සීරීස් බලන්න වෙලාවක් නෑ වගේම වෙලාවක් හදාගෙන බලන්න තෝරගන්න සීරීස් එක ටැමිල් එකක් වෙන්න කොහොමටවත්ම ඉඩක් නෑ. නමුත් කීපදෙනෙක්ගෙම විශේෂ අවධානයකට ලක් වූ බව පෙනුණ නිසාම Sweet Kaaram Coffee ගැන හොයල බලන්න හිතුණා. රෝඩ් ට්‍රිප් එකක් බව දැක්කා. එහෙම්මම ට්‍රේලරය බැලුවා. ඇහුණා එක වචනයක්, "ධරම්ශාලා". ආයෙ ඉතින් වෙන හේතු ඕන වුණේ නෑ මේක බලන්න තෝරගන්න. ඒ එකම වචනය නිසාම බලන්න ගත්තා. මාව දන්න අය දන්නවා ඇයි ඒ කියලා.
බලන්න කැමති අයට මම යෝජනා කරනවා ට්‍රේලරය බලල ඉන්න කියලා. ඊටපස්සෙ සීරීස් එක ඉවරකරලා ආපහු ට්‍රේලරය බලන්න කියලා. ඇත්තටම අපිට ට්‍රේලරයෙන් කතන්දරයම ඉදිරිපත් කරල නේද කියල හිතෙයි, ඒ වගේම බලන්න ආසාවක් ඇතිවෙයි. බලල ඉවරවෙලා ආපහු ට්‍රේලරය බැලුවම දැනෙයි කොච්චර ලොකු ජර්නි එකක්ද අපි කම්ප්ලීට් කරේ කියලා. මේක ඇත්තටම මාරම ජර්නි එකක්. පරම්පරා තුනකට අයත් කාන්තාවන් තුන්දෙනෙක් එකතුවෙලා කරපු හිතුවක්කාර ක්‍රියාන්විතයක්. තමන් කාන්තාවන් වූ නිසාම පවුල ඇතුළේ, එකම වහලක් යට වෙසෙන පිරිමින් දෙදෙනාගෙ අවතක්සේරුවට ලක් වීමේ වාඩුව පිරිමසාගැනීමක් වගෙත් කියල කියන්න පුළුවන්.
මේ තුන්දෙනාටම මේ ගමන යන්නට එකම හේතුවක් බලපාපු බව පේනවා නමුත් ආච්චි නම් රහසක් රකිනවා. එතකොට එතන කුතුහලයක් ජනිත වෙනවා. ආච්චී, එයාගෙ ලේලි සහ මිණිපිරිය ලෙසින් වර්ග කළොත් පරම්පරා ත්‍රිත්වය නියෝජනය වෙනවා. හැබැයි නූතන පරම්පරාවට අයත් ක්‍රිකට් ක්‍රීඩිකාවක් වූ මිණිපිරියටත් සෑහෙන්න ඉදිරියෙනුයි ආච්චි අම්මාගෙ ආකල්පයන් පිහිටන්නේ. මැද්දේ ඉන්නවා ලේලිය හෙවත් පවුලේ ගෘහණිය, බිරිය, මව. එයාගෙ කර උඩ වැඩිපුර වැටෙන පුරුෂාධිපත්‍යයේ බර තමා ගමනේ මූලික වස්තු බීජය වෙන්නේ. ආච්චි හෙවත් නැන්දම්මා විසින් ගමන සංවිධානය කරනකොට දුව හෙවත් මිණිපිරිය විසින් රියැදුරු වගකීම භාරගෙන ගමන ඉදිරියට රැගෙන යනවා.
ඉදිරියට යන්න යන්න මෙයාලා අත්විඳිනා නැවුම් අත්දැකීම් ඉතාම රසවත්. ප්‍රේක්ෂකයා විදිහට අපිත් ඒ චාරිකාවේම කොටසක් වෙලා. අතරමඟදී මෙයාලට හමුවන සහ මෙයාලගෙ චාරිකාවට එකතුවෙන අය අතරේ අපිත් ඉන්නවා. තුන්දෙනාටම තුන්දෙනා පැතූ අස්වැසිල්ල මේ ගමන තුළ දී හිමිවෙනවා. ආච්චි නම් රහස් අරමුණක් කරා පියමනින බව පෙනෙන නිසා කුතුහලය කියන දේ වෙනමම පවතිනවා. මුලු චාරිකාවම වර්ණවත් කරනා රූපකරණය සුවිශේෂීයි. ඊටම එකතු කරන්න පුළුවන් සංගීතයත්. රෝඩ් ට්‍රිප් එකක් ජීවයෙන් පුරවාලන්නට ඒ සම්මිශ්‍රණය සෑහෙන්න බලපානවා. ඊටත් පස්සේ චාරිකාවේ මඟීන්. මේ තුන්දෙනාම පොදුවේ සම ස්ථාන හිමිකරගන්නවා මේ කතාව ඇතුළේ. හැමෝම තමන්ගෙ නිදහස සොයා යෑම කියන දේ තුළ අත්විඳි පීඩනයක් තියෙනවා. ඒ ඔස්සේ තමන්ගෙ ජීවන චාරිකාවේ තමන් මුහුණ පෑ අසීරුකම් බෙදාහදාගන්නටත් අලුතින් හිතන්නටත් වැරදුණ තැන් හදාගන්නටත් මේ චාරිකාවම ඉවහල් වෙනවා.
ඒ සියල්ලක්ම සමඟින් නිර්මාණකරුවා විසින් මේ තිදෙනාව භාවිතා කරලා ප්‍රේක්ෂකයාව රැගෙන යන්නේ වෙනස්ම චාරිකාවක. ඒක මීට පෙර ඉන්දියානු සීරිස් හෝ චිත්‍රපටයකින් හමු නොවූ නැවුම්ම අත්දැකීමක් වනු ඇති බවට සහතිකයි. විශේෂයෙන්ම ටැමිල් ලැන්ග්වේජ් එකෙන් හැදුණ එකක් වීම තුළ අමුතුම ආකර්ශනීයත්වයක් තිබෙනවා. එනිසාම අනිවාර්යයෙන්ම මේ විචිත්රවත්වය නැරඹිය යුතුමයි කියල ඉහළින්ම නිර්දේශ කරනවා.
- ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People වෙත කළ සටහනක් ඇසුරෙන්