පසුගිය අප්‍රේල් 21 වැනිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් ඇතිවූ කම්පනය තවමත් මෙරට ජනතාව වෙතින් මුළුමනින්ම පහව ගොස් නැහැ. මෙම ප්‍රහාර හේතුවෙන් ජනජීවිතවලට එල්ල වූ බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට සිනමා කර්මාන්තයද මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණදී සිටිනවා.
ඒ, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් සිනමාහල් වෙත පැමිණීමෙහි කැපීපෙනෙන අඩුවීමක් තවමත් දක්නට ලැබෙන නිසයි. අද වන විට මෙරට සිනමා කරුවන්ට චිත්‍රපට ප්‍රදර්ශනය කර ගැනීමේදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව ප්‍රකට කාරණයක්.
දිගු චිත්‍රපට පෝලිමක් පවතින නිසා වර්තමානයේ බොහෝ සිනමාකරුවන්ට තමන්ගේ චිත්‍රපටයේ සියලු නිර්මාණ කටයුතු නිමවීමෙන් වසර ගණනාවක් ගතවීමෙන් අනතුරුවයි එය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව හිමිවන්නේ. එවැනි වාතාවරණයක් තුළ තම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතරවාරයේ සිදුවූ මෙම නොසිතූ විරූ බලපෑමට තමන් මුහුණ දෙන ආකාරය ගැන මේ දිනවල තිරගත වන චිත්‍රපට කිහිපයක අධ්යක්ෂවරුන් අදහස් දැක්වූයේ මේ විදියටයි.
සිනමා කර්මාන්තයටම වැදුණු මරු පහරක්
- අශෝක හඳගම (අධ්යක්ෂ - අසන්ධිමිත්තා)
සිනමාවට විතරක් නෙවෙයි මේ රටේ හැම කර්මාන්තයකටම මේ සිදුවීමෙන් බලපෑම් එල්ලවෙලා තියෙනවා. වෙනදා සෙනඟ රැස්වෙන ස්ථානවලට ජනතාව එක්කාසුවීම දැන් අඩුවෙලා. මේ සිද්ධියෙන් පස්සේ බොහෝ සිනමාශාලා දවස් කිහිපයක්ම වසා දමලයි තිබුණේ. විවෘතව තිබුණු සිනමාහල්වලටත් ප්‍රේක්ෂකයන් ආවේ නැහැ. ජනතාවට තමන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා මෙය නැවතත් යථා තත්ත්වයට ගත වෙන්න සෑහෙන කාලයක් ගතවේවි.
මගේ චිත්‍රපටය සිනමාහල්වල තිබියදීයි මම මේ අත්දැකීමට මුහුණ දුන්නේ. තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න තවමත් බලාගෙන ඉන්නා සිනමාකරුවන්ට මේක තවත් නරක විදිහට බලපායි. මොකද, ප්‍රදර්ශනය සඳහා පෙළගස්වා තිබෙන සෑම චිත්‍රපටයක්ම අද රටේ පවතින තත්ත්වය නිසා තවත් ඈතට තල්ලුවෙලා යනවා. ඒ නිසා මේ ප්‍රහාරය සිනමා කර්මාන්තයටත් වැදුණු මරු පහරක් විදියටයි මට නම් පෙනෙන්නේ.
සිනමා ශාලා වසා දාපු එක වැරදියි
- ප්‍රීතිරාජ් වීරරත්න (අධ්යක්ෂ සහ නිෂ්පාදක - තිත්ත ඇත්ත)
මගේ චිත්‍රපටය මුදාහැරියේ අප්‍රේල් 20 වැනි සෙනසුරාදා. එදා කොළඹින් පිට හුඟක් හෝල් පවා හවුස් ෆුල් වෙලා තිබුණේ. හැබැයි ඉරිදා බෝම්බ පිපුරුණා කියලා දැන ගත්තාම සිනමාහල්වල හිටපු ප්‍රේක්ෂකයන් පවා එළියට ගිහින් තිබුණා. ඊට පස්සේ සිනමාහල් හිමියෝ හෝල් වහලා දැම්මා.
හෝල් වහලා දාපු එක වැරදි වැඩක්. මොකද එහෙම වුණාම කවුරුවත් සිනමාහල්වලට එන්නේ නැහැ. මෙහෙම දිගටම හෝල් වහලා තියන්න එපා කියලා මම දැනුම්දීලා පහුගිය සෙනසුරාදා සිනමාහල් ටිකක් විවෘත කෙරෙව්වා. දැන් ටික ටික ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එනවා. හැබැයි ජනතාවගේ තිබෙන බය නිසා මේ දවස්වල තිරගත වෙන හැම චිත්‍රපටයටම මේකෙන් විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා.
මගේ චිත්‍රපටය ටිකක් හරි දුවන්නේ මම ඒ වෙනුවෙන් ලොකු ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරන නිසයි. මීළඟට චිත්‍රපට මුදාහරින්න බලාපොරොත්තුවෙන් හිටපු අධ්යක්ෂවරු, නිෂ්පාදකවරුන් දැන් බය වෙලා. දැන්මම චිත්‍රපට මුදා නොහරින්නයි ඒ හුඟක් අය හිතාගෙන ඉන්නේ. මේක අපේ සිනමා කර්මාන්තයට බොහොම නරක තත්ත්වයක්. මේ තත්ත්වය යහපත් අතට හරවන්න නම් අපිට මුලින්ම මිනිස්සුන්ගේ බය නැති කරන්න වෙනවා. කවුරුවත් සිනමාහල්වලට බෝම්බ තියන්නේ නැහැ. ඒ නිසා බය නැතුව සිනමාහල්වලට එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.
ප්‍රේක්ෂකයන් සිනමාශාලා තුළට ඒම නැවතිලා
- සුනිල් ප්‍රේමරත්න (අධ්යක්ෂ - වැලි පවුරු)
“වැලි පවුරු” සිනමාහල් වෙත මුදා හැරියේ් අලුත් අවුරුද්දෙන් පසුවයි. අවුරුද්දෙන් පස්සේ සතියක්, එකහමාරක් විතර ගතවෙනතුරු සිනමාහල්වලට සෙනඟ එන්නේ නෑ කියලා මතයක් තියෙනවා. හැබැයි මගේ චිත්‍රපටයට එවැනි ගැටලුවක් ඇතිවුණේ නැහැ. මුල් දවස් හතරේදීම නොහිතපු විදියේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඊට හිමිවුණා. පස්වැනි දවසේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම් මාලාව රටපුරා ඇති වුණේ.
ඊට පස්සේ සිනමාහල්වලට සෙනඟ ඒම හොඳටම අඩුවුණා. මගේ චිත්‍රපටයට විතරක් නෙවෙයි මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන සෑම චිත්‍රපටයකටම මේක බොහොම නරක විදියට බලපෑවා. මමත් අවුරුදු එකහමාරක් විතර පෝලිමේ ඉඳලයි චිත්‍රපටයට දින ලබා ගත්තේ. ඉතින්, එවැනි අවස්ථාවක මේ වගේ තත්ත්වයකට මුහුණදෙන්න සිදුවීම ගැන පුංචි කනගාටුවක් හිතේ තියෙනවා. නමුත් චිත්‍රපට නරඹන මානසිකත්වයක නෙවෙයි ජනතාව පසුගිය දවස්වල හිටියේ. හැමෝටම වගේ තමන්ගේ ආරක්ෂාව ගැන ගැටලු තිබුණා. දැන් නම් රටේ ආරක්ෂාව සහතික කරලයි තියෙන්නේ. ඒ නිසා තවත් ටික දවසක් ගතවෙද්දී වෙනදා වගේම සිනමාහල් වලට ප්‍රේක්ෂකයන් ඇදී එන්න පටන් ගනීවි කියලා මම හිතනවා.
සුන් වුණේ අවුරුදු පහක බලාපොරොත්තු
- නුවන් ජයතිලක (අධ්යක්ෂ - සුළඟ අප රැගෙන යාවි)
සංස්කෘතිකමය වශයෙන් ගත්තොත්, සිනමාව කියන්නේ සිංහල සමාජය තුළට මුල් බැසගත් එකක් නෙවෙයි. අපේ සමාජයට, චිත්‍රපටයක් බලන්න බැරි වෙනවා කියන්නේ නොකෑවා වගේ හැඟීමක් ඇති කරන දෙයක් නෙවෙයි. නමුත්. නුවරඑළියේ නැත්නම් වතුකරයේ දෙමළ ජනතාව උදාහරණයකට ගත්තොත්, ඔවුන් කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා අලුත් දෙමළ චිත්‍රපටයක් එහි ප්‍රදර්ශනය කරන තුරු. එහෙම චිත්‍රපටයක් ඇවිත් සති එකහමාරක් විතර ගතවෙද්දී හැමෝම ඒ චිත්‍රපටය නරඹලා ඉවරයි. නමුත් සිනමාව ගැන ඒ වගේ උනන්දුවක් සිංහල ප්‍රේක්ෂකයන්ට නැහැ. චිත්‍රපටයක් සති තුනක් විතර සිනමාහල්වල පල්වෙලා.
ඒ චිත්‍රපටය ගැන සමාජයේ කථිකාවක් ඇතිවුණාට පස්සේ තමයි හුඟක් ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට ගිහින් චිත්‍රපටය නරඹන්නේ. ඒ නිසා කොහොමටත් එවැනි අර්බුදයක් සමාජය තුළ තිබියදී මේ වගේ සිදුවීමක් වුණාම ඒ අර්බුදය තවත් උග්‍ර වෙනවා. අදත් ඇතිවෙලා තියෙන්නේ එවැනි තත්ත්වයක්. අද ජනතාව සිනමාහල්වලට එන එක තවත් අඩුවෙලා. මේ නිසා අධ්යක්ෂවරු විදියට අපි අද ලොකු ගැටලුවකටයි මුහුණදීලා ඉන්නේ.
මම මේ අවස්ථාව ලබා ගත්තේ අවුරුදු හතරක් විතර චිත්‍රපට පෝලිමෙත් ඉඳලයි. දැන් චිත්‍රපටය දින 50ට ආසන්න වෙලයි තියෙන්නේ. මම හිතනවා අර්බුද මැද්දේ හරි “සුළඟ අප රැගෙන යාවි” දින 50 පසුකරාවි කියලා. එහෙම නොවුණොත් අවුරුදු පහක් බලාගෙන හිටපු මගේ සෑම බලාපොරොත්තුවක්ම සුන් වෙනවා.
සිනමාකරුවන් අසරණ වෙලා
- ප්‍රසාද් සමරතුංග (අධ්යක්ෂ - ඉස්කොලෙට මං ආවා)
මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වුණේ අප්‍රේල් 05 වැනිදා. ඒ නිසා මේ සිදුවීමට කලින් යම්තාක් දුරකට චිත්‍රපටයට ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගන්න මට පුළුවන්කම ලැබුණා. නමුත්, මේ සිද්ධියෙන් පස්සේ සිනමාහල් වසා දැමුණා. මොකද තමන්ගේ ආරක්ෂාව ගැන තමයි ඊට පස්සේ හැමෝම සැලකිලිමත් වුණේ. එවැනි වාතාවරණයක් තුළ, සිනමාහල් විවෘත කරන්න කියලා ඉල්ලා සිටීමත් මානුෂික නැහැ.
නමුත් මම විතරක් නොවෙයි සිනමාකරුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීමෙන් පස්සේ විශාල ගැටලුවකට මුහුණ දුන්නා. ඒ වගේම අසරණ වුණා. මගේ චිත්‍රපටයට පාසල් වලිනුත් ඉල්ලීම් හුඟක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ නිසා ඉදිරියේදී පාසල් දර්ශන සහ ගම් මට්ටමින්, තවත් දර්ශන පැවැත්වීම සඳහා දින වෙන් කර ගැනීමේ කටයුතු කරමිනුයි හිටියේ. ඒත් දැන් මේ අර්බුදකාරී තත්ත්වය හරියටම සමනය වනතුරු ඒ හැම දෙයක්ම කල් දමන්නට සිද්ධ වෙනවා.
කිෂාන් කනංකෙ
ලක්බිම