එක්දාස් නවසිය අනූ අටේ වගේ කාලෙක, එතකොට අපි අට වසරෙ.
දවසක් ඉස්කෝලෙ ඇරිලා කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට එද්දි,පරණ ෂොපින් කොම්ප්ලෙක්ස් එක ඉස්සරහ,(පරණ කිව්වට ඒ කාලෙ ඒක විතරයි තිබුනෙ) පාර අයිනෙ අලුත් ගුවන්විදුලි නාලිකාවක් ප්‍රවර්ධන වැඩසටහනක.
විවෘත බස් රථයක් වගේ වාහනයක තරුණ නිවේදක නිවේදිකා යුවළක් පොඩි පොඩි ප්‍රශ්න අහනවා,පුංචි පුංචි තෑගි දෙනවා,විහිළු කරනවා.
අලුත් දෙයක් දකින දකින තැන නවතින්න හිතෙන ඒ වයසෙදි ඔය වගේ තැනක නවතිනව කියන එක කියන්න දේකුත් නෙවෙයිනෙ.ගෙදර යාම පෑකට හමාරකට පැත්තකින් තියපු මායි මගෙ යාළුවයිත් එතන නතර වුනා.
අහපු මොකක්හරි ප්‍රස්නෙකට උත්තරයක් දීලා යාළුවටත් පෑනක් හම්බවුනා.
ගුවන්විදුලි නාලිකාවෙ නම "සවන රේඩියෝ"
මතක විදිහට ඒ පටන් ගත්තුම අලුතම.
ඒ නිවේදකයා අමතක කියන වචනෙ කිවවෙම "අමතක්" කියලා..
ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.මතක් වෙනවා,මතක් කලා කියල කියන්න පුලුවන් නම් ඒකට ඉස්සරහින් අ යන්නක් වැටුනහමත් ඒ ඌරුවටම කියන්න බෑ කියල එකක් නෑනෙ.
දැන් ඒ රේඩියෝ චැනල් එක නෑ.හැබැයි අදටත් කවුරුහරි සිංහල වචනයක් සම්මත නොවන ආකාරයට උච්චාරණය කරනකොට මට අර නිවේදකයගෙ අපූරු 'අමතක්' එක මතක් වෙනවා.
කීර්ති පැස්‍කුවල් එක්ක මුලින්ම ධම්‍මිකා බණ්ඩාර ගයපු කවිකාරියේ සිංදුවෙ ධම්මිකා කියන්නෙ
දෙවි සාමිනේ මන්දා අනේ
හිත මාගේ "චංචල්" වෙලා
කියලා..සමහර විට ඒ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියලා දුන්න විදිහ වෙන්න ඇති.නැත්නම් මුල් ගායනයෙදි පද සමබර වෙන්න ධම්මිකා චංචල,චංචල් කලා වෙන්නත් ඇති.
චංචල් කියලා වචනයක් සිංහල භාෂාවෙ නැතත්,කවිකාරියේ දි නම් ඒ චංචල් බව ඇහෙද්දි දැනෙන මිහිරියාව හල් කිරීම නැතුව නිකම්ම චංචල වුනා නම් දැනෙන් නෑ..
නිරෝෂ් ගුණසේකර විසිනි