lan englan tam

පුවත්

නිලාර් එන්. කාසිම් යළි මුල් පුටුවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ සමස්ත සාමාජිකත්වයේ ඒකමතික තීන්දුවෙන් සංගමයේ සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා යළි පසුගියදා පැවති එහි නිලවරණයේදී පත් කරනු ලැබිණි.

සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක, රාජ් තිල්ලෙයාන්පලම්, චින්තක ජයකොඩි, අමිත් ලියනගේ සහ නිසල් ගමගේ යන මහත්වරුන් පත් වූහ.
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අරභයා ප්‍රබල මැදිහත් වීමක් කරන මෙම සංවිධානයේ සාමාජිකත්වය හොබවන්නේ සංගීතවේදීන්, ගේය පද රචකයන් හා සංගීත ප්‍රකාශකයන් වේ.
එහි වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වුණේ පසුගිය මස ඔක්තෝබර් 10 වැනිදාය. සමස්ත සාමාජිකත්වය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව පත්කරගනු ලැබුවේ එහිදීය.
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකට වන අතර ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට අනුව රටකට එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වේ. ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පමණි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධික්ෂණය කෙරේ. ඊට අමතරව මෙම සංගමය cisac හෙවත් සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත කර්තෘවරුන්ගේ සමාජවල ජාත්‍යන්තර සම්මේලනය සමඟ මෙන්ම WIPO හෙවත් ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි.

Back to top
Go to bottom