ඔහු ලාංකික ප්‍රේක්ෂකයා සිහින දේශයකට රැගෙන ගිය අධ්යක්ෂවරයෙක්. එමෙන්ම ලාංකික සිනමාව උඩු – යටිකුරු කරමින් සිනමාවට බොහෝ නව ප්රවණතා රැගෙන ආ අධ්යක්ෂවරයෙක්. ඔහුගේ ඇතැම් මායාකාර නිර්මාණ තුළ බොහෝ ප්‍රේක්ෂකයන් තවමත් හුදෙකලා වී සිටී. ඇතැම් විට ඔහුගේ නිර්මාණ භයංකර වන්නා සේම හාස්‍යය තුළින් ගැඹුරු දේශපාලනයකට රැගෙන යයි. එකිනෙකට වෙනස් නිර්මාණ කරමින් නිර්මාණයෙන් නිර්මාණයට තම අනන්‍යතාව විදහා දක්වන මේ නිර්මාණකරුවා ටෙලිවිෂනය තුළට මේ දිනවල පිටස්තරයෙක් රැගෙන විත් ඇත. අද එම පිටස්තරයා ගැන කතා කිරීමට හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ සිනමා අධ්යක්ෂ බූඩි කීර්තිසේන.
Outsider නිර්මාණය වුණේ කොහොමද?
Outsider කියන්නෙ මම සිනමාපටයකට නිර්මාණය කරන්න ගිය කතාවක්. සුපුන් රත්නායක තමයි මට මේ Mini Sries එක කරන්න ආරාධනා කළේ. A For Apple එකෙන් අධ්යක්ෂවරු 20 දෙනෙක් සමඟ මේ විධියට Mini Sries කරනවා. මම මේ ගැන හරිම සතුටුයි. ඔහු අපිට Human Errors පෙන්වුවා. එහිදී ඔහු ටෙලිවිෂනය තුළ අපිට තිබෙන තහංචි කඩාගෙන යන විධිය පෙන්වා දුන්නා. අපිට ටෙලිවිෂනයේ ඉඩකඩ ලැබෙනවා හරිම අඩුයි. ඒ අවස්ථාව ලැබෙන්නෙ වාණිජමය වශයෙන් නමක් දිනාගත් අධ්‍යක්ෂවරුන්ට. එයින් අදහස් වෙන්නෙ නැහැ අපි වාණිජමය නැහැ කියන එක. මට Outsider නිර්මාණය කරන්න සංකල්පය එන්නෙ 2006 වසරේ. මම ඒ සංකල්පයෙන් එක් පුරුකක් අරගෙන තමයි මේ නිර්මාණය සිදු කළේ.
Outsider නිර්මාණය කරන්න ඇල්බෙයා කැමූගේ පිටස්තරයා කෘතිය බලපෑවාද?
Outsider නිර්මාණය කරන්න මට කැමූගේ පිටස්තරයා සෘජුව බලපෑවෙ නැහැ. නමුත් නිර්මාණකරුවන්ට ඇතැම් දේවල් අවිඥානිකව බලපානවා. මට ඒක කියන්න බැහැ. නමුත් ඒක ප්‍රේක්ෂකයට කියන්න පුළුවන්. මම ඒ දහරාවන් ඔස්සෙ හිතලා නැහැ. ඒ ගැන හිතන එක විචාරකයන්ට භාරයි.
මේ කතාව ගලා යන්නෙ ඉතා මන්දගාමී අයුරින්. එය ඔබ සිතාමතා කළ දෙයක්ද?
මේ නිර්මාණය මම සත්‍යා, මාතා, මිල්ලෙ සොයා වගේ වේගයෙන් ගලායන විධියට නිර්මාණය කළේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ජපානයේ කබුකි සහ නෝ කියන නාට්‍ය කලාවෙන් සිනමාවට උරුම වුණු දේවල් තිබෙනවා. ඒ නාට්‍යයේ ශෛලීන් ඉතා මන්දගාමීයි. ඒ ශෛලිය මේ නිර්මාණයට ගොඩක් පලදායි වෙයි කියා මට සිතුණා. ටෙලිවිෂනයේ ගොඩක් නිර්මාණ ඉතා වේගයෙන් ගලායනවා. මම මේ කතාවට උචිත අයුරින් තමයි එහි වේගය නිර්මාණය කළේ. එය කතාවේ චරිත විසින් ඉල්ලා සිටිනවා කියා මට සිතුණා. නමුත් සටන් ජවනිකා වැනි අවස්ථාවලදී මෙය වේගයෙන් ගලායනවා. ඒ ඒ අවකාශයට උචිත අයුරින් තමයි එය ගලා යන්නෙ.
සිහින දේශයෙන් හා අතර අන්තර් සම්බන්ධයක් තිබෙනවාද?
මම දන්න තරමින් මේ නිර්මාණ ද්වය අතර සම්බන්ධයක් නැහැ. ඕනෑම නිර්මාණකරුවෙක්ගෙ නිර්මාණ අතර යම්කිසි එකිනෙකට දිවෙන සම්බන්ධයක් තිබෙනවා. මම නිර්මාණය කරන නිර්මාණ එකකින් එකකට සපුරාම වෙනස් වෙනවා. මගේ රූමස්සල සහ Outsider කියන නිර්මාණ දෙක අතර යම් යම් සමානකම් තිබෙනවා. ඒ ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ ශානරය අනුව නිර්මාණය වුණු නිසා වෙන්න පුළුවන්. මගේ කෘතියෙන් කෘතිය වෙනස්. ඒක ස්ටැන්ලි කුබි්රක් වැනි අධ්යක්ෂවරයෙක් තුළ අපිට පවා දකින්න පුළුවන්.
මෙම ටෙලිනාට්‍යයේ සයිමනියානු ආඛ්‍යානයක ලක්ෂණ තිබෙනවා. ඔබට මෙය නිර්මාණයට සයිමන් නවගත්තේගමයන් බලපෑවාද?
සයිමන් නවගත්තේගම කියන්නෙ ලෝකයේ සිටිය උසස්ම කතුවරයෙක්. අපේ රටේ පොඩි අභාග්‍යසම්පන්න කමක් තිබෙනවා. අපේ රටේ පරිවර්තන කාර්ය නිසි අයුරින් සිදුවන්නෙ නැහැ. වචනයෙන් වචනයට පරිවර්තනය කර විට එහි නිසි අරුත වර නැඟෙන්නෙ නැහැ. ඔහු ලෝකයට ගියේ නැත්තෙ මේ නිසා. මම වරෙක ඔහුගෙන් ක්ෂීර සාගරය කැලඹිණ නිර්මාණය කරන්න ඉල්ලා සිටියා. ඔහු ඒ වන විටත් එය ආනන්ද අබේනායකයන්ට නිර්මාණය කරන්න දීලා තිබුණා. ඔහුගේ නිර්මාණ අපිට විශාල ලෙස බලපෑවා.
The Outsider කියන්නෙ විද්‍යා ප්‍රබන්ධයක්ද?
ඔව්. මේක විද්‍යා ප්‍රබන්ධයක්. ඒ වගේම මෙහි Fantasy, Thriller, Horror සහ Black Comedy කියන ශානරයන්වල ලක්ෂණ තිබෙනවා. මෙම නිර්මාණයේ මුඛ්‍ය ශානරය Psychological Thriller කියලා පෙන්වා දෙන්න පුළුවන්.
ලාංකික ටෙලිනාට්‍ය කලාවේ නව යුගය පිළිබඳව ඔබේ අදහස?
නව යුගය කියපුවම මතක් වුණේ නවයුගය පත්තරය. මම ඉස් ඉස්සෙල්ලාම යක්කු ගස් නඟින වෙලාව කියන එක දැන ගත්තෙ ඒ පත්තරයෙන්. මේ කතන්දරය Outsider එකේ තිබෙනවා. මම මේ නිර්මාණයට ගත් බොහෝ දේවල් අපේ ගම්වල කතන්දර. ඒව මේ හොලිවුඩ්වලින් ගෙන ආව දේවල් නෙවෙයි. සමහර විට හොලිවුඩය අපෙන් මේවා අරන් ගියාද දන්නෙ නැහැ. ශ්‍රී ලංකාවෙ ටෙලිවිෂනයේ නවයුගය ගැන මට අදහසක් නැහැ. හේතුව අපි හරි පැත්තක් අල්ලගෙන නෙවෙයි නව යුගයකට යන්නෙ. නමුත් මොකක් හෝ අනතුරකින් අපිට හරි දේ අවසානයෙදී හමුවෙනවා. මේක මට වගකීමෙන් කියන්න අපහසුයි.
බූඩි කීර්තිසේන මෙපමණ කලක් ටෙලිවිෂනයෙන් අෑත් වී සිටියේ ඇයි?
මම අෑත් වී සිටියා නෙවෙයි. මම ටෙලිවිෂන් නිර්මාණ කරන්න විශාල සටනක් කළා. මට දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මම මේ අවස්ථාවෙදි සුපුන් රත්නායකට, ස්වාධීන රූපවාහිනියට, ඒ වගේම මෙහි නිශ්පාදනයට දායක වුණු තනුශ්කා ජයවර්ධන සහ නිශාන්ත ඩයස්ට විශේෂ ස්තූතිය පුද කරනවා. මේ වැඩේ ලංකාවේ ටෙලිවිෂනයේ අනාගතය තීරණය කරාවි කියා මට සිතෙනවා. මම නිෂ්පාදකවරුන්ට බොරු මවාපෑම් කරන අධ්යක්ෂවරයෙක් නෙවෙයි. ඒ නිසා මට අවස්ථාව ලැබෙනවා හරිම අඩුයි. මම මේ අවස්ථාවට බොහොම ගරු කරනවා.
ඔබ යම්කිසි කලා කෘතියක් නිර්මාණය කරන විට ඉතා වෙනස් ක්‍රියාවලියක් තමයි අනුගමනය කරන්නෙ. මේ ගැන කතා කරමු?
මම යම්කිසි දෙයක් නිර්මාණය කරන මොහොතෙ තමයි එය අත්විඳින්නෙ. මම එය ලෝකයට මුදාහැරිය පසුව මට ඒ සමඟ සම්බන්ධයක් නැහැ. මම යම් නිර්මාණයක් කරන ක්‍රියාවලිය තුළදි තෘප්තිමත් වෙනවා. ඒක එක්තරා විධියක පර්යේෂණයක්. මම වැඩ කරන ආකාරය ටෙරන්ස් මලික් වැනි සිනමා අධ්යක්ෂවරයෙක් සිදු කරන ආකාරයට සමාන බව පසුකාලීනව දැනගන්න ලැබුණා. ඇතැම් සිනමාකරුවන් රංගන ශිල්පීන් සමඟ ගනුදෙනු කරන විධියක් තිබෙනවා.
මම ඇතැම් අවස්ථාවල රූගත කිරීම් අතරතුර දර්ශන තලයේ නැති රංගන ශිල්පීන්ව පවා කැමරාවට හසුකර ගන්නවා. මේ ඇතැම් අවස්ථාවල සමහර අය පැනලා දුවනවා. මම අහඹු දර්ශන මේ විධියට බොහෝමයක් රූගත කර ගන්නවා. මම පෙර පුහුණු කිරීම්වලට කැමැති නැහැ. කැමරාකරුවාට මම හැම විටම කියන්නෙ ඔබ රංගන ශිල්පීන්ව හසුරුවන්න යන්න එපා. ඔවුන් කරගෙන යන දේ කරගෙන යන්න දීලා ඔවුන්ව ඔබේ කැමරාවට හසු කරගන්න කියලා.
ගිහාන් සචින්ත - මව්බිම