පුද්ගලයෙකුගේ සංජානන ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යමින් දිවිය වඩාත් හොඳ සහ දිගු එකක් බවට පත් කර ගැනීම සඳහා ගෙවතු වගාව උපකාරී වන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි.
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් මේ වන විට "රැකවරණ ගොවිපොළ" (care farms) ප්‍රතිකාරවලින් ප්‍රතිලාභ අත්විඳින ආකාරය දැකිය හැක.
විශ්‍රාම සුවයෙන් කල් ගෙවන නෝර්වේ ජාතික මිත්තණියක වන මේරියෑන් රොග්ස්ටඩ් තම ජීවිත කාලය පුරාවට ම ඉගෙන ගනිමින් සිටින්නියකි. දශක පහක කාලයක් තිස්සේ ස්විට්සර්ලන්තයේ හෝටල් ලිපිකාරිනියක ලෙසින් සේවය කරද්දී ඇය අලුත් භාෂාවන් සහ සංස්කෘතීන් හැදෑරීම ද සිදු කළා ය.
කාලයාගේ ඇවෑමෙන් නෝර්වේ කරා නැවත පැමිණීමෙන් පසුව තමන් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බව ඇයට දැන ගැනීමට ලැබිණ. නොබෝ දිනෙකින් ඇය හුදෙකලාවට පත්වූ අතර, ජීවිතය කෙරෙහි උත්තේජනයක් ලැබුණු මාර්ග ඇහිරී ගියේ ය. ඒ, ඇය ඔස්ලෝ නගරයෙන් පිටතට වන්නට පිහිටි කුඩා ප්‍රමාණයේ "රැකවරණ ගොවිපොළ" සේවාවක් වන Impulssenter සමග සම්බන්ධ වන තෙක් ය. අනෙක් පුද්ගලයින් සමග එක්ව වැඩ කිරීම සහ සෙසු අය සමග සම්බන්ධ වීම සඳහා පුද්ගලයින්ගේ ඇති කැමැත්ත වෙනුවෙන් සේවය කිරීම එහි නමින් කියැවෙන බව හෙන්රියට් බ්‍රින්ස්ජෝඩ් පවසන්නීය. එම සේවාව පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඇයගේ දෙමව්පියන් ය.
තරුණබව රැක ගැනීමට විනාඩි 5ක්
දිනපතා ම පාහේ පොතක පිටුවක් කියැවීමේ සිට දණහිස් ශක්තිමත් කිරීමේ ව්‍යායාම දක්වා වන ජීවන රටාවේ සුළු වෙනස්කම් මගින් ඔබ වයසට යන ආකාරය කෙරෙහි දැඩි බලපෑමක් සිදුවිය හැකි ආකාරය මෙම ලිපියෙන් විමසා බැලේ. එහි හොඳ ම දෙය වන්නේ, එවැනි වෙනස්කමක් කිරීමට වැය වන්නේ විනාඩි පහකටත් වඩා අඩු කාලයක් වීම යි.
"ගොවිපොළක වැඩ කරන්න මගේ මව සහ පියා ගොඩාක් කැමති වුණා. වැඩ කිරීම නවත්තන්න වෙලා, සමාජ ජීවිතය නැතිවුණු ඩිමෙන්ෂියා තියෙන අයට ඒක කොච්චර අමාරු ද කියලා ඔවුන් දෙන්නා හිතුවා. ඒ නිසා, ඩිමෙන්ෂියා තියෙන අයට ආයෙත් ජීවිතයක් දෙන්න උදව් කරන්න ඔවුන්ට ඕනෑ වුණා," යැයි එම ගොවිපොළේ සම කළමනාකරු බ්‍රින්ස්ජෝඩ් පවසන්නීය.
ඩිමෙන්ෂියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන ජාතික සැලසුමක් සැකසූ මුල් ම රටවල් අතරට 2015දී නෝර්වේ රාජ්‍යය ද එක් විය. රජය විසින් ලබා දෙන රැකවරණ ගොවිපොළ සේවාව ද (එරට භාෂාවෙන් Inn på tunet (into the yard) ලෙසට හැඳින්වෙන) ඊට අයත් වේ.
භූමියේ වැඩක නිරත වීමෙන් මානසික ක්‍රියාකාරීත්වයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව පර්යේෂකයින් පිළිගැනීමත් සමග ම වැඩි වශයෙන් ප්‍රජාවන් ගෙවතු වගාව තම සෞඛ්‍ය සේවාවන්ට එක් කර ගනිමින් සිටී. සමාජයීය වශයෙන් නිර්දේශ කෙරෙන සොබාදහම සමග එක්ව කරන ක්‍රියාකාරකම් හරහා සෞඛ්‍යමය අවශ්‍යතාවන්ට ප්‍රතිකර්ම කිරීම ඉන් සිදු කෙරේ.
"ස්වාභාවික ප්‍රතිකර්ම නිසා කායික ක්‍රියාකාරකම් වගේ ම සමාජය එක්ක තියෙන සම්බන්ධයත් වැඩි වෙනවා වගේ ම ආතතියත් අඩු කරන්න පුළුවන්. රුධිර පීඩනය, රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්නත්, නිරෝගී බව රැක ගන්නත්, ඩිමෙන්ෂියා රෝගයට හේතු වෙන රෝග තත්ත්ව අඩු කරන්න බලපෑම් ඇති කරන්නත් හැකි වෙනවා," යනුවෙන් පැහැදිලි කරන්නේ වැන්කුවර්හි පවුල් වෛද්‍යවරියක හා බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක වන මෙලිස්සා ලෙම් ය.
ස්වාභාවික ප්‍රතිකර්ම මගින් ලබාදෙන අවස්ථා සහ බාධක පිළිබඳව ඇය පර්යේෂණ සිදු කරන්නීය. "අපි හැමෝම දන්නවා වැඩියෙන් කායික ක්‍රියාකාරකම් කිරීමෙන් මානසික වගේ ම කායික නිරෝගී බව වැඩිදියුණු කරනවා කියලා. ඒ ඔක්කොට ම වැඩිය ගෙවතු වගාව ඒක කරලා දෙනවා."
ගෙවතු වගාවෙහි නියැලෙමින් කාලය ගත කිරීමේ වාසි සම්බන්ධයෙන් අලුත් දත්ත ප්‍රකාශයට පත්ව ඇත. ලොව පළමු වරට කරනු ලැබූ ඒ ආකාරයේ පර්යේෂණයකදී එඩින්බර්ග් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයින් සොයා බලා ඇත්තේ, ගෙවතු වගාව සහ ජීවිත කාලය තුළ බුද්ධි මට්ටම වැඩිදියුණු වීම අතර සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව යි.
එහිදී ඔවුන් 11 හැවිරිදි සහ 79 හැවිරිදි වයස්වල පසුවන්නන් පිරිසකගේ බුද්ධි මට්ටම් පිළිබඳ පරීක්ෂණ ලකුණු සංසන්දනය කළ අතර, ප්‍රතිඵලයෙන් කියැවුණේ, පෙර කිසිදු දිනෙක හෝ කලාතුරකින් හෝ පමණක් ගෙවතු වගාවෙහි නියැලුණු අයට වඩා නිරතුරුව ම ගෙවතු වගාවෙන් කාලය ගත කළ පුද්ගලයින්ගේ සංජානන වර්ධනයක් ජීවිත කාලයේදී සිදුවන බවට ය.
"ගෙවතු වගා ව්‍යාපෘති කරලා, පැළ ගැන දැනගෙන පොදුවේ වතු පාලනය ගැන අවබෝධයක් ගන්න නම් මතකයත්, තීරණ ගැනීමත් වගේ සංකීර්ණ සංජානන ක්‍රියාවලියක් සම්බන්ධ වෙනවා," යනුවෙන් එම අධ්‍යයනයේ මූලික පර්යේෂිකා ජැනී කෝර්ලි මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටියා ය.
"භාවිත කිරීම හෝ එසේ නැතිනම් නැතිකර ගැනීම" යන සංජානන රාමුව නිසා මෙම ප්‍රතිලාභවලින් කොටසක් ලැබෙන බව කෝර්ලි කියා සිටින්නී ය. එම සිද්ධාන්තයෙන් යෝජනා කෙරෙන්නේ, වයස්ගත වැඩිහිටි වියේදී අපගේ මානසික හැකියාවන්ගේ ශක්තිය රඳා පවතින්නේ ඒවා කෙතරම් දුරකට භාවිත කරන්නේ ද යන්න මත බව ය.
අප මොළයේ සමහර කොටස් උත්තේජනය කරන ක්‍රියාකාරකම් නොසලකා හැරියහොත්, එවැනි කොටස්වල ක්‍රියාකාරීත්වය අඩු වනු ඇත. නමුත්, වයස්ගත වැඩිහිටි වියේදී ගැටලු විසඳීම, අලුත් කුසලතාවක් හැදෑරීම හෝ නිර්මාණාත්මක වීම හෝ වැනි මේ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතුරුව ම නියැලීමෙන් ඊට විරුද්ධ බලපෑමක් ඇති කරයි.
2002 වසරේ එක්සත් ජනපද කන්‍යා සොහොයුරියන් 800කට අධික පිරිසක් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ, සංජානන උත්තේජනය කරන ක්‍රියාකාරකම්වල නිතර ම යෙදී සිටීම මගින් ඔවුන් ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම අඩු කර ගත් බව ය.
වඩාත් මෑතකදී ජපානයේ වයස්ගත වැඩිහිටියන් යොදාගත් අධ්‍යයනයකදී සොයාගනු ලැබූයේ, අර්ථවත් ක්‍රියාවන්හි නියැලීම මගින් මතකය අඩුවීමට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙන බව ය.
ඒ අතරතුර තවත් පර්යේෂණ පෙන්වා දෙන ආකාරයට සංජානන උත්තේජනය කරන ක්‍රියාකාරකම්වල නියැලීමේ අවස්ථාව ලැබූ (සමාජ පසුතලයක් යටතේ නම් වඩාත් සුදුසුයි) පුද්ගලයින්ගේ ඥානය, මනෝභාවය, සන්නිවේදනය සහ සමාජයීය අන්තර්ක්‍රියාවන්හි වර්ධනයක් පෙන්නුම් කරන්නේ ය.
පුද්ගල සංජානනය කෙරෙහි ගෙවතු වගාවෙන් වඩාත් සුවිශේෂී ප්‍රතිලාභ ලැබෙන බවක් දක්නට ලැබේ. ඉන් එක් ප්‍රතිලාභයක් වන්නේ, brain-derived neurotrophic factor (BDNF), නමැති (නියුරෝනයන්හි වර්ධනයට හා පැවැත්මට වැදගත් භූමිකාවක් ඉටු කරන) ප්‍රෝටීනයෙහි මට්ටම ඉහළ නංවා ගැනීමට ගෙවතු වගාකරන්නන් අතර පවතින හැකියාව යි . එමෙන් ම, සංජානන හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි සම්බන්ධයක් පවතින vascular endothelial growth factor (VEGF) නමැති ප්‍රෝටීන මට්ටම ඉහළ නංවා ගැනීමේ හැකියාව ද ඉන් ලැබේ.
දිනපතා ම පාහේ ගෙවතු වගාවෙහි යෙදීමෙන් පසුකාලීනව ඩිමෙන්ෂියා හටගැනීමේ අවදානම සැලකිය යුතු ලෙසට අඩු වන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි.
වසර 2006දී නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සිදුකළ අධ්‍යයනයකදී ජීවිතයේ 60 වන දශකය ගෙවමින් සිටි ඔස්ටේලියානු පිරිමින් හා කාන්තාවන් පිරිසකගේ ගෙවතු වගාකිරීමේ නැඹුරුතාව පිළිබඳව පිරික්සා බලන ලදී. එහිදී හෙළිවූ කරුණක් නම්, දිනපතා ම පාහේ එහි නිරත වූ පුද්ගලයින් අන් අයට වඩා ඩිමෙන්ෂියා වැළඳීමේ අවදානම 36%කින් අඩු කර ගත් බව ය. ගෙවතු වගාව නිසා අවධානය වැඩිදියුණු වීම, ආතතිය අඩු වීම, ඇද වැටීම් අඩු වීම හා ඖෂධ මත රඳාපැවතීම අඩු වීම වැනි ප්‍රතිලාභ ද අත් වේ.
මෙම සංජානන ප්‍රතිලාභවලින් කොටසක් ලැබෙනුයේ, ස්වභාව ධර්මය සමග වන පැවැත්ම පමණක් නිසා ම ය. සෞඛ්‍ය පද්ධති නිර්මාණයෙහිලා ලෝක මට්ටමේ ප්‍රවීණයෙකු හා ස්වීඩනයේ චාමර්ස් විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්යවරයෙකු වන රොජර් උල්රික් යනු ස්වභාව ධර්මයට නිරාවරණය වීම සහ ආතතිය අඩුවීම අතර සම්බන්ධය මුලින් ම අනාවරණය කර ගත් පර්යේෂකයින්ගෙන් එක් අයෙකි.
1980 හා 1990 දශක පුරාවට ඔහු සිදුකළ අධ්‍යයන මාලාවකින් පෙන්වා දුන්නේ, වෘක්ෂ හා අනෙකුත් ශාක දෙස බලා සිටීමකින් පමණක් (අවම වශයෙන් ජනේලයක් අතරින් හෝ) පවා ශාරීරික වේදනාව අඩු කිරීමට, ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීමට හා අවධානය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
මෙම ප්‍රතිචාරයන්ට හේතුව වන්නේ මිනිස් පරිණාමය බවට වන අදහසක් උල්රික් පළ කළේ ය. පීඩාකාරී අවස්ථාවකින් යථා තත්ත්වයට පත් වීමේ හැකියාව මිනිසාගේ පැවැත්මට අනුකූල වන බැවින්, ස්වාභාවික පරිසර තත්ත්වයන් යටතේ එවැන්නක් සිදු වීම ජානමය වශයෙන් වාසිදායක වන නිසා, එය පරම්පරාවෙන් පරම්පරාවට දායාද වී තිබේ. ස්වභාව ධර්මයේ සුළු ආභාෂයක් පවා නවීණ මානවයින් අතර සන්තුෂ්ටිය වර්ධනය කරන්නේ කෙසේ දැයි මෙමගින් පහදා දිය හැක.
ස්වභාව ධර්මයෙන් සමන්විත වටපිටාවකදී වඩාත් ඵලදායක ලෙසින් යථා තත්ත්වයට පත් වීමේ හැකියාව අප අතර පරිණාමය වී ඇති බවට වන සිද්ධාන්තය සමහර දත්ත මගින් තහවුරු කරයි. මෙම ප්‍රතිලාභ අතරින් කොටසක් අපගේ පරිණාමය සමග බද්ධව තිබෙන බව ද වෛද්‍ය ලෙම් ගේ අදහස වන්නේය.
"ස්වභාව ධර්මයේ බලපෑම කොච්චර බලවත් ද කියනවා නම්, ස්වභාව ධර්මයේ අනුරූප දිහා බලා සිටීම, ස්වභාව ධර්මයේ ශබ්දවලට ඇහුම්කන් දීම හරි ස්වභාව ධර්මය ආඝ්‍රාණය කිරීම වගේ ඒකේ කොටස්වලට අනුගත වීමෙන් අපේ සෞඛ්‍යය සැලකිය යුතු විදියට වැඩි කරගන්න පුළුවන් වෙනවා," යැයි ඇය පවසන්නීය.
පසුගිය දා වෛද්‍ය ලෙම් කැනඩාවේ කලා සංගමයක් හා එක්ව ලොව ප්‍රථම වරට පැවැත්වූ ස්වභාව ධර්මයේ ප්‍රතිකර්ම පිළිබඳ වැඩසටහනකට ප්‍රමුඛත්වය ලබා දුන්නා ය.
ආතතිය අඩු කිරීමට අමතරව අවධානය වැඩිදියුණු කර ගැනීමට ද ස්වභාව ධර්මය සමග සමීපව කටයුතු කිරීමෙන් සහයක් ලැබෙන බව වෛද්‍ය ලෙම් කියා සිටින්නී ය. අවධානය යථා තත්ත්වයට පත් කිරීමේ සිද්ධාන්තයට අනුව, කාර්ය බහුල නාගරික වටාපිටාවකදී අවධානය යොමු කිරීම සඳහා අපගේ මොළයට ඇත්තේ සීමාසහිත ධාරිතාවක් පමණකි. ස්වභාව ධර්මයේ උපකාරයෙන් එය ප්‍රතිවිරුද්ධ ලෙසින් ක්‍රියා කිරීමේ හැකියාව අත්කර ගන්නා බව ඇය පහදා දෙයි.
කායික ක්‍රියාකාරකම් වැනි නීරෝගීභාවය වැඩිදියුණු කරන චර්යාවන්ට ද ගෙවතු වගාවෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ උපකාරී වන බව වෛද්‍ය ලෙම්ගේ අදහස වන්නේ ය.
එක්සත් ජනපද වැඩිහිටියන් අතර සිදුකළ අධ්‍යයනයන් දෙකකදී හෙළි වූ කරුණු දෙකකට ඇය අපගේ අවධානය යොමු කරන්නීය. සතියකට පැයක කාලයක් ගෙවතු වගාවෙහි නියැලුණු අය අතර හෘදයාබාධ හටගැනීමේ අවදානම 66%කින් අඩු වූ බවත්, ගෙවතු වගාව යනු "සාධනීය අස්ථි ඝනත්වයක් පැවතීම පෙන්වා දෙන ශක්තිමත් හා ස්වාධීන දර්ශකයක්" වන බවත් එහිදී අනාවරණය විය. දෑත්වල හුරුවීමේ හැකියාව, මාංශ පේශී ස්කන්ධය හා ඔක්සිජන් දරා ගැනීම ඉහළ නැංවීමට පමණක් නොව, සංචලතාව වැඩිදියුණු කරලීමට ද ගෙවතු වගාවෙන් වැඩි පිටුබලයක් ලැබේ.
මේ වන විටත් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා අමතර ප්‍රතිලාභ ලබාදීමේ හැකියාව ද ඉන් ලැබෙන බව අධ්‍යයනයන්ගෙන් හෙළිව ඇත. ඔවුන්ගේ මනෝභාවය, හැසිරීම, සන්නිවේදනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩිදියුණු කර ගැනීමට ගෙවතු වගාවෙහි නියැලීමෙන් හැකියාව ලැබේ. ඩිමෙන්ෂියා රෝගීන් සඳහා ම සේවා ලබාදෙන රැකවරණ ගොවිපොළ යුරෝපයේ සහ එක්සත් රාජධානියේ බිහිවෙමින් තිබේ.
රැකවරණ ගොවිපොළවලදී ගෙවතු වගාවෙහි නියැලීම මගින් ක්‍රියාකාරකම් හා ස්වාධීනත්වය පිළිබඳ හැගීමක් ලබා දෙන බව බ්‍රින්ස්ජෝඩ් විශ්වාස කරන්නීය. "ඒ අයගේ වැඩවල ප්‍රතිඵල දකින්න පුළුවන් නිසා මිනිස්සු ඒකට හරි කැමති යි," ඇය පවසන්නී ය. ගෙවතු වගාව හා ගොවිපොළ කටයුතුවලදී කණ්ඩායම් වශයෙන් එක්ව ක්‍රියා කිරීමට සිදුවීම හේතුවෙන් මතකය නැති වී යාමෙන් පීඩා විඳින පුද්ගලයින්ට අන් අය අනුගමනය කර වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවීමේ වාසිය ද ඇය පෙන්වා දෙන්නී ය. "මොකක් හරි දෙයක් කරන හැටි අමතක වුණොත් අනිත් අය ඒක කරන හැටි බලලා තමන් ම ඒක කරන හැටි මතක් කරගන්න පුළුවන් වෙනවා."
මේ ආකාරයට පැහැදිලි වන ගෙවතු වගාවේ නියැලීම හා එළිමහනේ සිටීම මගින් අත්වන ප්‍රතිලාභ හේතුවෙන්, මිනිසුන් හා වෘක්ෂයන්ගෙන් පිරී තිබෙන ධනාත්මක වටපිටාවක් රොග්ස්ටෑඩ් වැනි පුද්ගලයින් සඳහා සහතික කරලීමේ වැදගත්භාවය නොසලකා සිටීමට බ්‍රින්ස්ජෝඩ් හට නොහැකිය.
"ඒ අයට ගෙදර ගිහිල්ලා සතුටින් ඉන්න පුළුවන්. ඒ අයගේ සැමියා හරි බිරිඳ හරි අහන්න පුළුවන් "ඔයා අද මොනවාද කළේ?" කියලා. තමන්ට හොඳ දවසක් තිබුණු බව ඇරෙන්න වෙනත් දෙයක් ගැන අදහසක් ඔවුන්ට නැති වෙන්න පුළුවන්," යැයි ඇය පවසන්නීය.
රොග්ස්ටඩ් සම්බන්ධයෙන් නම් එය නිවැරදි වන්නේ ය. ඔහු සතියකට දින තුනක් රැකවරණ ගොවිපොළේ ගත කරන්නේ, එළවළු වවමින්, එළදෙනුන්ට ආහාර දෙමින් සහ කුකුළන් රැකබලා ගනිමින්, සරලව කියන්නේ නම් වැඩ කිරීමේ පහසු බව අගය කරමිනි.
"ස්වභාව ධර්මයත් එක්ක ඉන්න එක හොඳයි. ගෙදර වාඩි වෙලා ඉන්නවාට වඩා ඒක ගොඩාක් හොඳයි."
කර්තෘ - ජූලියා හොට්ස්
(මූලාශ්‍රය - BBC News සිංහල ඇසුරිනි)