lan englan tam

පාසල් දරුවන්ට ලබාදෙන ලිංගික අධ්‍යාපනය: 'ළමයින්ගේ කුතුහලය අවුස්සලා තේරුමක් නැහැ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්විට්සර්ලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම පාසල්වල ප්‍රාථමික අංශයේ සිට ක්‍රමවත්ව ආරම්භ කරයි.

බටහිර රටවල තත්ත්වය එසේ වුව ද, ශ්‍රී ලංකාවේ පාසල් තුළ ළමුන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබා දෙනවා ද? යන කරුණ සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි.

අවුරුදු 12 වයස් සීමාවේ සිට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට මීට වසර 06 කට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුණතා ඒකකය සහ අධ්‍යාපන අමත්‍යංශය එක්ව සකස් කරන ලද "හතේ අපේ පොත"සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ විවාදයක් උද්ගත වූයේ එම පොත කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුවද කියවීමට නුසුදුසු බවට මත පළවීමත් සමගයි.

එවැනි පසුබිමක අද වන විට ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම වැදගත් ද? එසේ නොවේ ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

'පෙර පාසලේ ඉඳල ම දැනුවත් කරන්න අවශ්‍ය යි'

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනෝමා සිරිවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ළමුන්ට පෙර පාසල් අවධියේ සිට ම ලිංගික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය බව ය.

''ලිංගික අධ්‍යාපනය කියන එක ළමයින්ට දැනුවත් භාවයක් ඇති වයසේ ඉදලම, එතකොට පෙර පාසැල් අවධියේ ඉදල ම ඔවුන්ගේ වයසට ගැලපෙන ආකාරයට ලබා දෙන්න ඕන කියන මතයේ තම යි ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි ඉන්නේ.''

''කියන්න කනගාටුයි දැන් තියෙන ප්‍රවණතා එක්ක ඉතා කුඩා වයස් සීමාවල ඉන්න ළමුන් පවා ලිංගික අපයෝජනයන්වලට ලක් වෙලා අපට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.''

''මේ තත්ත්වය මත දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඉතා වැදගත්. දෙම්ව්පියන්ට වුණත් මේ දේ ගැන ළමයින්ට කියලා දෙන්න පුළුවන්.''

''අධ්‍යාපන අමාත්‍යාංශය එක්කත් මේ ගැන අපි කතා කළා. දැනට 06 වසරේ ඉඳලා ලිංගික අධ්‍යාපනය ගැන යම් කරුණු ප්‍රමාණයක් ඇතුළත් කරලා තිබුනත් මේ ගැන පෙර පාසැල් කාලයේ ඉඳලා ඒ ඒ ළමයින්ගේ වයස් මට්ටමට තේරුම් ගන්න පුළුවන් විදිහට දැනුවත් කිරීම සිදුකිරීම වැදගත්," ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පැවසුවා ය.

මෙරට පාසල් තුළ ළමුන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබා දෙනවා ද යන කරුණ සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි.

ගත වූ වසර 5 තුළ වාර්තා වූ ළමා ලිංගික අපයෝජන

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියට අනුව 2020 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම් 3,083ක් වාර්තා වී තිබේ.

එමෙන්ම මෙම කාල සීමාව තුළදී ළමුන් 627 දෙනෙකු දූෂණයට ලක්වී ඇති බව එම වෙබ් අඩවියේ ඇති දත්ත අනාවරණය කරයි.

ගතවූ පස් වසර තුළ වාර්තා වූ ළමා අපයෝජන

ලිංගික අතවර

බරපතළ ලිංගික අපයෝජන

RE 2

දූෂණයට ලක්වූ

RE 3

'පොතේ තියෙන ටිකවත් උගන්වන්නේ නැහැ'

අද වන විට පාසල්වල 07 ශ්‍රේණියේ සිට ඉහළට ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැනුවත් කිරීමට ඇතුළත් කර ඇති විෂයන්හි මූලික හරය වී ඇත්තේ, 'ප්‍රජනන සෞඛ්‍යය' බවත් ලිංගික අධ්‍යාපනය යනු ප්‍රජනන සෞඛ්‍යයට එහා ගිය විෂය පථයක් බවත් ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්හි පබා දේශප්‍රිය බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.

''මොකද Sex එඩියුකේෂන් කියලා කිව්වම් එක පාරටම හිතට එන්නේ සෙක්ස් කරන හැටි උගන්නන එකක්, එහෙමත් නැත්නම් කොන්ඩම් දාන හැටි කියලා දෙන්න හදනවා වගේ අදහසක් තමයි ලංකාවේ ගොඩක් අයගේ ඔලුවට එන්නේ.''

''නමුත් ඇත්තටම සෙක්ස් එඩියුකේෂන් ගැන යුනෙස්කෝ එකේ ජාත්‍යන්තර මාර්ගෝපදේශ පවා ලබා දීලා තියෙනවා ලිංගික අධ්‍යාපනය ගැන. පැහැදිලිවම එතැනදී ආපිට පේනවා නමට ලිංගික අධ්‍යාපනය කියලා තිබුණට එතන තියෙන්නේ යහපත් විදිහට ජීවත් වෙන්නේ, තෘප්තිමත්ව ජීවත් වෙන්නේ, හිංසන වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද වගේම හිංසන වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන. යහපත් සම්බන්ධතා හදා ගන්නේ කොහොමද කියන එක ගැන එතන සඳහන් වෙනවා.''

''නමුත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන උගන්වන්නේ ප්‍රජනන සෞඛ්‍ය කියලා 07 වසරේ ඉදලා ඉහළට. ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් එක්ක එකතු වෙලා දරුවෝ හදාගන්න වගේ අධ්‍යාපනයක් තමයි තියෙන්නේ දැනට. ගැහැණු ළමයි සහ පිරිමි ළමයි අතර තියෙන වෙනස්කම් වගේ ගොඩක් ප්‍රජනන ක්‍රියාවලිය මුල් කරගත්ත දේවල් තමයි තොරතුරු පොත්වල ඇතුළත් වන්නේ.''

''නමුත් පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය ගැන බැලුවම දෙන්නෙක් එකතු වෙලා දරුවෙක් හදන තැනින් එහාට යන දෙයක්. අද වෙද්දී ඉස්කෝලේ පොතේ තියෙන එක පවා පාසැලේදී උගන්වන්නේ නැහැ.''

''කොහොමද යහපත් සම්බන්ධකමක් පවත්වාගෙන් යන්නේ කියන තැන ඉදලා සියලුම ලිංගික දිශානතියන් ගැන මෙතැනදී ළමයින්ට නිසි දැනුවත් වීමක් ලබා දීමයි වැදගත් වන්නේ.' ඇය පැවසුවාය.

BBC S 2'නිසි අවබෝධයක් නැතිකම නිසාම ගොඩක් ළමයින්ව ලිංගික අපයෝජනයන් වලට ලක් වනවා. ඒක අපි වළක්වා ගන්න ඕන.'අධ්‍යාපනඥ පද්මිණි රණවීර පැවසූවාය

 'ළමයින්ගේ කුතුහලය අවුස්සලා තේරුමක් නැහැ'

පාසැලේ සියලුම විෂයන් ගැන ළමුන්ට අධ්‍යාපනය ලබා දෙනවා සේම ලිංගික අධ්‍යාපනය පිළිබඳව ද අවබෝධයක් ලබාදිය යුතු බවත්, එය ළමුන්ගෙන් සඟවා තැබීමෙන් සිදුවන්නේ ඔවුන් තුළ කුතුහලයක් ඇතිවීම පමණක් බවත් අධ්‍යාපනඥ පද්මිණි රණවීර බීබීසී සිංහල වෙත පැවසුවාය.

'ළමයින්ට ලිංගිකත්වය ගැන වගේම තමන්ගේ ශරීරියේ ආරක්ෂාව ගැන දැනුවත් වීමට කියලා මෙච්චර කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් කරලා තියෙන්නේ අමතරව අරන් කියවන්න කියලා පොත් ලබාදීම වගේ උත්සාහයක් දරලා තියෙන්නේ.'

'ඒක සමහර වෙලාවට සාර්ථක වෙලා නැහැ. අධ්‍යාපන පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමක් කරලා නැහැ. එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. විෂයක් තුළ ලිංගික අධ්‍යාපනය ඉගැන්වීම වඩාත් හොදයි කියලයි මගේ පෞද්ගලික අදහස.''

'ළමයින්ට කුඩා අවබෝධයක් ලබා දෙන්න අවශ්‍යයි කුඩා කාලයේ ඉදලා ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් ගැන කියලා දෙනවා වගේ ලිංගික ඉන්ද්‍රියන් ගැන කියලා දෙන එක වටිනවා. ඊට පස්සේ තේරුම් ගන්න වයසට එද්දී ලිංගික අධ්‍යාපනය ගැන කියලා දෙන්න පුළුවන්. මේක හංගලා කියන්න ඕන දෙයක් නෙමේ. මේක විෂය මාලාවටම අනුබද්ධ කරලා එන්න අවශ්‍ය ඕන දෙයක්.''

''එහෙම වුණාම තමයි ළමයින්ට වුනත් දෙයක් ගුරුවරයෙක් ගෙන් අහලා දැන ගන්න උනන්දුවක් ඇති වෙන්නේ.''

''අපි ළමයින්ට බොරු කිය කිය ඉදලා ළමයින්ගේ කුතුහලය අවුස්සලා තේරුමක් නැහැ. අනිත් විෂයන් ගැන දැනුම ලබා දෙනවා වගේ ලිංගික අධ්‍යාපනය ගැනත් ළමයින්ට අවශ්‍ය දැනුම අපි ලබා දෙන්න ඕන.''

''නමුත් නිසි අවබෝධයක් නැතිකම නිසාම ගොඩක් ළමයින්ව ලිංගික අපයෝජනයන් වලට ලක් වනවා. ඒක අපි වළක්වා ගන්න ඕන.'' අධ්‍යාපනඥ පද්මිණි රණවීර පැවසූවාය.

මේ අතර කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක දියණියක් සිටින මවක් වන හර්ෂණී බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ පාසල්වල 09 ශ්‍රේණියෙන් ඉහළට හෝ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කළ යුතු බව ඇයගේ අදහස බවයි.

''මේවා හංගන්න නරකයි. දරුවන් දැන ගන්න ඕනේ එයාලා ලොකුවෙනවා, කවදා හරි මව්පියන් වෙනවා කියන එක.

එතකොට වෙන්න ඕනේ ඒ දරුවෝ නිසි වයසට ආවහම එවැනි අත්දැකීම් ලබා ගන්න ඕනේ කියන එක එයාලගේ ඔලුවට දෙන එකයි. ලිංගික අධ්‍යාපනය කියන දේ දරුවන්ගෙන් හංගන්න ගියහම එයාලා ඒවා හොරෙන් කතා කරන්න පුරුදු වෙනවා.

තමන්ට බස් එකේදී පාරෙදි දෙයක් වුනත් ගෙදර ඇවිත් කියන්නේ නැහැ ලැජ්ජාවට.

පාසලේදී දෙයක් වුනත් බයට ගුරුවරුන්ට, ගුරුවරියන්ට කියන්නේ නෑ.

ඒක නිසා මව්පියන් ගුරුවරුන් දරුවන් සමග මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරලා දරුවන්ව නිසි පරිදි දැනුවත් කරනවා නම් එයාලට ඒක මැජික් එකක් වෙන්නේ නෑ. හංගන්නේ නෑ. ඒක නිසා පොඩි ළමයින්ට නැති වුනත් අවුරුදු 13 න් 14 න් පස්සේ ළමයින්ට හරි ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් දෙනවා නම් කාලානුරූපීයි'' ඇය සදහන් කළාය.

කතෘ - දිනුක් හේවාවිතාරණ

මූලාශ්‍රය - BBC News සිංහල ඇසුරිනි

Back to top
Go to bottom