පොල්පොට් ගේ මාක්ස්වාදී විකෘති යේ වින්දිත දරුවා - Frist they killed my Father
ඒ වියට්නාම් යුධ සමය. අමෙරිකානු හමුදා යාබද රාජ්‍යයක් වූ කාම්බෝජයට බෝම්බ හෙලනවා. ක්මරූජ් ගරිල්ලන් තව දුරටත් ඇමෙරිකාව බෝම්බ හෙලන බවට පවසමින් නගර වලින් ජනතාව ඉවත් කර ඔවුන්ගේ බලය පවතින ඈත ගම් වලට මිනිසුන් රැගෙන ගොස් ඔවුන් සිය ව්‍යාපාරයේ ආහාර අවශ්‍යතාවන් සම්පූර්ණ තර ගැනීම සදහා විවිධ කෘෂිකාර්මික කටයුතු වල යොදවනවා.
මේ අය අතර සිටින ක්මර් ජාතික සන්නද්ධ බලකායේ නිළධාරියකුගේ පවුලක් වටා ගෙතෙන අපූරු චිත්‍රපටයක් Frist they killed my Father චිත්‍රපටය. සුප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනියක වන ඇන්ජලීනා ජොලී විසින් සම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය ක්මරූජ් ගරිල්ලා කණ්ඩායමක බලහත්කාරයෙන් පුහුණුව ලැබූ පස් අවුරුදු වියැති ළමා සොල්දාදු දැරියක් කේන්ද්‍රීය චරිතය වටා ගෙතෙන්නක්. පසු කලෙක රතුකුරුස සංවිධානය හරහා ඉන් මිදී ඇමෙරිකා එක්සත් ජනපදයේ දැනට ජීවත් වන සමාජ ක්‍රියාකාරිණියක වන ලොන්ග් උන්ග් (Loung Ung) ගේ සත්‍ය ජීවනාන්දරය වටා ගෙතුනු වෘතාත්නතය පදනම් කරගෙනයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.
ලොන්ග් උන්ග් අයත් වෙන්නේ සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් යුත් පවුලකට. ඔවුන්ගේ පියා පා උන්ග්, ක්මර් ජාතික සන්නද්ධ බලකායේ නිළධාරියෙක්. ක්මරූජ් ගරිල්ලන් විසින් ඔවුන් නගරයෙන් ඉවත් කරගෙන ඔවුන් ගේ Khmer Empire වන අතීත රාජධානියේ අගනුවර ලෙස සැළකෙන ඇන්ග්කොර් ගම්මානය වෙත රැගෙන යයි. පොල්පොට් මාක්ස්වාදයේ භාවිතාව වන්නේ මිනිසුන් අතීතය වෙත යළි රැගෙන ගොස් කෘෂිකාර්මික පදනමකින්, සියලු නවීකරණයන් ඉවත දා සමානාත්මතාවයෙන් යුත් පන්ති විරහිත යුටෝපියානු සමාජවාදී රාජ්‍යයක් ගොඩ නැගීමයි. අන්තවාදී ක්මරූජ් සංවිධානයේ විවිධ ගැහැට මැද ජීවත් වෙන උන්ග් පවුලේ සාමාජිකයින් එකිනෙකා අහිමි වීමට පටන් ගනී වැඩිමහලු සහෝදර සහෝදරියන් බලහත්කාරයෙන් ක්මරූජ් සංවිධානයට බදවා ගනී. විවිධ ලෙරෝග වැළදුන ද ඔහුන් බටහිර ඖෂධ ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ පිරිස් මියයයි. ලොන්ග් උන්ග් ගේ පියා, පා උන්ග් ද ක්මරූජ් සංවිධානය විසින් රැගෙන ගොස් මරා දමයි ඉතිරිවනබාල දරුවන් වන ගැහැනු දරුවන් දෙදෙනා හා පිරිමි දරුවා මව විසින් අනාථ කදවුරක් වෙත පිටමං කරන්නේ අඩුම තරමින් කුසට නිසි අහරක් ලැබ හෝ ඔවුන්ට ජීවිතය ගලවා ගැනීමට හැකි වෙතැයි යන සිතුවිල්ලෙනි.
එතැන් සිට ඇරඹෙන්නේ චිත්‍රපටයේ දෙවන අධියරයි. ළමා සොල්දාදුවන් ලෙස ඔවුන් තිදෙනා ලබන පුහුණුව විදින දුක් ගැහැට ලොන්ග් උන්ග් කේන්ද්‍රීයව අප වෙත ගෙන එනවා. එය විටක ඇසට කදුළු ගෙනෙන ආකාරයේ සිදුවීම් පෙළකි. විකෙ අප තුල පොල්පොට් ගේ මාක්ස්වාදී විකෘතිය පිළිබද වෛරය දල්වන්නකි. චිත්‍රපටයේ සමස්ත රූ ගත කිරීම් සිදුකොට ඇත්තේ කාම්බෝජයේ සියෑම් රීප්, බට්ටම්බන්ග් හා ප්නොම්පෙන්ග් යන ස්ථාන වලයි. කැමරා ශිල්පී Anthony Dod Mantle ගේ රූප සත්කාර ඉතා ඉහළ සංවේදිතාවක් දනවන්න සමත් වෙනවා. ලොන්ග් උන්ග් ගේ සමීප රූප (Close -up)හා ගුවන් රූප (Aerial shot) ඛේදනීය බව හා ගැඹුර මනාවට විදහා දක්වනවා. ඒ නිසා මෙම චිත්‍රපටය වෙනුවෙන් පෝලන්තයේ The International Film Festival of the Art of Cinematography Camerimage සම්මාන උළෙලේ දී හොදම කැමරා ශිල්පියා ලෙස ඔහු සම්මානය පාත්‍ර වෙනවා.
ලොන්ග් උන්ග් ගේ චරිතය නිරූපනය කරන Sreymoch Sareum ගේ නිරූණය ප්‍රබලයි. පියා හෙවත් පා උන්ග් ගේ චරිතය නිරූපනය කරන Kompheak Phoeung ගේ නිරූපනය ද හැගීම් දනවන සුලුයි. දියණියක හා පියෙකු අතර ඇති සියුම් සෙනෙහස හා අත්හැරීමක් සිදුවිය යුතු තැනෙක හැගීම් විරහිතව එය නොපන්වා සිටීම ඔහු ඉතාම විශිෂ්ට ලෙස නිරූපනය කරනවා.
කෙසේ වෙතත් ලොව කොතැන හෝ ඇවිලෙන යුද්ධයක් යනු මානව විරෝධි ක්‍රියාකාරකමක් බවත්, එයින් බරපතල ලෙස වින්දිතයන් බවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන් බවත් අප පිළිගත යුතුව ඇති, නමුත් යුද උන්මතකයින් නොපිලිගන්නා යථාර්ථය බව මේ චිත්‍රපටය තුලින් ද අපට සනාථ කර සිටිනවා. මෙවැනි යුදමය තත්ත්වයන් හේතු කරගෙන ලොව නන්දෙස අනාථ වන ආබාධිත බවට පත් වන දරුවන්ගේ මානසික බිදවැටීම් කෙබදු ද? ඔවුන් සිය අනාගතය ජය ගන්නේ කෙලෙසින් ද? සමාජය තුල ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන්නේ ද? යන කාරනා යුද්ධයම ඉල්ලා සිටින අය විසින් සළකා බලන්නේ ද? යන්න මෙවැනි චිත්‍රපටයකින් අපට යළිත් සිතා බලන්නට බලකෙරෙන කාරණයක් බවට ද පත්වෙනවා.
© කපිල එම්. ගමගේ