෙක් වුණා. ඔය හොරණ සුනිල් පීටර් පෙරේරා හැදුණෙ කළු මහත්තයා ළඟ.."
 
ඔය කාලයේ විද්යාරත්නයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ධර්මසිරි බණ්ඩාරනායක විද්යාරත්නය අසල යහලුවෙක්ගේ කාමරයක නැවතී සිටියත් වැඩිපුර සිටියේ කලු මහත්තයාගේ කාමරයේය පසුකාලිනව වේදිකාවෙහි ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ, යක්ෂාගමනය හා ට්රෝජන් කාන්තාවෝ වැනි නාට්ය ඔහු අතින් නිෂ්පාදනයට මග පෑදුණේ කලු මහත්තයාගේ මේ ඇසුරය.
වේදිකාවේ මෙන්ම සිනමාවෙහිද මිනිස් හිත්වලට නොමැකෙන නිර්මාණ ගෙන එන්නට කළු මහත්තයාගේ ඩ්රාමා ෆැක්ටරියෙන් බොහෝ දේ එකතු කරගත් බව ඔහු නොපැකිලව කියන්නේය.
 
‘‘හැම වාරාවසානයකම විද්යාරත්නයේ නාට්යයක් කරනවා. ඒ වගේම අවට පාසල්වල ළමයි එක්කත් අපි වැඩ කරනවා. හේමසිරි ලියනගේ සුදු ඇතා ඇවිත් කරන්නේ ඔය කාලෙ.
මේ නාට්යය මම නාට්ය කලාවට ඇබ්බැහි වෙන්න මූලික හේතුවක් වුණා, ඒ කාලේ තමයි පාසල් ශිෂ්යයෝ විදියට අපි ඔතනට ආව ගියේ. කළු මහත්තය විශ්වවිද්යාල අධ්යාපනයක් නොලැබුවාට සමාජ විශ්වවිද්යාලයෙන් හොඳ දැනුමක් ලැබූවෙක්. හොඳට කියවනවා. ඉංග්රීසි දැනුම විශිෂ්ටයි. ශිෂ්යයන්ට බොහොම ප්රියජනකයි. ඔහු ශිෂ්යයන්ගේ මතවාදයන්ට ඇහුම්කන් දෙනවා. ඔහුත් අපිත් එක්ක වර්තමාන සමාජ භාවිතාවන් ගැන කතා කරනවා. ඔහුගේ පිරුණු දැනුම අපිත් එක්ක බෙදාහදා ගන්නවා. නිතරම ඉංග්රීසි පොත් කියවනවා. ’’
ඔහු නිතර පොත් පත් කියවූවෙක් විය. ඒ ද විශේෂයෙන් ඉංග්රීසි පොත් ය.එසේම බර්ටෝල්ට් බ්රෙස්ට්, විලියම් ෂේක්ස්පියර් වැනි විදෙස් නාට්යකරුවන්ගේ නාට්ය ගැන ද කතා කළේය. ඔහුට මේ දැනුම ලැබුණේ කොහොමද කියා කිසිවෙකුත් දැන සිටියේවත් අසා තිබුණේවත් නැත.
 
හොරණ විද්යාරත්නයෙන් බිහි වූ නාට්යකරුවකුවන ඩග්ලස් සිරිවර්ධනට තමන්ගේ නාට්ය සඳහා බොහෝවිට බලපෑවේ කළු මහත්තයාගේ අදහස් උදහස් බව කියන්නේය. ඩග්ලස් මුල්වරට සම්බන්ධ වූයේ හේමසිරි ලියනගේ ගේ නාට්යවලටය.
 
1972 දී සංස්කෘතික අමාත්යාංශය සංවිධානය කළ නාට්ය අත් පිටපත් තරගයකට ‘අන්තෝ ජටා’ නමින් නාට්යයක් ඉදිරිපත් කළ ඔහු පළමු ස්ථානය දිනා ගත්තේය. එසේම රයිගම් කෝරල සංස්කෘතික සංවිධානය මෙහෙය වූ නාට්ය අත්පිටපත් තරගයෙන් ද ප්රථම ස්ථානය දිනාගන්නට හෙතෙම සමත් වූයේය.
එම පිටපතේ නම වූයේ ‘ජීවිතයක් පැතුම් බිඳක්’ ය. තිබ්බොටුගොඩ සිට හෑගල්ල කන්ද තරණය කර හැතැම්ම එකහමාරක් පමණ පා ගමනින් දිනපතාම විද්යාරත්නයට එන ඩග්ලස්ට හැන්දෑවට ගිමන් හරින්නට තිබූ එකම තැන කළු මහත්තයාගේ ඩ්රාමා ෆැක්ටරිය පමණය.
‘‘කටවහරෙන් ජනවහරෙන් පොහොසත් වූ බස් වහරක් ඔහුට තිබුණා. දවසක් කළු මහත්තයා පුත්තලමෙ පෙට්රල් ෂෙඩ් එකක ඉන්කොට එතන මිනිස්සු දෙන්නෙක් කතා වෙනවාලු ඕකා පවුල් ජීවිතයක් හරියට ගෙනිච්චොත් පුත්තලම් වැල්ලේ ගෝවා හැදෙයි කියලා.
ඒක මට හරි අපූර්ව වචන පෙළක් වුණා. මගේ අඹු සැමියෝ නාට්යයේ ඒ දෙබස ඒ විදියටම තියෙනවා.
කළු මහත්තයා උදාහරණයකට කියනවා පුද්ගලයෙක් සමාජ සේවය කරන අතරතුර තමන්ගේ බිරිඳට සහ දරුවන්ට ගෙයක් හදලා දෙනවා. ඒක හරියට ඇටි කුකුල්ලු ගොළු බෙල්ලෝ අහුලනවා වගේ කියලා.
ඒ සංවාදය මගේ අඹු සැමියෝ නාට්යයේ ඒ විදියටම තියෙනවා. ජනගනමන නාට්ය පුහුණුවීම් කළෙත් ඔතන. අංකුර නාට්යකරුවන් විදියට එදා ඔහුගෙන් ලැබුණු ආභාසයට මම අදත් ගරු කරනවා. ඔහුගේ තිබුණේ මේ රටේ යහපත් නාට්ය කලාවක් ඇතිවිය යුතුයි කියන උදාර චේතනාව. ඒ නිසා මමත් අසූ තුනේ ඉඳලා නොමිලේම නාට්ය වැඩමුළු කරනවා.’’
 
ඔය අතර කළු මහත්තයාගේ ඩ්රාමා ෆැක්ටරියට කන්දේ ගෙදර පැන්ෂන් ගිය ඉස්කෝලේ මහත්තයාත් පළිඟු මැණිකේ නාට්යයේ ගුරුන්නාන්සේත් ඉරට හඬන මල් නාට්යයේ අප්පච්චිත් නිතර ආ ගියේය.
හොරණ උඩුවේ උපන් රෝහණ බැද්දගේය. නර්තන ගුරුවරයකු ලෙස බැද්දගේ සිය වෘත්තීය ජීවිතය අරඹා ගායකයකු, රංගන ශිල්පියකු, සංගීතඥයකු, ගීත රචකයකු, විශ්වවිද්යාල කථිකාචාර්යවරයකු, වේදිකා නාට්ය අධ්යක්ෂවරයකු, ග්රන්ථ කතුවරයකු ආදි වශයෙන් ක්ෂේත්ර ගණනාවක හපන්කම් පෑ අයෙකි.‘‘කලාව ගැන සාහිත්ය ගැන සංගීතය ගැන රෑ බෝවෙනකම් කළු මහත්තයත් එක්ක අපි කතා කර කර ඉන්නවා.
ඒත් එක්කම සර්පිනාව එහෙම නැත්නම් බෙරයක් වාදනය කරන ගමන් සිංදුත් කියනවා. මම බෙරේ වයනකොට කළු මහත්තයා විහිළුවට වගේ කියනවා මටත් බෙර පදයක් ඉගැන්නුවොත් මගෙ ස්ටූඩියෝ එකම ලියලා දෙනවා කියලා. ඒ කාලේ නැකත් දාට හරිම කාර්යබහුල තැනක්.
මම විවාහ වුණ දවසේ මංගල ඡායාරූපය නොමිලේම අරන් දුන්නේ මානෙල් චිත්රාගාරයෙන් .
ඒ කාලේ හොරණ තිබුණ හොඳම පොටෝ සාප්පුව තමයි මානෙල් චිත්රාගාරය. එතන ඡායාරූප ශිල්පියා වුණේ අතපත්තු. මාර්ටින් අයියා, පියසිරි කළු මහත්තයා ළඟ වැඩ කළා.
මට මතකයි මෙහෙම සිද්ධියක්. දවසක් හිමිදිරි පාන්දර කළු මහත්තයා බෝගහ පැත්තට යනකොට කසළ සෝදකයා පානදුර පාරේ බෝක්කුව අයිනේ කසළ කරත්තේ නවත්තලා කඩේකට ගිහින් තිබුණා. පාර අවහිරවෙලා නිසා වාහන පෝලිමක් හැදිලා. වාහනවල මිනිස්සු ඔළුව දාලා එතන හිටපු කළු මහත්තයාට කෑගහල තිබෙනවා ඕක අයින්කර ගන්නවා ඕයි කියලා. කළු මහත්තයත් දෙවරක් කල්පනා කරන්නේ නැතුව කසල කරත්තේ තල්ලු කරලා අයින් කරලා තිබෙනවා.’’
 
මේ අතර කළු මහත්තයාගේ ඩ්රාමා ෆැක්ටරියේ සිටි හේමසිරි ලියනගේ සරසවි අධ්යාපනය ලැබ විද්යාරත්නයට පැමිණියේ ගුරුවරයකු සේය.
ඔහුගේ ගෝලයකු වූ දහයෙ පන්තියේ සිටි ලාල් කුලරත්න මුලින්ම රඟපෑවේ හේමසිරි නිෂ්පාදනය කළ ‘සුදු ඇතා ආවාට පස්සෙ’ වේදිකා නාට්යයේය.
ඉන්පසුව ‘ආඬි ටිකයි අම්බලමයි’ නාට්යයට ද සම්බන්ධ වූයේය. කුලරත්න විද්යාරත්නයට යන්නට දීයකඩුවේ සිට පැමිණ හොරණ තිබූ මහප්පාගේ සුමිහිරි හෝටලයේ නතර වුවත් වැඩිපුරම හිටියේ ඩ්රාමා ෆැක්ටරියේය.
‘‘ඉස්කෝලෙ ළමයි හැඳුනුම්පතට පොටෝ ගහන්න ආවාම කවදාවත්ම සල්ලි ගන්නේ නැහැ. දාං අදින්න හරිම ආසයි. අපි කාවහරි අල්ලා ගන්නවා. විනෝදාංශයක් හැටියට මල් පැළ වැව්වා. හුඟක් වෙලාවට සරමක් විතරයි අඳින්නේ. ගමනක් යනවා නම් විතරයි කමිසයක් අඳින්නේ.
ඔහු බොහෝ ඇසූ පිරූ තැනැත්තෙක්. කලාව සමාජය අත්දැකීම් මේ සියල්ලෙන් පොහොසත්. එතනට නිතර ආගිය නාට්යකරුවන්ගේ ඇසුර ලැබීම නිසාම මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න මටත් ආභාසය ලැබුණා. ඒ ඇසුර මගේ රංග කලා ජීවිතයටත් ලොකු ආලෝකයක් වුණා."
 
මේ කළු මහත්තයා කිසිදු ලාබ ප්රයෝජනයක් නොතකා වගා කළ කලාවේ අස්වනු පිපී, පීදී, මෝරා ඇති කාලයයි.ඒත් ඒ අස්වැන්නේ සරුසාර බව දැකගන්නට ඔහු අද මේ ලොව නැත. වසර තිස් නවයකට කලින් ඒ හිත හොඳ මිනිසා යන්නට ගොස් තිබුණේ නිදි ඇඳේදිමය.
ඔහුගේ පරහිතකාමී බව මරණයෙන් පසුව එළියට ආ අන්තිම කැමැත්තේ ද ලියැවී තිබුණේය.
" මා මියගිය දිනෙක පැය විසි හතරක් ඇතුළත මගේ සිරුර වෛද්ය විද්යාලයට බාර දෙන්න"
ඔහුගේ ඇසුර ලැබූ ඔහුට ආදරය කළ කලාකරුවන්, හිතවතුන් එක්වී කළු මහත්තයාගේ අවසන් කැමැත්ත ඒ අයුරින්ම ඉටුකර තිබුණි.
 
 
මූලාශ්‍රය - (මෙම ලිපිය ඉන්දික සංජීව විතාන විසින් සම්පාදනය කරන ලද්දකි. මුල්වරට සතිඅග අරුණ පුවත්පතේ පළවිය.)
(උපුටා ගැනීම- බුද්ධික දමයන්ත පරණගමගේ ගේ මුහුණු පොතේ පළ වූ එම ලිපිය ඇසුරින් උපුටා ගන්නා ලදී)
 
Back to top
Go to bottom