ඔබගේ සම්පූර්ණ නම?
කාලෝ කැෂ්මියර් ෆොන්සේකා
ඔබට අනුව කාලෝ ෆොන්සේකා කියන්නෙ කවුද?
මෙරටෙහි ජන්ම ලාභය ලැබ , නිදහස් අධ්‍යාපනයෙන් ප්රතිලාභ රැසක් භුක්ති විඳ, එනිසා ම මෙරට පොදු ජනතාවට කොපමණ සේවය කළත් මදි යැයි සිතමින් මියෙන මොහොත දක්වා හැකි පමණින් සේවයක් කරමින් හිඳ මෙරටෙහි ම මියැදීමට අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරයෙක්.
අධ්‍යාපන ජීවිතයේ කඩයිම්?
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මීගමුවෙ මාරිස්ටෙලා විද්‍යාලයෙන්. ද්විතීයික අධ්‍යාපනය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. ඉන්පසුව පශ්චාත් උපාධි අධ්‍යාපනය ලෙස එක්සත් රාජධානියේ එඩිම්බරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලැබුවා.
වෘත්තීය ජීවිතයේ අමතක නොවන සිද්ධි දෙකක්?
මගේ ආදරණීය බෑණනුවන් වූ ජනප්‍රිය නළු විජය කුමාරතුංග දේශහිතෛශියා 1988 දී ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ රියදුරු පොඩි අමරේ නැමැත්තා දැඩි සොවින් සිරුරට ගිනි තබාගෙන මිය යෑමට සූදානම් බව මා කණ වැකුණත් පොඩි අමරේව රෝහල්ගත කිරීමට අවශ්‍ය කාර්යන් සිදු කරන තෙක් පැයක් දෙකක් බලාගන්නා ලෙස ඔහුගේ සමීපතමයන්ට පවසා විජයගේ මලගමෙහි වැඩවල නිරත ව සිටින අතරෙ ඒ සුළු කාලය තුළ පොඩි අමරේ සිරුරට ගිනි තබාගෙන මියැදීමට උත්සහ කර අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබුණා. විජයගේ මලගම ද අවසන් ව දින තුනකින් පොඩි අමරේ බැලීමට මා රෝහලට ගිය විට තමන් බේරාගන්නා ලෙස ඔහු මගෙන් අයැද සිටියා ඒ ඉල්ලීම ඉටු කිරීමට කොපමණ උත්සහ කළත් අප අපොහොසත් වුණා.
එතකොට වෛද්‍ය සිද්ධාන්ත හා සදාචාරයන්ගෙන් පෙලනු ලැබ මගේ සිත මට දොස් නැගූයේ වෛද්‍යවරයකුගේ යුතුකම සහ වගකීම වනුයේ මළ පුද්ගලයන්ගේ කටයුතු කිරීමට වඩා ජීවත් ව සිටි පුද්ගලයා බේරාගැනීමට මා උත්සුක වූවා මදි බව පසක් කරවමින්. ඒ මොහොතේ පොඩි අමරේ පසුවන්නේ විශාදය නමැති දැඩි මානසික අවපාත අවස්ථාවක බව මගේ වෛද්‍ය විද්‍යා දැනුම අනුව දන්නා මා පැයක් දෙකක් පවතින ඒ අසහනකාරී තත්වය මගහැරී යන තෙක් අන්යන් වෙත වගකීම නොපවරා වහා ඔහු රෝහල්ගත නොකිරීම මගේ බලවත් පශ්චාත්තාපයට හේතු වුණා. එය අදටත් මා සිත පෙලනවා.
දෙවැන්න මා වෛද්‍ය විද්‍යාලයේ උගන්වන අවධියේ ලාඳුරු රෝගය වැලඳුණු දුප්පත් කාන්තාවකට උපකාර කර එය සුව කරගැනීමට කටයුතු සලස්වා දීමෙන් පසු ඒ කාන්තාව කෘතගුණ දැක්වීමට මා සිටි කොළඹ වෛද්‍ය විද්‍යා අංශයේ 3 වෙනි මහලට හාල් - පොල් සුලබ නොවූ ඒ 70 දශකයේ එක් උදෑසනක හාල් ආදිය දමාගත් මල්ලක් හිස උඩ තබාගෙන පඩි 64ක් නගිමින් පැමිණ සිටියා. ඇය දුටු මා නොරිස්සුමෙන් ඇයට උච්චස්වරයෙන් නමින් අමතා කිව්වෙ ‘ඔයා දන්නවා අපේ ගමේ කෙනෙක් විදිහට අපිට කුඹුරු තියෙනවා. අපිට පොල් වතු තියෙනවා. අපිට හාල් පොල් තියෙනවා. ඔයාගෙ හාල් පොල් මට ඕන්නෑ. වහා ම අරං යන්ඩ මේක කියලා.
මගේ වේගවත් ස්වරයෙන් රිදුම් සිත් ඇති වූ ඒ කාන්තාවගේ ඇස් කඳුලින් තෙත් වනු මට පෙණුනා. ඇය එවෙලෙ අහපු ‘එතකොට මගේ සන්තෝෂය පෙන්නන්න මට ක්‍රමයක් ඇත්තෙ ම නැද්ද?’ යන පැනය නිරතුරු අදත් මගෙ හදවතේ දෝංකාර දෙන්නෙ දෙනෙතට කඳුළු පුරවමින්. මගේ මහන්තත්තකම නිසා දුප්පත් කාන්තාවගේ අවංක හැඟීම් තේරුම්ගත නොහැකිව ඇයගේ සිත රිදවූ බව වැටහෙද්දී අද මට හිතෙන්නේ මා එතරම් සැර ස්වරයකින් කතා කලේ කෙලෙසක ද කියායි. ඒ වෙලාවෙදි මනුෂ්‍යයන් වශයෙන් අප සියලූ දෙනා ගෞරවනීය භාවයෙන් එක හා සමාන බව අමතක කර කතා කළ බව මට පසු ව ඒත්තු ගිය නිසා ඉන් අනතුරුව කිසිවකුටත් එසේ කතා නොකිරීමට අධිෂ්ඨාන කරගත්තා.
අධ්‍යාපන පෞද්ගලීකරණය හා ‘සයිටම්’ පිළිබඳ ඔබේ අදහස
තරුණ කාලයේ පටන් මම ධනවාදයට වඩා සමාජවාදයෙන් මිනිස් සංහතියට යහපතක් වන බව දැඩිව විශ්වාස කළා. මම ප්‍රාර්ථනා කළේ පූර්ණ සමාජවාදී සමාජයක වාසය කිරීමටයි. එය මගේ කාලයේ දී අපේ රට තුළ දී ඉටු කර ගත නොහැකි අරමුණක් වන බව ප්රත්යක්ෂ වූවාට පසු යටත් පිරිසෙයින් අධ්‍යාපනය හා සෞඛ්‍ය ප්‍රධාන කොට ම රජයේ වගකීමක් බව දැන එය යථාර්ථයක් කිරීමට උත්සහ දැරුවා. එහෙත් 'A' තුනක සමාර්ථයක් ලැබූ සිසුන්ට රජයේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ වරප්‍රසාදය අහිමි වූවාට පසුව පවතින සමාජය තුළ එය පෞද්ගලික ක්ෂේත්රයෙන් ලබාගැනීමට අවකාශය සලස්වා දීමට විරුද්ධ වුණේ නෑ.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය දැඩි ව රැකගත යුතු බව තරයේ විශ්වාස කරනවා.සයිටම් පෞද්ගලික විද්‍යාලයේ ඒ ප්‍රමිතිය නොපැවති බව විධිමත් පරීක්ෂණයකින් තහවුරු වූවාට පසු අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට සුදුසු අවකාශයක් තව ම නොමැති බව පැහැදිලි වුණා. එහෙත් ඒ ආයතනයට විශාල මුදල් කන්දරාවක් ගෙවා ප්‍රවේශ වූ සිසුන්ට රජය පිළිගත් වෛද්‍ය උපාධියක් පිරිනැමීමට මම විරුද්ධ නෑ.
හේතුවාදී අභියෝගය තව මත් විවෘත ද?
විවෘතයි.
දාර්ශනිකයා, ලේඛකයා ආදී වශයෙන් ඔබ කැමතිම චරිත 3ක්?
දර්ශනිකයා : ගෞතම බුදුරදුන්.
ලේඛකයා : මාර්ටින් වික්‍රමසිංහ.
ගාන්ධර්වයා : ඩබ්ලිව්.ඩී අමරදේව සූරීන්.
මිනිසුන් වශයෙන් මේ යුගයේ පරමාදර්ශ සිතේ තබා ගැනීම ඔබ හිතන විදිහට කොයි තරම් වැදගත්ද?
පරමාදර්ශ හිතෙහි තබාගැනීම වැදගත්. මගේ පරමාදර්ශ වෙන්නෙ ලෝකය පිළිබඳ දැනුම ලබාගැනීමට තිබෙන විශ්වාසදායකම ක්‍රමය විද්‍යාව බව පිළිගැනීම සහ ලෝකය මෙහෙයවිය යුත්තේ මානව හිතවාදය පදනම් කරගෙන බව.
දශක අටක පමණ ජීවන අත්දැකීම් සමග මේ රටෙන් බලාපොරොත්තුවන ඉල්ලීම් තුන?
තණ්හාවෙන් , ද්වේෂයෙන් , මුලාවෙන් තොරව යහපත් සාධාරණ පුරවැසියන් ලෙස සතුටින් මෙරටෙහි ජීවත් වීම. සෞන්දර්යට විශේෂ තැනක් දෙන ජනහිතකාමී සහෘද ජනතාවක් ලෙස මෙරටෙහි සතුටින් ජීවත්වීම. ජාති , කුල , ආගම් පන්ති භේදයකින් තොර සමාජයක් ඇති කිරීම.
කියවපු නවකතාවක චරිතයක් වෙන්න කිව්වොත් කවුරු වෙන්නද කැමති?
විරාගයේ අරවින්ද වෙන්න කැමතියි.
සංවාද සටහන - අකලංක ගුණතිලක
(කැලණිය විශ්වවිද්‍යාලය)
උපුටා ගැන්මකි