කිමිදියෙමී තනිව - 'ටෙන් තර්ටි' ෂෝ එකේ
ජබු ගැසුවෙමි හොඳට - ඉඩ තිබුණු .ඕ ඩී සී. එකේ
නවසිය අසූවේ නෙළපු - මේ 'ආට් පීස්' එකේ
'තේමාව' සර්ව කාලීනයි - 'වේදනාව' දරන්නත් බෑ වගේ.....
ප්‍රේමය වරදක් ද - මම මගෙන් ඇසුවෙමී
.නැත....නැත..... කියා මම - මට ම කිව්වෙමී
එසේනම්'ගැටුමෙහි කේන්ද්‍රය' කුමක්දැයි ඇසුවෙමි.....
මට - මා කියූ දේ බෙදා ගනු රිසියෙන්,
පහත පද වැල් අමුණමි....
ඇති වීම - නැති වීම පොදුයි නම් හැම දේටම
ප්‍රේමය ම විතරක් ස්ථිර වේද - දෙවියනී
පණ ගැහෙන මිනිසුන් ගැහැනුන් වන අපේ
රුචි අරුචි කම් නිරන්තරයෙන් වෙනස් වේ
දේශපාලන දැක්මවල් හෙම නම්
ප්‍රති විරුද්ධ අන්ත වලට ද තල්ලු වේ.....
එතකොට ප්‍රේමය සහ ලිංගිකත්වය ගැන අදහස විතරක් ම
'කොන්ක්‍රීට්' වෙන්න පුලුවන් ද.....
'බැහැ......,- එහෙත් එහෙම විය යුතු යැයි
කසාද නීතියත් - සමාජ සම්මතයත් අපට අණ කර තිබේ.....
හෙණ ගහපන් නීතියට.... සම්මත හදන සමාජයට......
එතකොට දරුවන්ට මොකද වෙන්නෙ.....?
ඒ ගැන පොලීසියේ දේශනය - චිත්‍රපටියෙහි තිබේ
නරඹන්නියන් - පොලීසියෙ අදහස 'මුදුණින්' ගත්ත නම්
උන්ට කබලෑ දෙයියන්නෙ පිහිටයි අනේ.....
ඇත්තට ම දරුවන්ගෙ ප්රශ්නය තමයි
වැඩිපුරම නිස්සංකටත් - මිරැන්ඩාටත් දැනුනෙ
හිස් දිග'කොරිඩෝ' දිගේ - පඩි පෙළේ සහ පහළ සෙල්ලම් මිදුලේ
ඔවුනොවුන් වැඩිපුරම දැක්කෙ ළමයින් - ඒක හරි සංකේතාත්මකයි......
ළමයින් වෙනුවෙන් හැම දේම කැප කළ යුතු ද දෙමාපියන්.....?
ආදරය ලිංගිකත්වය සහ ජීවිතයත් - එහෙත් ඒ සාධාරන නොවේ.....
අපි හැමෝගෙම 'වීක් පොයින්ට්' එක තමයි ළමයින්
නිස්සංකත් මිරැන්ඩාත් - (දරු)සෙනෙහස පුපුරා සිහිනය මියගිය
පණ නැති හංස පූට්ටුවක් වුණේ ඒකයි - අන්තිමට
සංකේතාත්මක යුගල ඇඳට - හංස පූට්ටු කැටයමකුත් තිබ්බනං තමයි ලස්සනගගග
ඒ ඇඳ වටේ ඉනි වැටකුත් තිබුණ නං - කියන්න වචන නෑ - ඒ ගැන.....
මා වඩාත් සසල වුණ තැන,
ඩග්ලස් ගේ වේදනාව - නිස්සංකගෙත් වේදනාව වෙන එක......
ඒක නං තනිකර 'පිරිමින්ගෙ කුහක කම'......
එක සිගරට්ටුවක් බෙදාගෙන උරතහැකි පිරිමින්ට
එක ගෑනියෙක් බෙදාගෙන .උරන්න. බැරි කම.....
ඒ අතරෙ සමන්තියි - මිරැන්ඩයි - එක මේසෙක
ලං ලංව - මොකක් හරි මුණු මුණුවක
ඒක දරාගන්න ම බැරි කමටද - නිස්සංක වැටුණෙ දොර ළඟ
ඩග්ලස් මිරැන්ඩාව ඉල්ලද්දි - නිස්සංක ඩග්ලස්ට පිටුපෑවට
ඉල්ලුවා නම් සමන්ති මිරැන්ඩාගෙන් - එයා ආපහු දෙනවා නිස්සංකව
මං හිතන හැටියට අන්තිම රූප රාමුවට කලින් එකේ
ගොළු කර තිබුණෙ - ඒ දෙබස.....
හංස විලේ මේ දර්ශනය දකිනකොට
හංස සංදේශෙ දර්ශනයකුත් සිහිවුණා මට
'ඒ කාලෙ විලක'නෑව මිනිහෙකුගෙ ඔලුවේ
'වෙන ගෑනියෙක්ගෙ' කකුලේ තිබුණු .ලතු. ගැවුණම
මිනිහගෙ(කසාද) ගෑනිගෙ ඇහැට කඳුළු ත් ඉණුවලු
අහා.... සංදේශ කාරයා කැමති එහෙම වෙනවට ද......?
පල්ලෙහා තියෙන්නෙ - උන්නාන්සෙගෙ කවිය.....
'අඟනක පය ගෑ ලතු සිරසෙහි වැකි
මිනිසෙකු ගඟ දිය කෙළයෙන් නොවැළකි
අනිකෙක ඇස රතු විය ලතු නොම වැකි
ඇය සක එරතට වෙන දිය කරණෙකි.....
හංස සන්දේශයෙන් - නැවතත් හංස විලට එබුණොත්......
චිත්‍රපටි කතාව - යථාවට සමපාත කළොත්
මං කැමති,
‘මිරැන්ඩා-නිස්සංක ප්‍රේමය‘ නිදහසේ ගලාගෙන යනවට
සමන්තියි ඩග්ලසුයි ඒ ගැන දැන දැනත් නොදන්නා සේ ඉන්නවට
අන්තිමේදි දෙන්නට දෙන්න එපා වෙලා ආපහු හැරෙනකොට
'නොගොස් එන්නට බැරිය - නෑවිත් යන්නට බැරිය' කිය කිය
ඩග්ලස් මිරැන්ඩාවත් - සමන්ති නිස්සංකවත් බදාගන්නවට......
අ'න'වසන් - අවසානයක් තියෙන .හංස විලේ. - මා කළේ එවන් අවසානයක්.....
පොලීසියට 'බම්බු ගහගන්න‘ කියන්න.....
අමාරු පරිකල්පනයක් තමයි - ඒ වුණත් මං කැමති ඒ විදියට
එකිනෙකා පිහියෙන් ඇනගන්නවට වඩා - ඒක ලස්සන නැද්ද.....
ඩග්ලස් නිස්සංකට කිව්වෙ
- දාලා ගියාට පස්සෙ මිරැන්ඩා ගැන ආදරේ වැඩි වුණා කියලයි
මිරැන්ඩා නිස්සංකට කිව්වෙ
- ඩග්ලස්ට අතක් ඉස්සුණු දවසෙ එයාට ආයෙම ඩග්ලස්ට ආදරේ හිතුන කියලයි.....
ඇයි අපට බැරි විවාහය වෙනුවට ආදරේ සමරන්න
අපේ දරුවන් වුණත් ඒ සංස්කෘතියට හුරු කරවන්න
ඇයි අපට බැරි - 'හෙමින් සැරේ පියා විදාගෙන' වළාකුළු මතට ගොඩවෙන්න
යහනකට නඟිනවා වෙනුවට - අහසට ම නැඟගන්න
යහනෙහි සීමිත බව පරයමින් - අහසෙහි අසීමිත බව විඳගන්න
දීප්ති කුමාර ගුණරත්නගෙන් ණයට ගන්න වුණා,
අන්තිම වචන පහ......
'මං කියන එක තේරෙනවද දන්නෑ'....
- සුරේඛා සමරසේන