පෘතුගාල ලේඛකයෙකු වූ ජෝසේ කරමාගෝගේ පියැසි කවුළුව (Skylight) කෘතිය මිනිස් ජීවිතයේ සංකීර්ණතා වෙත තියුනු බැල්මක් හෙළූ සාහිත්‍යමය කවුළුවකි.
ලිස්බන් නගරයේ තට්ටු නිවාසයක ජීවත් වෙන පවුල් හයක් වටා ගෙතෙන අන්දරය ගොඩනැගෙන්නේ සරල රේඛීය කතාවකට වඩා කවුළු හයකින් ඒ නිවෙස් වෙත ජීවත් වෙන මිනිසුන්ගේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳව බලන අයුරකිනි. එකම තට්ටු නිවසක ජිවත් වන ඔවුන්ගේ ජීවිත තුළ අඳුරු ආගාධ පැවතීම තට්ටු නිවාසය තරම්ම ඔවුන්ගේ ජීවිතවල පොදු සාධකයක් වී තිබේ.
ජීවිතය පිළිබඳව වගේම අනාගතය පිළිබඳව ඇති බලාපොරොත්තු විරහිත සාංකාව, ආර්ථික පරිපීඩනය, වෛවාහක ජීවිතය තුළ ඇති අරුත් සුන් බිඳ වැටීම් වැනි නාගරික පහළ මධ්‍යම පාන්තික ජීවිතවල පිළිඹිබු වන සමාජීය තතු පිළිබඳව පාඨකයාට නව මානයක් ලබාදෙන්නට කතුවරයා සමත් වී ඇත. මෙම අත්දැකීම් ලිස්බන් නගරයට පමණක් හුදකලා අත්දැකීමක් නොවන්නේ ලංකාවේ නාගරික තට්ටු නීවාසවල ජීවත් වන මිනිස්සුන්ගේ ජීවිත අතරද මීට වඩා විශාල අන්තරයක් නොමැති නිසාය.
ඒ බැව් මාද අත්දකින ලද්දේ දෙමටගොඩ ආශ්‍රිතව පවතින තට්ටු නිවාසවලට කීප වරක් ගොඩවෙන්නට අවස්ථාව ලද හෙයිනි. ඒ නිසාම කතාව වඩාත් සජිවී සසල අත්දැකීමක් ලබා දෙයි. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තිත කෘතියෙන් සිංහලට කරන ලද මෙම පරිවර්තනයද ඉතා සාර්ථක වූවකි. සුමට ලගන්නා සුළු බස් වහරක් පවතින නිසාම අයාසයකින් තොරව කියවාගෙන යා හැකිය. ඒ නිසාම පරිවර්තිකාවගේ වෑයමද ඉතාමත් අගය කළ යුතු කාර්යයකි.
ජනක මහේෂ් - FB