lan englan tam

විශේෂාංග

'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' බලන්නම ඕන චිත්‍රපටයක් ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” පසුගිය 25 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වූවා.

එමෙන්ම මෙම චිත්‍රපටය ලංකාවේ තිරගත වීමට සමගාමීව ලෝකයේ තවත් රටවල් 15 කට ආසන්න ප්‍රමාණයක තිර ගත වීම සිදුවනවා.

වාලම්පුරි සිනමාපටය තිරගත කළ ආරම්භක සති අන්තයේදී පමණක්, රුපියල් කෝටි 02කට අධික වාර්තාගත Box Office ආදායමක් ලබාගෙන තිබෙනවා.මෙය, මෙතෙක් ලාංකීය සිනමා ඉතිහාසයේ සිංහල චිත්රපටියක වාර්තාකල හොඳම ආරම්භක සතිඅන්ත ආදායම ලෙසටයි පැවසෙන්නේ...

492790898 1239882624810562 6220614049107890542 n 670x280 

මේ චිත්‍රපටිය තිරගත වෙන්න කලින් ඉදන්ම මේ ගැන ප්‍රේක්ෂකයන් අතර බොහෝ කතා බහට හා අවධානයට ලක් උන චිත්‍රපටයක් බවට පත් උනා.

මේකට හේතුව උනේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මීට කළින් නිර්මාණය කරපු ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය.

ඇත්තටම කියනවා නම් ලක්මාල් ධර්මරත්නව ප්‍රේක්ෂකයන් අදුර ගත්තේ මේ ‘කූඹියෝ’ ටෙලි නිර්මාණය හරහා.

.‘කූඹියෝ’ ටෙලි නාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකාගරයට ලබා දුන්න අමතක නොවන විදිහේ අත්දැකීම නිසා ලක්මාල්ගේ මේ අලුත්ම සිනමා නිර්මාණය ගැනත් ප්‍රේක්ෂකයන් අතර ලොකු උනන්දුවක් හා කුතුහලයක් තිබුණා කිවුවොත් නිවැරදියි. විශේෂයෙන්ම ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ලක්මාල්ගේ අලුත්ම චිත්‍රපටය මොන්වගේ වෙයිද කියලා බොහෝ දෙනෙකුට තිබුණේ කුතුහලයක්.

ඔන්න දැන් ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ තිරගත වෙන්න පටන් අරන් තියනවා.

තාම තිරගත වෙන්න පටන් අරන් ගත උනේ දවස් කිහිපයක් උනත් චිත්‍රපටය නරඹපු බොහෝ පිරිස් මේ ගැන අදහස් පල කරලා තිබුණා.විශේෂයෙන්ම සමාජමාධ්‍යයේ බොහෝ දෙනෙක් මේ ගැන අදහස් පළ කරලා තිබුණා.

ඉතින්, මේ චිත්‍රපටයේ ගැනයි චිත්‍රපටය ගැන මේ දවස් වල ඇති වෙලා තියන කතා බහ ගැන කියන්න කලින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න දායක උන නිෂ්පාදන කණ්ඩායම ගැනයි මීට රංගනයෙන් එක් උන රංගන ශිල්පීන් ගැන සදහනක් කරලා ඉන්නම්.

ඇත්තටම අපි චිත්‍රපටයක් ගැන සදහන් කරන කොට ගොඩක් වෙලාවට කතා බහට ලක් වෙන්නේ එහි අධ්‍යක්ෂකවරයා ගැන.

නමුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නේ විශාල මිනිස් ශ්‍රමයක එකතුවක්. ඇත්තටම චිත්‍රපටයක් එළියට එන කොට ඒ තුළ විශාල මිනිස් ශ්‍රමයක් අන්තර්ගත වෙලා තියනවා.

වාලම්පූරි කියන්නෙත් මේ වගේ බොහෝ මිනිස් කණ්ඩායමක ශ්‍රමය තුළින් ගොඩ නැගුන නිර්මාණයක්. මේක චිත්‍රපටය නැරඹුවහම ඔබට හොදින්ම දැක ගන්න ලැබෙයි.

493125129 1239882468143911 8428554979384760425 n 670x280

ප්‍රථමයෙන් මෙහි රංගන ශිල්පීන් ගැන සඳහන් කරන්නම්,

වාලම්පුරි සිනමාපටයෙ හි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රියන්ත සිරිකුමාර,  දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ , අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, ඇන්ඩෘ පුල්ලේ, උදයන්ති කුලතුංග වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිසකුයි.

පසුගිය දිනෙක මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ  ප්‍රවීණ කලාකරු දයා තෙන්නකෝන් වගේම දක්ෂ රංගන ශිල්පියෙකු වූ ‘දර්ශන් ධර්මරාජ්’ දිවි ගමනින් සමු ගත්තා.

දර්ශන්ගේ රංගනයත් මේ චිත්‍රපටයේ දැකගන්න පුළුවන්.

චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා විසිනි. මීට පෙර, කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන පිරිවැය දැරුවේත් අසංක දොඩන්තැන්නයි.

දිමුතු කාලිංග වාලම්පුරි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසත් මජිත උයන්ගොඩ සහාය කැමරා අධ්‍යක්ෂණයෙනුත් වාලම්පුරි චිත්‍රපටයට එකතු වුනා.

චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩවන මෙහි අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි. සංඛ මල්වත්ත චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියායි.

නුවන් සනුරන්ඛ නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරයෙන් මීට සම්බන්ධ වී තිබෙනවා. VFX නිර්මාණකරණයෙන් එක්වන්නේ නසාෆි මොහොමඩ්. තරිදු කාරියවසම් සහාය සංස්කරණයෙන් සහ චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් එක්වුනා. දිමුතු කාලිංග දහනායක සහ මජිත් උයන්ගොඩ වාලම්පුරි සිනමාපටයේ කැමරාකරණයෙන් සහාය වන අතර අතුල ජයසිංහ ශබ්ද පරිපාලනයෙන් සම්බන්ධ වනවා.

අංජන ආශුබෝධ මෙහි නිෂ්පාදන කළමනාකරුයි. 

මීට අමතරව නම් වශයෙන් සඳහන් නොකළත් තවත් ශිල්පීන් බෝහෝ දෙනෙක් මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායකත්වය ලබා දීලා තියනවා.

දැන් අපි බලමු මේ චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ කොහොමද කියලා.

493038997 1239882524810572 7463236584120879847 n 670x280

‘වාලම්පූරි’ චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ 'සීගිරිය' අවට ප්‍රදේශයක ජීවත් වන ප්‍රාදේශීය නාට්‍ය කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් වටායි. මොවුන් පිරිස නාට්‍ය කටයුතු වල නිරත වන අතර මුදලක් හම්බ කර ගැනීමට සුළු සුළු ජාවාරම් කටයුතු වල ද නිරත වෙන පිරිසක්.

සියල්ල වෙනස් වන්නේ කොළඹ සිට පැමිණෙන පූසාරි කෙනෙකු ඔවුනට ඉතාම මිල අධික වාලම්පූරියක් පිළිබඳව පැවසීමත් සමගයි.ඉන්පසුව එම වාලම්පූරිය විකිණීම සඳහා ජාවාරමකට ඔවුන් සම්බන්ධ වෙනවා. මෙතැන් සිය චිත්‍රපටය ඉදිරියට ගමන් කරන්නේ මෙම වාලම්පූරිය කේන්ද්‍ර කර ගෙන සිදුවන අඛණ්ඩ කුමන්ත්‍රණය කිරීම්, ගේම් ගැසීම්, හඹා යෑම්  වැනි සිදුවීම් රාශියක් වටායි.

මෙහි තිර පිටපත රචනා කරලා තිබෙන්නේ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින්. කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපත රචනා කරන්නත් දමිත චන්ද්‍රසිරි දායක උනා.

ඉතින් කලින් කිවුවත් වගේ මේ වෙනකොට මේ චිත්‍රපටය මෙය නරඹපු බොහෝ දෙනෙක්  චිත්‍රපටය ගැන අදහස් පල කරලා තිබුනා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ ගැන ගොඩක් අදහස් දැක ගන්න පුළුවන්

සිනමා විචාරක විදර්ශන කන්නන්ගර මේ චිත්‍රපටය ගැන පළ කරලා තිබුණ අදහස් කිහිපයක් ගැන ඔබට සදහන් කරන්නම්.

ඔහු විසින් ලක්මාල් ධර්මරත්නගේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍ය හා ‘වාලම්පුරි’ සිනමාපටය කියන දෙකම අරගෙන අදහස් දක්වලා තිබුණා.

ඔහු සදහන් කරලා තිබුන එක් අදහසක් උනේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ උත්කර්ෂයට නැගූ අධිපති දෘෂ්ටිවාදය මගින් යටපත් වූ කරුණු ‘වාලම්පුරි’ චිත්‍රපටය මගින් යළි ඉදිරියට ගෙන ඇති බවයි.

පහතින් දක්වලා තියෙන්නේ විදර්ශන කන්නංගර දක්වපු අදහස් වල උපුටා ගැනීමක්.

(උපුටා ගැනීම)

“කූඹියෝ ටෙලි මාලාව හරහා මතු වුණු සංවාද ක්ෂේත්‍රයේදී මගේ අදහස වූයේ එය සමකාලීන තරගකාරී 'කුමන්ත්‍රණ දෘෂ්ටිවාදය' උත්කර්ෂණය කරන නිෂ්පාදනයක් වන බවයි.

සරලව කිවහොත් පසු නූතන වත්මන් සමාජයේ වීරත්වය ලෙස ඉස්මතු කරමින් ඇත්තේ 'ගේම් ගැසීම්' හා 'කුමන්ත්‍රණ කිරීම්' ඇතුළු නරුම අවස්ථාවාදය වන බවයි.

අද 'පසු නූතන වීරයා' කියන්නෙත් නරුම ලිබරල් උත්ප්‍රාසකයෙකි (cynical liberal ironist). කූඹියෝ 'ජෙහාන්ව' (තුමිදු දොඩම්තැන්න) මතක් කරගත්තොත් එය ඊට පැහැදිලි නිදර්ශනයකි. ඔන්ලයින් ෆ්ලැට්ෆෝම්ස් වල ජනප්‍රිය වෙලා තියෙන ටෙලිමාලා හා සිනමා නිර්මාණ බොහොමයකටත් මේ යුග තර්කණය විකල්ප මාත්තුවක් විදියට බෝ වෙලා තියෙනවා. 'කූඹියෝ' ආඛ්‍යානය කෙරෙහි වූ ආකර්ශනයට මෙම ඇබ්බැහිය ප්‍රමුඛ සාධකයක් වුණා. සස්පෙන්ස් ත්‍රිලර් ශානරමය ගුණයත් එකතු වුණාම එම දෘෂ්ටිවාදය නැගල යනව.

'වාලම්පූරිත්' එකී ශානරයේම සිනමා වියමනක්. කුමන්ත්‍රණ හා ගේම් මාලාවක් පැය දෙක හමාරක් පුරා අපි බලන් ඉන්නව.

හැබැයි මගේ අදහස වෙන්නෙ කූඹියෝ වල උත්කර්ෂවත් කළ ඉහත දෘෂ්ටිවාදයෙන් යටපත් කෙරුණු 'නිර්ධනීය බව' , සංක්‍රමණීය අවදානම් ශ්‍රමයේ ඛේදය , ප්‍රභූවාදී අධිපති දේශපාලනයේ පීඩනය ස්වපීඩක නිර්ප්‍රභූ සමාජ මනසිකාරයක් නිර්මාණය කර ඇති සැටි, පංති අරගලය නව අරාජිකත්වයකින් විස්ථාපනය කර ඇති සැටි ආදී මානයන් කිහිපයක් 'වාලම්පූරි' චිත්‍රපටිය තුළ පෙරබිමට කැදවා තිබෙන බවයි.

ඒ දේශපාලනික අරුතෙන් ගත්විට 'වාලම්පූරි' චිත්‍රපටියේ දෘෂ්ටිවාදය විසින් 'කුඹියෝ' ටෙලි මාලාව ඉස්සර කර තියෙනව.’’

එමෙන්ම වගේම ලක්මාල් ධර්මරත්න විසින් තමන්ව කලාකරුවෙක් නැතහොත් චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස නොව සමාජ -දේශපාලන අන්තර්ගතයන් නිර්මාණය කරන්නෙක් ලෙස හඳුන්වාදීම ගැනත් විදර්ශන අදහස් පල කරලා තිබුණා.

(උපුටා ගැනීම)

"කොයිම වෙලාවක වත් මම චිත්‍රපට නිෂ්පාදකයෙක් විදියට හදුන්වන්නෙ නැහැ.මම මගේ එෆ්බී ප්‍රොෆයිල් සදහන් කරල තියෙන්නෙත් 'Not an artist’ කියල. මම කරන්නෙ සමාජ දේශපාලනිකමය කන්ටෙන්ට්ස් හදන එක (මම Social-Political Content Creator කෙනෙක්). මගේ පරමාර්ථය තමයි සමාජ-දේශපාලනික තත්වයන් එක්ක ගනුදෙනු කරන එක. ඒ තත්වයන් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන එක. අවධානයට ලක් විය යුතු කාණ්ඩයන්ට ඒ ප්‍රශ්න යොමු කරන එක සහ ඒ හරහා කතිකාවක් ගොඩනගන එක. කූඹියෝ වුනත් කලා නිර්මාණයකට වැඩිය මම ඒක සලකන්නෙ සමාජ දේශපාලනික කතිකාවතක් විදියට. ඒ නිසා කූඹියෝ ගත්තත්, යම් ආකාරයක සමාජ දේශපාලන අවකාශයන්ට අත තැබීමක් තමා සිද්ධ වෙන්නෙ. මම කරන්නෙ සිනමාව කියන ටූල් එක පාවිච්චි කරලා සමාජ දේශපාලන තත්වයන් එක්ක ගනුදෙනු කරන එක" -ලක්මාල් ධර්මරත්න-

"අනිද්දා පුවත්පත සමග කළ සම්මුඛ සාකච්චාව තුළ ලක්මාල් ධර්මරත්න දැක්වූ ඉහත අදහසම ඔහු 'වාලම්පූරි' මාධ්‍ය දර්ශනය අවස්ථාවෙත් පළ කරල තිබුණ. සිනමාව හා කලාව පිළිබදව ලකා දරන මේ මතය ඉතාම සුවිශේෂී වන්නේ ඔහුගේ දෘශ්‍ය නිර්මාණ කෙරෙහි යම් ආශක්ත බවක් දක්වන නව පරපුරේ ප්‍රේක්ෂක සමාජයේ සැලකිය යුතු පිරිසක් කලා නිෂ්පාදනයන් සමග දක්වන අදේශපාලනික ගතානුගතික ආකල්පයන් මෙයින් යම් සසල කිරීමකට ලක් කෙරෙන නිසයි. ඒ අනුව ලාංකේය දේශපාලන සිනමාවේ (පතිරාජ,හදගම ඇතුළු) පූර්වගාමීන්ගේ යෂ්ටිය වත්මන් 'නව අරාජික යුගය' පිළිබද ආලෝචනයන් මතු කිරීම උදෙසා අද දවසට කැදවීමේ අවශ්‍යතාවය ලකා විසින් යෝජනා කර සිටියි."

ඒ වගේම වින්දනය හා චින්තනය හබා යන සිනමා රසිකත්වයට මෙය මග නොහැරිය යුතු සිනමා නිර්මාණයක් බවත් විදර්ශන කන්නන්ගර සඳහන් කරලා තිබුණා.

ඉතින් ,මේ විදිහට තවත් බොහෝ අදහස් මේ වෙනකොට ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය ගැන ඉදිරිපත් වෙලා තියනවා දකින්න පුළුවන්.

ඉදිරියේදී මේ ගැන තවත් අදහස් බෙදා හදා ගමු.

දිවයින පුරා සිනමාහල් 60කට ආසන්න ප්‍රමාණයකදී ඔබට දැන් වාලම්පුරි හෙවත් හීන හතහමාරක් නැරඹීමට පුලුවන්.

 

(මෙහි විදර්ශන කන්නන්ගර විසින් 'වාලම්පුරි' චිත්‍රපටය පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් ඔහුගේ මුහුණු පොත ඇසුරෙන් උපුටා ගන්නා ලදී)

Back to top
Go to bottom