ටෙලි නාට්‍ය යන රූපවාහිනී වැඩසටහන් ආකෘතිය තුල කලාත්මක දේ වෙනුවට විනෝදාත්මක දේ සහ වෙළඳපොල හි විකිණිය හැකි මාලා කතන්දර පමණක් නිෂ්පාදනය විය යුතුය යන සම්මතය මෑත කාලීනව ස්ථාපිත වන්නේ රූපවාහිනී මාධ්‍ය ව්‍යාපාරික ලෝකය විසින් මෙහෙයවන තැනට පත්වීමත් සමගය.
වාණිජ රූපවාහිනී නාලිකා මෙරට ස්ථාපිත වෙන්නට ප්‍රථම ආණ්ඩුව සතු රූපවාහිනී නාලිකා වලින් කලාත්මක ගණයේ ටෙලිනාට්‍ය ප්‍රමාණයක්, නිශ්චිත කාල වේලාවක් තුල විකාශනය වුණි. නමුත් වාණීජ රූපවාහිනී නාලිකා එය සම්පූර්ණයෙන්ම තමන් ගේ අභිමතය පරිදි වෙනස් කොට වෙළෙන්දන්ගේ උවමනාව පරිදි ඉන්දියානු මාලා නාටක ආනයනයටත්, ඒ අන්තර්ගතයේ ස්වරූපය අනුව දේශීය ව නිපැයුනු නොනිමි නාට්‍ය ආකෘතිය ප්‍රේක්ෂකයා තුල ජනප්‍රිය කරවීය.
මේ හරසුන් මාලා නාටකයන් ගෙන් හෙම්බත්ව, රූපවාහිනියෙන් වියෝ වෙමින් සිටි ප්‍රේක්ෂක තීරුව ඉලක්ක කර ගනිමින් වෙනස් ආකාරයේ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශනය කරන්නට ආණ්ඩුව සතු ස්වාධීන රූපවාහිනී සේවය පසුගිය කාලයේ සිය ග්‍රවන් කාලයෙන් වටිනාම කොටස වෙන් කරණු පමණක් නොව යළි හරවත් දේ සොයන ප්‍රේක්ෂකයා සිය නාලිකාව වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් විය. ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය වසර කිහිපයක සිට සති අන්තයේ සිය හොඳම ගුවන් කාලය වෙන්කරණු ලැබූයේ එසේ වෙනස් ආකාරයේ යම් හරයක් ඇති ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය කිරීම වෙනුවෙනි. රසික සමාජය තුල හා සමාජ මාධ්‍ය තුල සුවිශේෂ කතාබහට ලක්වූ ස්වාධීන රූපවාහිනියේ "කූඹියෝ", "සහෝදරයා" මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය වූ "වීරයා ගෙදර ඇවිත්", "සුදු ඇඳගෙන කළු ඇවිදින්" වැනි ටෙලි නාට්‍ය ඒ ආකාරයෙන් කිසියම් නව රැල්ලක් නිර්මාණය කිරීමට සමත් වූ සන්ධිස්ථානයක් ලෙස සටහන් කළහැකිය. එහි නූතනම ප්රකාශනය වන්නේ "තණමල්විල කොල්ලෙක්" ටෙලි නළුවයි.
මේ ටෙලි නාට්‍ය විකාශය විමට පටන් ගත් පසු ඒ පිළිබඳව රසික සමාජය තුල විවිධ මට්ටමේ කතාබහ ඇති වෙනු දකින්නට ලැබුණි. අන්තර්ජාලයට මෙය මුදා හැරි විට එහි පළමු කොටස මිලියන එකක ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මේ වන විට නරඹා තිබේ. මෙවැනි ටෙලි නාට්‍යයක් සමාජයේ වෙසෙස් අවධානයට හා කතාබහට ලක්වන්නට බලපෑ කරුණු මොනවාද? සියුම්ව එය නිරීක්ෂණය කරණ විට හේතු කාරණා කිහිපයක් වෙන් කර හඳුනාගත හැකිය.
1. මේ කතා පුවතේ ඇති සමාජ දේශපාලන සමීප කම
2. රංගන ක්ෂේත්රයේ දැවැන්තයින් මෙයට ඇතුලත් නොවී තරුණ නවක නළු නිළි කැලක් ඇතුලත්වීම
3. රූපවාහිනී මාධ්‍යයක භාවිතා කළ නොහැකියැයි සම්මත රූප රාමු ඉතා මනරම් ආකාරයෙන් මෙහි භාවිතා කරමින් කෘතියේ කලාත්මකභාවය ඉහළ නැංවීම
4. දෙබස් වල ඇති ප්‍රබල ව්‍යංගාර්ථවත් සජීවී බව හා ප්‍රාදේශීය උපභාෂා ලක්ෂණයන් ගෙන් සමන්විත වීම
5. නවක නළු කැල ගේ ස්වාභාවික ඉහිල් රංගනය
6. සංගීතයේ ඇති නවමු ස්වරූපය
"තණමල්විල කොල්ලෙක්" ටෙලි නාට්‍යයේ කතාව පදනම් කරගන්නේ මොණරාගල තණමල්විල අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශය හා එම ජන ජීවිතයේ දෛනික පදාසයන් ය. නාට්‍ය ඇරඹෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සිය පාසැල් ජීවිතය හමාර කරණ (Drop outs) තරුණ කණ්ඩායමක් පදනම් කරගෙනය. එතැන් පසු ඇරඹෙන ශ්‍රී ලාංකේය අරමුණු විරහිත ගැමි තාරුණ්‍යය මුහුණ දෙන අත්දැකීම් මුලු නාට්‍ය පුරාම ගලායයි. ඔවුන් තම තමන් ප්‍රාර්ථනා කරණ ස්වාධීන ජීවිතයක් ගොඩනැගීම සඳහා වෙර දරණ ආකාරයයි. මෙය තනිකරම නාගරික තාරුණ්‍යයේ විලෝමයයි. ග්‍රාමීය තාරුණ්‍යය පෙළන සකලවිධ ගැටළු හා ප්‍රශ්න වල ඇත්තේ ඒවාටම ආවේනික ස්වරූපයකි. ඒවා උපදින්නේ හා ගැට ගැගෙන්නේ ග්‍රාමීය බව විසින්ම මතු කෙරෙන වාස්තවික තත්වයන් තුලය.
ලාංකීය සමාජයේ ගැමි තාරුණ්‍ය මුහුණ දෙන ගැටලු නාගරික හෝ අර්ධ නාගරික සමාජයන් හි තරුණයා මුහුණ පාන ගැටලු වලට වඩා ඉඳුරාම වෙනස් ය. පාසැල් අධ්‍යාපනයෙන් හැලී යන (School Dropout) මොහොතේ සිට ඔවුන්ට සිය අනාගතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත අඳුරකි. සිය දෙමව්පියන්ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ලය වන කෘෂිකර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යා නොහැකි කාරණා මේ කලාපවල සුවිශේෂ වෙයි. ඉඩම් වල නිත්‍යානුකූල අයිතියක් නොමැති කම, වගාවන් සඳහා අවශ්‍ය නිසි වාරි ජල සම්පාදනයක් නොමැතිවීම, අස්වැන්න අලෙවිය පිළිබඳ ගැටලු, වල් අලි උවදුර ආදී අටෝරාශියක් ගැහැට එයට එදිරිව නැගී සිටී. වෙනත් විකල්ප රැකියා උත්පාදනයක් ද දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල ඇත්තේ නැති තරම්ය. අනතුරුව ඔවුන්ට ඇත්තේ විකල්පයන් දෙකක් පමණි තරුණයා යුද හමුදාවට හෝ වෙනත් ආරක්ෂක සේවයකට බැඳීම හා තරුණිය ඇඟළුම් ක්ෂේත්රයට යොමු වීමයි. මේ කිසි දෙයකට යොමුවිය නොහැකිව ගම තුලම නතර වන වෙනම තරුණ තීරුවක් ද සිටී. ඔවුහු දෛනිකව හෝ තාවකාලිකව විවිධ ඉපයීම් මාර්ග වල යෙදී සිය ජීවිතය සේදි කරගනිති. ඒවා ඇතැම් විට සම්මත නීතියෙන් වැරදි යැයි සම්මත කර ඇති රැකියාවන් ය. තවත් කොටසක් ජනමාධ්‍ය හරහා දැනගත් වෙනත් විකල්ප රැකියා ඉසුරු සොයා නගරයට සංක්‍රමනය වේ. වියළි කලාපයේ මේ සමස්ත තාරුණ්‍යයම එක රූප රාමුවකට ගොනුකර ගැනීමට උත්සාහ කිරීම "තණමල්විල කොල්ලෙක්" ටෙලි නාට්‍ය තුල අප දකින සුවිශේෂත්වයයි.
මෙම ටෙලි නාට්‍යයේ සුවිශේෂත්වය පැනෙන ප්‍රධාන අංග තුනක් වෙයි. ඒ තිර රචනය, කැමරා කරණය හා අධ්‍යක්ෂණයයි. තිර රචක සුසිත විජේමුණි ඉතා හොඳින් මේ ගැමි තාරුණ්‍යයේ සමාජ දේශපාලන ආර්ථික කාරණා යටින් දිවෙන හෘද ස්ඵන්දනය හඳුනාගෙන තිබීම මෙම තිරරචනය සුවිශේෂ වන්නට බලපා ඇති ප්‍රධාන කාරණාවයි. ඔහුගේ අධ්‍යාෂය ඔහු ගේ ම දෙබසකට මෙලෙස ගොනු කළ හැකිය. "අපිට මේ මහපොළොව තේරෙනවා බං. ඒකයි මේ මනුස්සකං...". ඔහුගේ තිර රචනය කොලාජ් සිතුවමක් වැනිය. වෙලාවකට මේ තරුණයින් ගේ ජීවිත ගලා යන ආකාරය ඔහු නිරූපනය කරන්නේ තැනින් තැනිනි. එකකට එකක් සම්බන්ධ නැතැයි සිතෙන සිදුවීම් පෙළ එකකට එකක් සම්බන්ධ ආකාරයට ඇමිණේ. ඒ ඇමුණුම සිදුවන්නේ යටින් දිවෙන පොදු සමාජ ආර්ථික හා දේශපාලන තේමාවන් ගෙන්ය. දෙබස් අඩු, රූපය මූලික මාධ්‍යයක ස්වරූපය හොඳින් හඳුනාගත් තිරරචනයක් රොෂාන් රවීන්ද්‍ර නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා අතට ඔහු ලබා දෙයි.
සිය රංගන භූමිකාවෙන් අධ්යක්ෂණ භූමිකාවට රූපාන්තරණය වන රොෂාන් ඉතා මනරම් ආකාරයට තිරරචනයේ පෙළ යටින් ඇති සමාජ දේශපාලන ආර්ථික කාරණා මතු කරගන්නට සමත් වෙයි. ඒ සඳහා අර්ථපූර්ණ රූප රාමු ඔහු සිය කැමරා ශිල්පියාට යෝජනා කරයි. ඉතා දුර රූප හා මැදි දුර රූප භාවිතා කරමින්, තරුණ රංගන ශිල්පීන් රැසකගේ සැඟව ඇති කුසලතාවන් මිරිකා පෙරා ගන්නට ඔහු සමත්ව ඇති බව සඳහන් කළයුතුමය. එය ලෙහෙසි කටයුත්තක් නොවේ.විශේෂයෙන් දනුක ඩිල්ශාන් වැනි තරුණ රංගන ශිල්පියෙකුගෙන් උපරිමය පෙරා ගන්නට ඔහු සමත්ව ඇති ආකාරය අපූරුය. ඇතැමෙක්ට දීප්ත ගේ (දනුක ඩිල්ශාන්) රංගනය අපූරු නැතැයි සිතෙන්නට පුළුවන. නමුත් ඔහුගේ චරිත යේ ගති ස්වාභාවය මත වැටී ඇත්තේ සිය පියා වන සිත්තර ගුරුන්නාන්සේ ගේ (හේමසිරි ලියනගේ) චරිත ගති ස්වාභාවයන් ය. කළබල නොවීම, නිහඬබව, උපේක්ෂාව, දරාගැනීම මේ සියල්ල ඔහුට කාන්දු වන්නේ සිය පියා ගෙනි. පියාගේ චරිත ගති ලක්ෂණයන්ට සමපාත කළ සැනින් දීප්ත ගේ චරිතයේ ඇති සුවිශේෂතාව මතුවී පෙනේ. සුලෝචනා වීරසිංහ රංගන ශිල්පිනිය අක්කාගේ චරිතය නිරූපනය කරන්නේ පවුල හා ආත්මීයව බැඳුනු තරුණියක ගේ ගති ස්වභාවයන් සිය චරිතයට උරාගනිමින්. ඇවිදීම, භාෂා උච්චාරණය අයියා හා මල්ලි පිළිබඳව ඇති තේරුම් ගැනීම ඇය ඉතා අපූරුවට අවබෝධ කරගෙන ඇති බව මනාව පැහැදිලිය. කිතුලා, පතෝලයා, හීන් අයියා, ඇතුළු තරුණ කණ්ඩායමේ රංගනයන් විටින් විට එකිනෙකා පරයා මතුවන ආකාරයට රොෂාන් විසින් ඔවුන් හසුරුවා ඇති ආකාරය අවධානයට ලක් විය යුත්තකි. එක චරිතයක් හෝ ඉවත් කළ සැණින් එය ප්‍රේක්ෂකයාට බරපතල ලෙස දැනෙන්නේ එබැවිනි.
තිසර තුල්වන් සිය කැමරාව හා ආලෝකකරණය හසුරුවන්නේ මේ වියලි කලාපයේ ජීවිතයේ වර්ණය හොඳින් අවබෝධකරගෙනය. සෑම රූප රාමුවකම උඩින් දිවෙන දූවිලි වර්ණය කතාව හා ආත්මීයව බද්ධ වේ. විශේෂයෙන් ඔහුගේ දුර හා මැදි දුර රූප සත්කාරය ටෙලි නළුවට පුදුමාකාර බරක් ගෙන දේ. අපද මේ ප්‍රදේශයේ කලක් සැරිසරා ඇති බැවින් ඔහු ගේ දුර රූපයන් ගේ රූපමය භාෂාව හොඳින් අවබෝධ කරගත හැකිය. ඇතැම් කැමරා කෝණයන් හි ඇති අපූරු කලාත්මකභාවය මෙන්ම රළු ස්වාභාවය ඒ ජන ජීවිතය හා මනාව බැඳුනකි. රූපවාහිනී මාධ්‍යයේ දුර රූපයෙන් වැඩ ගත නොහැකි යැයි තිබූ සම්මතය නව අධ්යක්ෂවරුන් හා කැමරා ශිල්පීන් විසින් හේතු සහිතව ඉවතලන අපූරුව "තණමල්විල කොල්ලෙක්" ටෙලි නාට්‍යයේ ඇති සුවිශේෂත්වයි. එයට හේතුවක් ද තිබේ මේ එන චරිත සියල්ල සමාජයේ අධිපතිවාදි මතය විසින් උවමනාවෙන් ආන්තිකකරණයට බඳුන් කරල චරිතයන් ය. නැතිනම් දුරින් තබා අවශ්‍ය විටෙක සිය මජර උවමනාවන් සඳහා භාවිතයට ගන්නා චරිතයන් ය.
දේශක සම්පත් ගේ සංගීත නිර්මාණය ගැන යමක් සටහන් කළයුතුය. මතු යම් දිනෙක සුවිශේෂ සංගිත රචකයෙකු ලෙස ඔහු අපට හමුවේවි. එය අනාගත බලාපොරොත්තුවකි.
දේශගුණික කාරණා වලින් ද, රැකියා විරහිත භාවයෙන් ද, විවිධ ස්වාභාවික ආපදාවන් ගෙන් ද, කුල පීඩනයෙන් ද ගැලවී යාමට සිහින දකින අධ්‍යතන තාරුණ්‍යයේ ඛේදය ඉතා සියුම් ව මෙහි නිරූපණය වේ. රූපලාවණ්‍ය සිහිනය හඹායන තරුණියන්, යුද හමුදාවට බැඳීමෙන් සිය පවුලම නිවන් දක්වන්නට සිහින දකින තරුණයින්, ඇගලුම් රැකියාව හරහා ජීවිතය ජය ගන්නට උත්සාහ කරණ තරුණියන්, කොතෙක් නම් අපට හමු වී ඇත් ද ? ඔවුන් කිසි විට බොහෝ ටෙලි නාට්‍ය වල අප දකින සුකුමාර තරුණ තරුණියන් නොවේ. මේ මහපොළොවට දිය වෙන, එහි ශුෂ්ක තම උරාගත්, එයින් දිවා රැයේ පෙළෙන, දේශපාලනය විසින් අනන්තවාරයක් රවටනු ලැබූ තරුණ තරුණියන් ය. රොෂාන් රවීන්ද්‍ර ඇතුළු මේ තරුණ කණ්ඩායම අපට හඬ නගා කියන්නේ "මොන යටිබඩක් ද ඕයි. ඇත්ත ජීවිතය තියෙන්නේ ඔහේ නෙමේ මෙහේ" කියාය. ඔවුන්ගේ ජීවිත වල ඇති එකම බලාපොරොත්තුව "ගවුම හදාගෙන වාඩිවීම" නොව "ජීවිතය හදාගෙන ජීවත්වීම" පමණි. එය තණමල්විල වඩාත් ප්‍රසිද්ධ "කංසා දුමකින්" එහා ගිය සමාජ, දේශපාලන හා ආර්ථික ගැටළුවකි.
© කපිල එම්. ගමගේ
උපුටාගැනීම-කපිල එම්. ගමගේ ෆේස්බුක් පිටුවෙනි