ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේද ඉතිහාසය පිළිබඳව කතාන්දරය කියන්නේ ද මිනිසුන් විසිනි.
රටක ජාතියක සභ්‍යත්වය යනු මේ ඉතිහාසය තුල සැඟව ඇති කතන්දරයි. ඉතිහාසය තුලින් පිළිබිඹු වන්නේ කාලන්තරයක් තිස්සේ වෙනස් වෙමින් වැඩෙන එම ඉතිහාසය නිර්මාණය කළ එයට දායකත්වය දුන් මිනිසුන්ගේ සභ්‍යත්ව (සංස්කෘතික) විඥානය යි.
ජයන්ත චන්ද්‍රසිරි එම ඓතිහාසික ප්‍රවාහය නොහොත් සභ්‍යත්ව විඥානය සමග වරින්වර දොඩමලු වෙන කලාකාරයෙකි. ඔහු කලා නිර්මාණ කරන්නේ එසේ දොඩමලු වීමට ය.
'දේවි කුසුමාසන' චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි
ජයන්ත මහරජ ගැමුණු චිත්‍රපටය අප හමුවට ගෙන ආවේ 2015 දී ය. එම නිර්මාණය සඳහා ඔහු යොදා ගත්තේ අපගේ ජන මූලාශ්‍රත්, අප සභ්‍යත්ව විඥානය ම උරුම කරගත් බෞද්ධ යතිවරයෙකු වූ මහානාම හිමියන් විසින් එම මූලාශ්‍රයන් ම ඇසුරෙන් විරචිත මහාවංසයත් ය.
මහාවංසය තුල ආක්‍රමණිකයා ධාර්මිකයකු වී දේශජ නායකයා දුෂ්ට ගාමිණී වූයේ කෙසේ ද යන ප්‍රශ්නය ජයන්ත මහරජ ගැමුණු තුලින් මතු කරයි. පරාජිතයා විසින් නොව ජයග්‍රාහකයා ම විසින් ලියන ලද ඉතිහාසය තුල පවා මෙවන් පරස්පරයක් ඇති වූයේ කෙසේද යන්නයි ජයන්ත එහි දී මතු කරන්නේ.
විමලධර්මසූරිය වැනි චරිතයක් සිනමාවට ගෙන ඒම ප්‍රබලතම අභියෝගයක් වන්නේ එතුමා පිළිබඳව හමුවන මූලාශ්‍රයන් බොහෝමයක් ජයග්‍රාහකයා විසින් නොව පරාජයට පත් වූ ආක්‍රමණිකයා විසින් ලේඛනාරූඪ කරන ලද තොරතුරු වීමයි. එබැවිනි විමලධර්මසූරිය චරිතය රිදී තිරයට ගෙන ඒම ගැමුණු රජුන්ගේ චරිතය තිරයට ගෙන එනවාට වඩා සංකීර්ණ වූ ද දුෂ්කර වූ ද කාර්යයක් වන්නේ.
“ඉතිහාසය යනු සිය කාර්ය සඳහා වැටුප් ලබන, තමන් ජීවත්වන තත්කාලීන මානසිකත්වයෙන් යුත් පිරිසක් විසින් අතීතයේ යම් කාල පරාසයක් තුල දී ලෝකයේ වෙනස්වන සුලු වූ ද සංකීර්ණ වූ ද ගැටළු සහගත වූ ද තත්වයන් පිළිබඳ ව, මතු පිටින් පෙනෙන කරුණු මත පදනම් ව කරනු ලබන කථනයක් ය” යනුවෙන් මෑත යුගයේ ඉතිහාසඥයෙකු වන කීත් ජෙන්සන් සිය “Re-thinking History” කෘතියේ සඳහන් කරයි.
ජයන්ත වැටුප් ලබන ඉතිහාසඥයන්ගේ ඝනයට ඇතුලත් නොවන අව්‍යාජ කලාකරුවෙකි. ඉතිහාසය පිළිබඳ ව ගුරු කුලයකට නතු වන්නේ නැති, කලාකරුවන්ට ම උරුම වූ තුන්කල් නුවණින් යුතු නිදහස් කලාකරුවෙකු ලෝකය දකින්නේ තමන් ජීවත්වන තත්කාලීන මානසිකත්වයට ම පමණක් සාපේක්ෂව නොව, අතීතය වර්තමානය අනාගතය යන කාලත්‍රයට ම සාපේක්ෂව ය.
දේවි කුසුමාසන චිත්‍රපටය ජයන්ත සිය නිර්මාණ ජීවිතයේ දී මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය ලෙසින් මම සලකමි. ඒ ඔහු භාවිතා කරන මූලාශ්‍රයන් බොහෝ දුරට පරාජයට පත් වූ ආක්‍රමණිකයාගේ ම නිර්මාණ වීමත්, අක්‍රමණිකයන් විසින් ම පුනරුද යුගයේ ඉතිහාසයේ කෘරත්වය ලෝකයෙන් වසං කිරීමට කාලයක් තිස්සේ තැත් කරන ලද බැවිනුත් ය.
ඔවුන් විසින් එසේ සැඟවීමට උත්සාහ කරන්නේ පුනරුදයේ සැබෑ ඉතිහාසයයි. පහළොස් වැනි සියවසේ දී පමණ ඉතාලියේ ඇරඹෙන පුනරුදය බටහිර අනෙකුත් රාජ්‍යයන් අතර පැතිරීමත් සමඟ ය, බටහිර ජාතීන් නව සමුද්‍ර මාර්ග හරහා ලෝකයේ සෙසු රටවල් ආක්‍රමණය කිරීම ආරම්බ කරන්නේ.
විසි වන සියවසේ මැද භාගය දක්වා ම සඟවා තැබීමට උත්සාහ කරණ ලද මෙම ඉතිහාසයේ ම්ලේච්ඡත්වය හා කෘරත්වය පිළිබඳ ව සිත් කම්පා කරවන සැබෑ තතු රැගත් පොත් දැන් දැන් බහුලව දක්නට ලැබේ. මෑත කාලීන ඉත්හාසඥයින් හා මානව විද්‍යාඥයින් ඉදිරිපත් කරන විස්තර වලට අනුව එම ආක්‍රමණිකයින් ඔවුන් විසින් ආක්‍රමණය කරන ලද රටවලදී ප්‍රදර්ශනය කරණ ලද ලිවීමටවත් නොහැකි මට්ටමේ ක්‍රියාවන් සහ ඔවුන් විසින් කොල්ලකන ලද සම්පත් ප්‍රමාණය ද අදහා ගැනීමට පවා අපහසු ය.
අප රටේ බරපතල දේශපාලන අර්බුද පැවැති දහසය වැනි සියවසට අයත් වන එම කාල පරාසය පිළිබඳව අද භාවිත වන මහාවංසයේ උපග්‍රන්ථයට ඇතුලත් වී තිබේ. (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළකරන ලද සිංහල මහාවංසයේ මෙම උපග්‍රන්ථය ද ඇතුලත් වේ.)
මේ උපග්‍රන්ථයේ එන විස්තර කවුරුන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද දැයි හරියට ම පැහැදිලි නැත. ඔවුහු කවුරුන් වූවත් ඉතිහාසයේ එම කොටස මහානාම හිමියන් මෙන් පැහැදිලි දේශපාලන හා සංස්කෘතික විඥානයකින් යුතු අයෙකු හෝ පිරිසක් විසින් ග්‍රන්ථාරූඩ කර ඇති බවක් නම් නො පෙනේ.
ආක්‍රමණිකයාගේ මූලාශ්‍රයන් තුලින් ගත් කරුණු ද මහාවංස උපග්‍රන්ථයට ඇතුලත් වී තිබෙන්නට පුලුවන. මහාවංස උපග්‍රන්ථයේ එන ‘පෘතුකාලුන්ගේ උද්‍යෝගය’ නැමැති පරිච්ඡේදයේ ‘අයුතු ලෙස රාජ්‍යත්වයට පත් කොනප්පුබණ්ඩාර…..’ යනුවෙන් ද, ‘විමලධර්මසූරිය රජුගේ මේ චපල ක්‍රියා….’ යනුවෙන් ද සඳහන්ව ඇත.
පෝල් ඊ පීරිස්ගේ Portuguese era (1913) නැමති කෘතියෙන් ගත් උද්ධෘතයන් ද මහාවංශ උපග්‍රන්ථයේ දක්නට ලැබෙන බැවින් එම උපග්‍රන්ථය ඉන් පසු කාලයකදී එකතු කරණ ලද්දක් සේ සැලකිය හැක. මෙහිදී කෙනෙකුට සැක පහළ වෙන්නේ මහාවංශයේ මේ කොටස රචනා කිරීමට දායකත්වය සැපයූයේ ජෙන්සන් සඳහන් කළාක් මෙන් ම ඉතිහාසයේ සිද්ධි දාමයක් දෙස මතුපිටින් බලා නිගමනයන්ට එළඹෙන, යටත් විජිත යුගයේ මානසිකත්වයෙන් යුතු වූ වැටුප් ලබන පිරිසක් විසින් වත්දෝ යැයි කියා ය.
කොනප්පු බණ්ඩාර අභියෝග කරන්නේ පෘතුගීසි ආක්‍රමණයේ ම්ලේච්ඡත්වයට යි. එවන් වූ සතුරෙකුට මුහුණ දෙන රජෙකුට සර්ව සාධාරන ලෙස ක්‍රියා කිරීම අපහසු ය. ඒ වුනත් ජයන්ත නිර්මාණය කරණ විමලධර්ම සූරිය රජ හැකි හැම විට ම සාධාරණව ක්‍රියා කිරීමට උත්සාහ කරන්නෙකි. මේ චිත්‍රපටය පුරා ම කොනප්පු බණ්ඩාරගේ හා විමලධර්මසූරිය රජුන්ගේ උදාරත්වය දක්වන සිද්ධින් එමට ය.
එමෙන් ම යුද්ධයේ දී මෙන් ම යුධ බිමෙන් පිටත ද ඔහු ගන්නා සෑම තීරණයක ම දේවි කුසුමාසන ද තීරණාත්මක සාධකයක් බවට පත් වෙයි. ජයන්ත විසින් නිර්මාණය කරන එම සියුම් අවස්ථාවන් උකහාගෙන ඒවා රස විඳීම චිත්‍රපටය නරඹන සංවේදී ප්‍රේක්ෂයන්ට බාර ය. අපූර්ව වූ පෞර්ෂත්වයකින් යුතු හේමාල් රණසිංහ කොනප්පු බණ්ඩාර හා විමලධර්මසූරිය ලෙසින් විශිෂ්ට වූ රංගනයක යෙදේ.
ජයන්ත මේ චිත්‍රපටය ‘කොනප්පු බණ්ඩාර’ නමින් හෝ ‘විමලධර්මසූරිය’ නම් වලින් නො හඳුන්වා ‘දේවි කුසුමාසන’ නමින් හඳුන්වන්නේ, ඇය මෙම චිත්‍රපටයේ අතිශය වැදගත් වූ ප්‍රධාන භූමිකාව නිරූපණය කරණ බැවිනි. චිත්‍රපටයේ අසීරුම භූමිකාව වූ එම චරිතය උදාරි වර්ණකුසූරිය නැමති නිළියගේ විශිෂ්ට රංග ප්‍රතිභාව පෙන්නුම් කරන අවස්ථාවක් බව නොකියා ම බැරිය.
දේවි කුසුමාසන යනු කන්ද උඩරට රාජ්‍යට උරුමකම් කියන සිංහල තරුණිය යි. ඇගේ චරිතය සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානයට උරුම වූ කාන්තා නිදහස විසද කරන්නෙකි. සීතාවක රාජසිංහ රජු විසින් කන්ද උඩරට රජ මාළිගය පරීක්ෂාවට ලක් කරණ ඒ දෛවෝපගත රාත්‍රියේ ඇය සිය යහන් ගැබෙහි නොසිටියා ය. මාළිගයේ කිසිවෙකු ඒ පිළිබඳ ප්‍රශ්න නොකර ඇය ආරක්ෂා කර ගනී.
මන්නාරමේ පෘතුගීසි කඳවුර තුල රැජිනක් වීම සඳහා පුහුණු කරනු ලබන ඇය බොහෝ විට හැසිරෙන්නට වන්නේ හැඟීම් නැත්තියක ලෙස යි. කොනප්පු බණ්ඩාර ඇය ආරක්ෂාව පිණිස මන්නාරමට හැර ලා එහි නොරැඳී ආපසු කන්ද උඩරටට යෑමට තීරණය කරන වේලේ ඇය හැසිරෙන ආකාරයත්, ඔහු අතින් පෘතුගීසි කාරයයකු මරණයට පත් වූ විට ඇය කලබල වන ආකාරයත්, කොනප්පු බණ්ඩාර ගෝවේ සිට පෘතුගාලයට නොගොස් නැවත ලංකාවට එන්නට තීරණය කළ බව දැන ගන්නා මොහොතේ ඇය සතුටට පත්වන ආකාරයත් ඇය සිය හදවතේ ආදරණීය බව දෙබස් නැතිව ම ප්‍රකාශ කරන ප්‍රබල අවස්ථාවන් ය.
බිහිසුණු යුද්ධයක් වූ දන්තුරේ සටනට පෙර පෘතුගීසි හමුදා පසු බසින අතර විමලධර්මසූරිය රජුන්ගේ බලාපොරොත්තු වූ ප්‍රහාරය පමා වන විට ඇය ටිකින් ටික නොසන්සුන් වන ආකාරය ඇයගේ නිහඬ චරිත නිරූපණයේ ප්‍රබලතම අවස්ථාවකි.
යුද්ධය අවසනදී පෘතුගීසි හමුදාව මෙහය වූ සෙන්පතිවරයා වන ලෝපෑස් ද සෞසා සිංහල රණවිරුවෙකු අතින් මරණයට පත්වන්නට යන අවස්ථාවේ ‘අනේ ඔහු මරන්න එපා’ යැ යි නිතැතින් ම ඇගේ මුවින් පිට වෙයි. ඒ රැජිනකගේ අණක් නොව, සිංහල ගැහැණියකගේ ආයාචනයකි.
පෘතුගීසි සෙන්පතියා මරණයට පත් වීමෙන් වළක්වා ගැනීමට ඇය අවංකව ම උත්සාහ කළේ ඇයි දැයි ඇය කිසි ම දිනක රජතුමාට හෝ වෙන කිසිවෙකුට හෝ නො කියනු ඇත. මෙවන් වූ සිද්ධියක් හඳුනාගෙන සංවේදී ව ප්‍රතිනිර්මාණය කළ හැකි වන්නේ ජයන්ත වැනි සියුම් සිනමා කවියෙකුට ම පමණෙකි.
දැවැන්ත සිදුවීම් ධාමයක් අතරින් ගලා යන අති ධාවනකාරී චිත්‍රපටය තුලින් අපට මුණ ගැසෙන්නේ ධීර වීර සිංහල රණ විරුවකු හා කිරළු නොපලඳින ආදරණීය සිංහල ගැහැණියකි. එබැවින් ය ‘දේවි කුසුමාසන’ අසාමාන්‍ය ගණයේ සිනමා නිර්මාණයක් වන්නේ.
කර්තෘ - විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය හා පීඨාධිපති