ජීවිත වේදිකාවෙන් බැස ගිය ගුරු තරුව ගැන ලියවුණු සහෘද සටහන් කිහිපයකි මේ.....
“මනෝ ගේ වියෝව මහා දුකකි.එහෙත් මනෝ අකාලයේ මියගියේ නැත.සාපේක්ෂව පරමායුෂ වළඳා ජීවිතය අත් හලේය.ජීවත්ව සිටියදී ඔහු තරම් අනවරතයෙන් ක්‍රියාශිලි වූ මිණිසෙක් අප ප්‍රජාව අතර ඊයේ සිටියේත් නැත.අදත් නැත.හෙට එවැනි ක්‍රියාධරයෙක් බිහිවන්නේ මනෝ ගේ ජීවිතය ආදර්ශයට ගැනීමෙන් පමණි.එහෙම උනොත් මා ඇතුළු අපේ ප්‍රජාව ඔලුව තියෙන්නෙ බෙල්ලේ පාලුවට නො වන බව වටහාගනු ඇත.අපි නම් එහෙම නෑ.අපි හොඳට ඔලුව පාවිච්චි කරනව කියා බොහෝ අය මට දොස් කියනු ඇත.මනෝ ගැන ඇත්ත දැනගන්න අනවරතයෙන් ක්‍රියාකාරකම්වල නියුතු විය යුතුය.හඬ නිහඬ උනේ නැත. මනෝ ගේ නිහඬ වීම හඬක් විය.”
-ඩබ්ලිව්.ජයසිරි
“මනෝ අයියා ගියා. යන ගමන් අපෙන් මෙහෙම ඇසුවා.
“ දැන් කොහොමද පේන්නේ ? මම හරියට සරල රේඛාවක යනවා වගෙයි නේද? ඒත් මම යන්නේ වෘත්තයක. මං ඔබගේ දෘෂ්ටි පථයෙන් ඉවත් වෙනවා. ටික වෙලාවකට පස්සේ ආයෙත් ඒ දිසාවටම ඇතුල් වෙනවා. මගේ ආපසු ගමනක් නැහැ. ඒ මං වෘත්තයක යන හින්දා. මම වෘත්තයක යන බව දැනගන්න මගේ පසු බිමේ තියෙන වස්තුවල චලනය පිරික්සන්න. එකම වස්තුව දෙපාරක් ඔබේ දෘෂ්ටිපතයට හසු වෙනවා නේද? අපි අපි කැමැති දේවල් කැමති විදියට තෝරාගන්න පුරුදු වෙලා. මගේ චරිතය හරියට වටහාගන්න නම් මගේ ඇතුලට පිවිසෙන්නේ නැතුව මගේ පරිබාහිරින් ඉඳගන මාව පිරික්සන්න. මා දිහා බලාගන ඉන්න හැමෝටම කියන්නේ. ”
එහෙම කියාගන මේ පාර ඔහු ගියේ යන්නම.
සුබ ගමන් සහෝදරයා.”
-අසෝක හඳගම
“වේදිකාවේ සුදුර්ලභ මිනිසා
ආචාර්ය ජයලත් මනෝරත්න..
අද්‍යතන ශ්‍රී ලාංකික නාට්‍යකරුවන් අතර කරලියෙහි ජීවමානව සිටී ප්‍රමුඛතම නාට්‍යකරුවා ආචාර්ය ජයලත් මනෝරත්න නම් වන බව කිසිදු දෙගිඩියාවකින් තොරව මම කියමි. මා එසේ කී විට නාට්‍ය කලාවට නෑකම් කියන කිසිවකු මා හා උරණ නොවන්නේ, ආචාර්ය මනෝරත්න නම් නාට්‍යකරුවා පන්සාලිස් වසක් තිස්සේ මේ රටේ වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ විවිධ ඉසව් හරහා සැරිසරමින් පෑ පෙළහර හා සසදා සමතැන්හී තබන්නට සමතෙක් සොයා ගැනීම මේ සමාජයේ උගහට කරුණක් වන නිසා බව පැහැදිලිය.ඒ හෙයින් ඔහු ක්ෂේත්රයේ ප්රකටව ඇත්තේ වේදිකාවේ තුන්වැනි සීනුව ලෙසිනි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් හෙළි පෙහෙළි කළ නාඩගම් රීතිය ඔස්සේ ශෛලිගත නාට්‍ය සම්ප්රදායේ නළුවෙකු ලෙස පිළිපන් ඔහු ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන ආදීන් අත්හදා බැලූ ශෛලිගත නාට්‍ය ශෛලින් මෙන්ම වාර්තා රංග ශෛලින් හරහා තරුණ නළුවකු ලෙස තහවුරු විය. නැටුමෙන් ගැයුමෙන් රංගනයෙන් පෑ සමත්කම් ඔහු තාත්වික වේදිකාව හරහාත් අත්හදා බැලූයේ හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ආදී පුරෝගාමී නාට්‍ය කරුවන්ගේ සමාජ විමර්ශනාත්මක වේදිකා නාට්‍ය නිර්මාණ ප්‍රවාහය හරහාය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුල් ගල තැබූ දේශීය නාට්‍ය සම්ප්රදායේ පුළුල් අවකාශය තුළින් ජන රංගය තෝරා බේරා ගෙන එය තවත් අනු නාට්‍ය සම්ප්රදායක් බවට පත් කළේ දයානන්ද ගුණවර්ධනයන්ය. ඔහුගේ නාට්‍ය සම්ප්රදායේ දිගුවක් ලෙසත් තමන්ගේම වූ අනන්‍යතා සාධක ඔස්සේත් වැඩි දියුණු කරගත් නාට්‍ය සම්ප්රදායක් මනෝ සතුය. ඒ සම්ප්රදායේ ඍජු ප්රකාශනය
‘තල මල පිපිලා’ යයි හඟිමි. ‘ගුරු තරුව’ ‘අන්දරේලා’ ඒ මග ගිය ඔහුගේ අනෙකුත් නාට්‍ය සේ හැඳින්විය හැකි ය. එමෙන් ම මහගමසේකරයන් ගේ කෘතියක් අනුව 'ලෝකය තනි යායක්' නාට්‍ය නිර්මාණය බිහි කරන්නට ද හෙතෙම සමත්විණි.
මනෝරත්න යන් ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නාට්‍යකරුවන් පස්දෙනාගේම නාට්‍යවල හෙතෙම රඟපා ඇත. එය කෙනෙකු ලබන විරල ජයග්‍රහණය කි. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති (මහහෙනේ රීරි යකා නාට්‍යයේ) හෙන්රි ජයසේන එම නාට්‍යකරුවන් පස්දෙනා ය. ඒ හැරුණු කොට ‘වෙස්සන්තර’ ‘මෝදර මෝල’, ‘සොක්රටීස්’, ‘රයිනෝසිරස්’, ‘රතු හැට්ටකාරී’, ‘නරියා සහ කේජු’, ‘ද්විත්ව‘ වැනි නාට්‍යවල ද මනෝ කල රංගනය අද්විතීය ය. මෙවන් එකිනෙකට වෙනස් චරිත රඟපෑ නළුවකු සිංහල වේදිකවේ තවත් දැකිය හැකි ද?
මහගිරි දඹ (1980) මනෝරත්න රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යය වෙයි. ගැමි පහළ මැද පන්තික නාට්‍යකරුවකුගේ ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මෙයින් ඉදිරිපත් කෙරේ. මෙය පසු කාලෙක මනෝරත්න වර්ධනය කරගන්නා දේශීය කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා දැක්වෙන නාට්‍ය මාලාවක පළමුවැන්න ලෙස හැඳින්විය හැකිය.
‘පුත්‍ර සමාගම’ (1985) මනෝරත්නගේ එකම පරිවර්තන නාට්‍යය යි. මෙහි පරිවර්තනය ප්‍රසන්න විතානගේ ගෙනි. එනම් සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සැන්ඩර් වැම්පිලෝව්ගේ
‘ද එල්ඩර් සන්’ නමැති නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි එන සරාෆ්නොව් ද එක්තරා ප්‍රමාණයකට කලාකාරයෙකි. ‘සියලු මිනිස්සු සහෝදරයෝ’ යන ආකල්පය ප්‍රකට කරන ‘පුත්‍ර සමාගම‘ සමාජවාදී සමාජයක වුවත් සාක්ෂාත් කරගත යුතු යථාර්ථයක් පෙන්වා දෙයි. මීට අමතරව,
‘තලමල පිපීලා’ (1988) රංබරණා ගුරුන්නාන්සේ නියෝජනය කරන වැඩවසම් කලාව බිඳ වැටී නූතන ධනේශ්වර කලාව නැඟී සිටින ආකාරය විශද කරයි, ‘ගුරු තරුව‘ (1996) පාසල් පන්ති කාමරයෙන් අනුක්රමයෙන් ඈත් වී යන සාහිත්‍ය ගුරුවරයාගේ කතාව විය,
‘සුදු රෙදි හොරු’ (2008) පැරණි සන්දේශ කාව්‍ය ආකෘතිය අනුගමනය කරමින් ලියැවුණු නාට්‍යයක් විය, ‘කනේරු මල්’ (2000) ගොවියන් දිවිනසා ගැනීම් සමාජ ගැටලුව විනිවිද යන ලෙස ඉදිරිපත් විය.
මේ හැම නාට්‍යයකම ප්‍රධාන චරිතය මනෝ විසින් රඟපානු ලැබීම විශේෂත්වයකි. එසේම මොහුගේ නාට්‍යවල කිසියම් ඒකමිතියක් ද දැක්ක හැකි ය. එකක් දෙකක් හැරුණු කොට අන් නාට්‍ය සියල්ලම ස්වතන්ත්‍ර කෘතිවීම, වාර්තා රංග ශෛලිය භාවිත කිරීම ,(අන්දරේලාගෙන් පසුව) ප්රසාංගික ලක්ෂණ පූර්ව රංගයක් හා ඇතැම් විට අපර රංගයක් ද ඇතුළත් වීම හාස්‍ය හා උත්ප්රාසය මුසු වූ සංවාද රචනය මේ ඒකමිතියට හේතු විය.
මේ සියලු කරුණු මත ආචාර්ය ජයලත් මනෝරත්නයන් පොදු ජනයාගේ ද විද්වත් පාර්ෂදවල ද සම්භාවනාවට පාත්‍ර විශිෂ්ට කලාකරුවෙකි. ඔහු හොඳ සහෘදයෙකි, කවියෙකි, කෙටිකතාකරුවෙකි, නාට්‍ය රචකයෙකි. ඒ සියල්ලම සමතාක්රමනය කරමින් ඔහු වඩාත් ඉස්මතු වනුයේ ප්‍රථම පන්තියේ රංගන ශිල්පියකු හැටියට ය. කලා ලොව විවිධ තරාතිරමේ සමාජ තීරු අතර මනෝරත්නගේ මුවින් කිසිවකු ගැරහීමට ලක්වනු අප අසා නොමැත. එමෙන් ම කිසිවකු විසින් ඔහු ගැරහීමට ලක්කරනු ද දැනගන්නට නැත. මීට අවුරුදු පණහකට සියයකට පමණ පසුව අපගේ මුණුපුරු මිණිපිරියන් විසින් ලංකාවේ ඉතිහාසය සමරන විට ඔවුන්ට ඇස ගැසෙන එක පරිච්ඡේදයක් " මනෝ " ගැන වීම නොවැළැක්විය හැකි ය. ඒ ඉතිහාස කාර්යභාරය මැනවින් ඉටු කිරීම මගින්, අනෙක් ජාතිකත්වයන්ට අශෝභන ලෙස අභියෝග කරන, ඊනියා දේශප්‍රේමින්ට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින දේශප්‍රේමියකු ලෙස "මනෝ" ගැන කියවෙනු ඇත.
අවසාන වශයෙන් ,ආචර්ය ජයලත් මනෝරත්න
යනු දැවැන්තයෙකි. පුද ලැබිය යුතු මහා මිනිසෙකි. උත්සාහයෙන් ශාස්ත්‍ර ලෝකය දිනූ පැනසරු වියතෙකි. නිසඟ කලා හැකියාවෙන් සමන්විත දුලභ මානව සම්පතකි. හිතවතෙකි. ගරු කටයුතු මිනිසෙකි. සරල බවේ චමත්කාරය ජීවමාන කරන්නෙකි.
මනෝ සර් ඔබට නිවන් සුව..”
-ධනංජය නානායක්කාර
“පස්තර්නාක්ගේ ‘ හැම්ලට්’ ; මනෝගේ නමට උපහාරයකි
ජයලත් මනෝරත්න අප යුගයේ විශිෂ්ට කලාකරුවා සහ මේරූ පුරවැසියා කිසිදිනක හැම්ලට් චරිතය වේදිකාව මත රඟ පෑවේ නැත . එහෙත් ජීවිතය තුළ ඔහුගේ තෝරාගැනීම් ඇතැම් විට හැම්ලට් වර්ගයේ දුෂ්කර හා වේදනාකාරී ඒවා වූ බව අපි දනිමු .
ෂේක්ස්පියර් ගේ හැම්ලට් ශෝකාන්තය තමන්ගේ යුගයේ යථාර්ථයන් සමග නින්නාද දෙන අයුර 20 ශතවර්ෂයේ විශිෂ්ටතම කවියෙක් වූ බරීස් පැස්තර්නාක් ගේ නොමඳ අවධානයට හසුවිය. ඔහු ගේ ‘හැම්ලට්’ නාට්‍ය පරිවර්තනය , එම ශෝකාන්තයේ රුසියන් පරිවර්තන අතර විශිෂ්ටතම එක ලෙස එදා මෙදා තුර විද්වත්තු පිළිගනිති.
නොබෙල් ත්‍යාගය හිමිවූ ඔහුගේ දොස්තර ෂිවාගෝ නවකථාවේ අග, ෂිවාගෝ කවි සරණිය ලෙස හැඳින්වෙන කවි 25ක ගොණුවක් තබා ඇත. මේ කවි , පැස්තර්නාක් ගේ වඩාත් පරිණත අවධියේ ලියැවුනු කවි මාලාවක් ලෙස සැලකිය හැකිය . එහිද හැම්ලට් නමින් කවියක් ඇත . දින කිහිපයකට කලින් මේ කවියේ මූලික පරිවර්තනයක් මම කළෙමි. අද පාන්දර අප මිත්‍ර ජයලත් මනෝරත්නයන්ගේ අභාවය ගැන සැලවූ විට ‘ හැම්ලට් ‘ කවිය ඔහුට උපහාරයක් විය යුතු බව මට පෙනුණි. ඔබ මේ කියවන්නේ බොහෝ දුරට අවසන් කළ පරිවර්තනය යි.
මේ කවිය පැස්තර්නාක් ගේ සන්දර්භය තුළ බහාද , අපේ සන්දර්භය තුළ බහාද කියවිය හැකිය.
පැස්තර්නාක්ගේ ෂිවාගෝ ට , හැම්ලට් කුමරා ට මෙන් තමා තෝරාගත යුතු මග ගැන වේදනාකාරී සංශයන් අත්විඳීමට සිදුවේ. - පියාණනි , යන්තමට හෝ නුඹට හැකි නම් /මේ කුසලාන අදට මට නොදී ඉන්නට - දෙපදය තුළින් නිසැකින්ම කෙනෙකුට ගෙත්සෙමෙනි උයනේ ජේසුන්ගේ යාඥාව නින්නාද වනු අසනු හැකිය. අවසාන පැදියේ එන ‘මුසා දුමාරය ගිලියි ලොව , මම තට්ට තනියෙන්’ යන මොහොත පරිවර්තනය සඳහා සංකීර්ණ මොහොතකි . පස්තර්නාක් ගේ කවියේ ඇත්තේ ෆරිසී දුමාරය තුළ ලොව ගිලෙන බවකි. ෆරිසීවරුන්ගේ ව්‍යාජත්වය විසින් දේවමග ගිලගැනීම ජේසු පිළිකුල් කරයි. ( හැම්ලට්, ක්ලෝඩස් රජුගේ බොරුවේ දුමාරයට මුහුණ දිය යුතුය . ෂිවාගෝ චරිතය / පැස්තර්නාක් මුහුණ දෙන්නේ ස්තාලින් ගේ සර්වාධිකාරී ප්රචාරක යන්ත්රයටයි ). මම ෆරිසීවරුන් කෙලින් මතක් නොකොට යන්නට සිතුවේ අපේ පාඨකයන් ගේ සීමාවන් ගැන කල්පනා කරමිනි .
^ ^
හැම්ලට්
මුනු මුනුව නවතියි. පය තබමි රඟබිමට .
මොහොතකට පිට දී දොර උළුවස්සට
අල්ලා ගනිමි ඈතකින් එන පිළිරැව් තුළ
මගේ කාලයේ හෙට කැටෙන ඉරණම
රඟහල දෙනෙති දහස් නෙත් තුළින්
එල්ල කර ඇත රෑ අඳුර මා දෙසට
පියාණනි , යන්තමට හෝ නුඹට හැකි නම්
මේ කුසලාන අදට මට නොදී ඉන්නට
මනාපයි මම නුඹේ මුරණ්ඩු පිටපතට
මට හිමි චරිතය රඟන්ටත් එකඟයි
නමුත් දැන් රැඟෙන්නේ වෙනත් නාටකයක්
ඉතින් මේ චරිතයෙන් මා අයින් කරපන්
ජවනිකා පිළිවෙළ , දනිමි , ලියැවී අවසන්
සමාප්තිය ආපහු හරවන්න නොහැකියි
මුසා දුමාරය ගිලියි ලොව , මම තට්ට තනියෙන්.
දිවි ගමන යනු උයන් සක්මනක් නෙමෙයි
-සුනිල් විජේසිරිවර්ධන
“අපි මනෝව මෙහෙම මතක තියාගමු.
``සම්ප්‍රදායට එරෙහිව නෙමෙයි සටන් කරන්න ඕන ගතානුගතිකත්වයට එරෙහිව..``
-ජයලත් මනෝරත්න -
නුවරින් කොළඹ ආ කපිල ලා දෙදෙනෙකු වූ කපිල අයියාත් (Kapila Kumara Kalinga ) මමත් එකට සිටින මොහොතක මනෝ අයියාව හමුවුනොත් ඔහුට අප "කපිල දෙබෑයන්" විය. ඔහුගේ ඇසුර ඇත්තෙන් ම ආකාර දෙකකින් අපට උත්තේජනයන් සැපයුවා. එක් පැත්තකින් ඔහුගේ කියුම් කෙරුම් අපේ පීඩාවට පත් සිත් සිනාවෙන් ප්‍රතිෂ්ඨාපනය කලා. තවත් පැත්තකින් ඔහු, සිය දැනුම් කෝෂ්ඨාගාරයෙන් බිඳක් ගෙන අපව පොහොසත් කලා.
නිරූපණ කලා ක්ෂේත්රයේ ඔහු පුරාවෘත්තයක්. ඔහුට තිබුණේ අදීන මනසක්. පුළුල් දැක්මක්. බරසාර දැනුමක්. නොනිමි හැදෑරීමක්. ඒ නිසාම ඔහු සිය ක්ෂේත්රයේ දැවැන්තයෙක්.
මිනිසුන් යම් කලකදී නික්මයාම අනිවාර්ය සත්‍යයක්. එය මිත්‍යාවක් කරන්න කිසිවෙකුට පුළුවන් කමක් නෑ. මනෝ අයියා ගේ නික්මයාම යළි වරක් එය සනාථ කලා.
ලංකාවේ නිරූපණ කලා ක්ෂේත්රයේ එක් යුගයක් නිමාවෙමින් යනවා. එක් හැඩයක් ඉතිහාසයට එක්වෙමින් යනවා. ඒ ඉතිහාසයේ මනෝ අයියා තැබූ "ලකුණ" සුවිශේෂයි.
ස්තූතියි මනෝ අයියේ. සන්සුන් සාංසාරික ගමනක් ඔබට හිමියි.”
-කපිල එම්. ගමගේ
“මනෝ...
ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩෙයි
සෙක්කු ගෙදරයි
ඉහලින් අද
සුදු කොඩි එල්ලෙනව..
එදා දැල්වූ
දොළොස්මහේ පහනෙ
මඳ එළියෙන්
සුනිල්ගෙත් ,බුද්ධිගෙත්
දෑස් රතුවෙලා දැක්කා..
තලමල පිපිලා
අසුබ නිමිත්තක් කිව්වට
ලෝකය තනි යායක් කළේ නුඹයි
රන්සිරිල
ගුරු තරුව දිහා විස්සෝපෙන් බලා ඉන්නකොට
සුද්දෙක් කතා කළෙත් නෑ.
පුත්‍ර සමාගම වහල වගේ අද
මනෝ
ඇයි ඒ
බූරුව මහත්තයා
සෙල්ලං නිරිඳු
විතරක්ම නෙමෙයි
අන්දරේලාත් අද දුකෙන්
මනෝ
මගේ කවිය මට දෙන්නැයි
කීවාම
බොහෝ අය නුඹ නමින්
කවි ලිව්ව
එක කවියක් නෙමේ
කවි සීයක් විතර
ඒ තරම්ම ඒ හැමෝම
නුඹට පෙම් කළා
ආයෙ කවදාක
තුන්පත් රටාවක ලස්සන
බලන්නද
සූරිය කුසුම මිලින වෙලා මෙදුකට
මනෝ
රිදුණු තැන් බොහොමයි
දුකයි මනෝ
අැසල සඳත් බලා ඉන්නව
ඊළඟට මොකද වෙන්නේ....
නිවන් සුව මිස වෙන කුමක් අවැසිද නුඹට”
-මංජු නැදගමුව