lan englan tam

පුවත්

හෙමින් ගමන් යන මහා ගාන්ධර්වයාගේ දියනිය ගැන මිතුරියකගෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුභාෂි නාලිකා ජයතිලක (නාලිකා රාජපක්ෂ) යනු කුඩා කල සිට කලා ක්ෂේත්‍රයේ ඇසූ පිරූ තැන් දන්නා බොහෝ කලා පෞරුෂ ඇසුරේ තවමත් කටයුතු කරන වර්තමානයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකි. මීට පෙර දිනක වික්ටර් රත්නායකයන්ගේ දියනිය වන සිය මිතුරිය ගැන ලියා තැබූ ඇය හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවගේ දියනිය සුභානි අමරදේව සමග ඇති මිතුදම අනුව ඇය ගැනද මෙසේ සටහන් කර තිබුණාය.

සුභානි අමරදේව කීවම ඇය ව කවුද නාඳුනන්නෙ?
හෙළයේ මහා ගාන්ධර්වයාගේ දරුවො තුන්දෙනාම ඉතාම නිහතමානී යි. අනූ පහේ දි මගේ සැමියාගේ ඒෂියන්ස් බෑන්ඩ් එක ආරම්භක සංර්ශනයේ පොල් තෙල් පහන් සිල දල්වා අපට ආශිර්වාද කළේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් සහ ඒ මැතිණිය. එදා සිට ඇසුරට පත් වුණ අමරදේව පවුලේ හැමෝම සුපිරිම මනුස්සකම් ඇති හරිම ආදරණීය ඇත්තෝ.
සුභානි අක්කා ඉන්දියාවේ ඉගෙනීම් කටයුතු නිමකර ලංකාවට ආවට පස්සෙ මට අමරදේව මහත්තයම අඳුන්වා දුන්නා..

"දුව සුභාෂි, මගේ දුව සුභානි දෙදෙනාම සුන්දර සුභ කාන්තාවො."

අමරදේව මහත්තයා සුභානි අක්කාගේ දේශීය ගැමි ආරේ ඉතාම ප්‍රශස්ත වූ දුර්ලභ හඬ ගැන බොහෝ දේ මා එක්ක කතා කර තිබෙනවා මා ඔහු සමග කළ පුවත්පත් සාකච්චාවලදි. ඔහු හඳුන්වා දුන් මේ සුන්දර සුභ කාන්තාව වගේම ඇයගේ ආදරණීය සැමියා අජිත් අයියා ත් හරිම සොඳුරු ගති ගුණ ඇති කලාකාරයෙක් ඔහු ගැනත් මට ලියන්න බොහෝ දේ තිබෙනවා. එය මදක් පමා කොට මුලින්ම සුභානි අක්කා ගැන කතා කරමුකෝ.

තාත්තාගේ ගීත ගයන පුත්තු බොහෝ හිටියත් තාත්තාගේ ගීත ගයන දියණිවරු අතර සුභානි අමරදේව ප්‍රමුඛ බව ලීවාට කවුරුවත් තරහා වෙන එකක් නෑ.ස්වර අලංකරණ මෙන්ම ජන ගී රසය ගීතයේ උසස් බව උදෙසාම සිය ස්වර්ණමය හඬින් ඔප කරන සුභානි අක්කා ගයන තාත්තාගේ ගීත හරිම රසවත්.

ඒ තරම් ලෝකයක් වටිනා , ලැබිය හැකි වටිනාම ඇගයීම් සම්මාන සියල්ලම පාහේ දිනා ගත් අමරදේවයන්ගේ දරුවෝ බොරු අහංකාරකම් බොරු මවා පෑම් වලින් ගවු ගණනක් ඈතයි. දක්ෂකම් වලින් අති විශිෂ්ඨ යි . සුභානි අක්කා ගැනත් දවසක ජාතියේ පිනෙන් පහළ වූ අපේ රන් ස්වරය යැයි ලියන්නට දිනක් එලැඹේවි ඇගේම ගී තුළින්.
'මගේ සුභානි "අමරදේව මහතා හැමවිටම ඇය ගැන කීවේ එහෙමයි. අති විශිෂ්ඨ ජන ගී ගායිකාවක් මෙන්ම නර්ථන ශිල්පිණියක් වූ විමලා අමරදේව මැතිණියගේ තුරුණු වියේ සුන්දරත්වය එලෙසින්ම රැඟෙන ඒ හැකියාවත් මවු කිරෙන්ම ලැබ සංගීත ක්ෂේත්‍රයේ වැදගත් එහෙත් සෙමින් ගමනක යෙදෙන මගේ සුභානි අක්කා බොහෝ දුරක් යනු ඇති. ඇගේ ඒ ගමනට හදවතින්ම සුබ පැතුම්. ආදරෙයි සුභා අක්කේ...හැමදාමත්.

නාලිකා රාජපක්ෂ

Back to top
Go to bottom