lan englan tam

පුවත්

පළමු සිනමා අත්දැකීම ඉතාම මිහිරි මතකයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නෙතූ ගම්ලත් නාළිකා කිහිපයක

ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වන සුන්දර රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ එකිනෙකට වෙනස් චරිත මැවූ නෙතු මේ වෙද්දී සිනමා රංගනයට ද වරම් ලබා තිබෙනවා. ඇයගේ කුලුඳුල් සිනමා රංගනය රැගත් චිත්‍රපටය වන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ගෞතම බුද්ධ මාතායි. ඇය ගැනයි මේ කතාබහ.

බුද්ධ මාතා තුළින් ඔබ සිනමා ප්‍රවේශය ලබාගෙන තිබෙනවා. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ

මම මේ වෙද්දී දායක වෙලා තියෙන්නේ ඉතාම සීමිත ටෙලි නිර්මාණ කිහිපයකට පමණයි. ඉන් එකක් දෙරණ නාළිකාවේ විකාශය වන තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන “සිත නිදි නැහැ“ ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යය තුළින් සුනිල් සර් මාව දැකලා විමල් දේශප්‍රිය මහතා හරහා තමයි එතුමාගේ චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගත්තේ.

ඔබට ලැබුණු චරිතය ගැනත් කියමු?

මට ලැබුණේ සුන්දරී නන්දා කියන චරිතය. සුන්දරී නන්දා කියන්නේ ප්‍රජාපතීගේ සහ සුද්ධෝධනගේ දුව. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ සහෝදරිය.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිනමාපටයකින් සිනමාවට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

රංගන ශිල්පිනියක් වෙනවා කියන බලාපොරොත්තුව මට ඇති වුණු කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න. නමුත් පසුගිය කාලසීමාව තුළ වැඩිපුරම ආරාධනා ලැබුණේ ටෙලි නිර්මාණවලට. රංගනය කියන්නේ එකම විෂයක් වුණාට එහි භාවිතාව මාධ්‍යයෙන් මාධ්‍යට වෙනස් වෙනවා. සිනමාව තුළ අපි කරන රංගනය ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂකයාට ළඟාවීමට සමත් වෙනවා. එතැනදී මම බලාපොරොත්තුවෙන් හිටියා ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ සහ අත්දැකීම් බහුල අධ්‍යක්ෂවරයෙක් යටතේ මුලින්ම වැඩ කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා. මම නොහිතපු වෙලාවක මට මේ ආරාධනාව ලැබුණා. ඒ ගැන මම සතුටු වෙනවා. ලාංකේය සිනමාවේ පමණක් නෙවෙයි ලාංකේය සාහිත්‍යයේ සුවිශේෂී ලකුණක් වුණු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා යටතේ මගේ ප්‍රථම සිනමා රංගනයට පිවිසීම සහ එතුමා යටතේ අධ්‍යක්ෂණය වීමම මගේ ජීවිතේ මම ලබපු වාසනාවක් කියලයි හිතන්නේ.

පළමු සිනමා අත්දැකීම කොහොමද ජීවිතය ට එකතු වුණේ අමතක නොවන මතකයන් ඇති?

රූපගත කිරීම්වලට සහභාගි වෙන්න කලින් නම් ලොකු බයක් දැනුණා. මොකද මේ මගේ පළමු සිනමා අත්දැකීම නිසා. හැබැයි මම ලොකේෂන් එකට ගියාට පස්සේ සුනිල් ආරියරත්න සර් ඇතුළු සියලුම දෙනා නවකයෙක් වුණු මට ඉතාම මිත්‍රශීලිව සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන චන්න දේශප්‍රිය මහතා සහ ලංකාවේ ඉන්න ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයෙක් වුණු විමල් දේශප්‍රිය මහතාව මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා ඉතාම සුහදව රංගනය සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දුන්නා. ඒ එක්කම වේශ නිරුපණයෙන් ප්‍රියන්ත දිසානායක, කොණ්ඩා සැකසුමෙන් හැරුන් ෂයිඩින්, ඇඳුම් නිර්මාණයෙන් රමේෂා ඔශිනි සහ සංක. සමිත් වත්සලා ඇතුළු සියලුම නිෂ්පාදක කණ්ඩායම රංගනය සඳහා අවශ්‍ය පරිසරය සකසා දුන්නා. ඒ එක්කම මගේ සහෝදර ශිල්පීන් කිසිම බියකින් තොරව මට මගේ රංගනය සිදු කරන්න අවශ්‍ය පරිසරය සකසා දුන්නා. ඒ නිසා මගේ ජීවිතේ පළමු සිනමා අත්දැකීම ඉතාම මිහිරි මතකයන් විදිහට ජීවිතේට එකතු වුණා. ඒ සුන්දර මතක මගේ මතකයේ හැමදාම තියේවි.

ඉන්දියානු ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?

ඒක ඇත්තටම විශේෂ අත්දැකීමක් වුණා. ඒ අය ලොකු අවබෝධයකින් හිටියා තමන්ට ලැබුණු චරිත ගැන. ඒ නිසාම ලොකු වෙහෙසක් කැපවීමක් කළා තමන්ගේ කටයුත්ත හරියටම කරන්න. මට එයාලා එක්ක ඉතා සුහද ගනුදෙනුවක් ඇති කර ගන්න පුළුවන් වුණා. අපි ඔක්කොම වගේ සම වයසේ අය. මම ඇතුළු සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ඔවුන්ටත් ලොකු සහයෝගයක් ලැබුණා. රූප ගත කිරීම්වලින් පස්සේ අදටත් අපි සමීප මිතුරන් සේ ගනුදෙනු කරනවා.

මේ කාලයේ පුංචි තිරයේ නිර්මාණ මොනවද?

දැනට දෙරණ නාළිකාවේ විකාශය වන සිත නිදි නැහැ ටෙලි නාට්‍යය සහ සිරස නාළිකාවේ මීමැස්සෝ නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව තව ටෙලි නිර්මාණයක් විකාශය වෙන්න නියමිතව තියෙනවා.

නිළියක් වීම සහ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ

සමාජයේ ජීවත්වෙන විවිධ මිනිසුන්ගේ ඒ ඒ අවස්ථාවන්වල හැසිරීම මොන වගේ ද කියලා හිතලා බලන්න විතරක් නෙවෙයි කරලා බලන්නත් ලැබීම තමයි මම රංගන ශිල්පිනියක් ලෙස ලබන ලොකුම අත්දැකීම. අපේ පරිසරය තුළ සිදුවෙන සමහර සිද්ධි නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒ තුළින් ප්‍රේක්ෂකයාගේ මනස වින්දනීය විදිහට පුරවන එක තමයි ඕනෙම නිර්මාණකරුවකුගේ අරමුණ. ඉතින් මම තෝරා ගත්ත මාධ්‍යය ඇතුළේ මම රංගනය ගැන වැඩිදුර පුහුණු වෙමින් වඩාත් හොඳ නිර්මාණ කිරීමට උත්සාහ කරනවා. පෞද්ගලිකව ගත්තම මට මගේ රංගන ජීවිතේ ගැන අරමුණක් තියෙනවා. ඒ අරමුණ වෙත මම හිමින් යමින් මගේ බලාපොරොත්තු ළඟා කර ගන්නවා. ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා මම තෝරා ගත්ත මාධ්‍යය ගැන. මගේ උපාධිය තියෙන්නේ වෙනත්ම අංශයකින්. හැබැයි මම ආසාවෙන් ආදරෙන් තෝරා ගෙන තියෙන මාධ්‍යය රංගනය. ඒ නිසා අද මම නිළියක් වීම ගැන සතුටු වෙනවා.

දිගටම රඟපාන්නද කැමැත්ත?

ඇත්තටම මම මේ වෙනකොට මගේ වෘත්තීය විදිහට කරන්නේ රංගනය.

පෞද්ගලික ජීවිතේ ගැන විස්තර මොනවද?

මට ඉන්නේ අම්මා තාත්තා මල්ලි සහ මගේ ආච්චි සීයා. එතකොට මගේ අම්මා හෙදියක්. මගේ තාත්තා ආමි එකේ ඔෆිසර් කෙනෙක්. මේ වෙද්දී මම උපාධිධාරිනියක්. ඒ වගේම තමයි රංගනය කරන ගමන් මගේ උසස් අධ්‍යාපන කටයුතු තව දුරටත් කරන්න බලාපොරොත්තු වෙනවා.

බුද්ධ මාතා චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ට මොන වගේ ඇරැයුමක් ද කරන්නෙ?

විමුක්තිය හොයාගෙන ගිය ගොඩක් පුතුන් පිටුපස හිටපු අම්මලා සහ ඒ අම්මලා කරපු කැපකිරීම් ගැන ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ බොහොම අඩුවෙන්. එහෙම අම්මලාගේ පූර්වාදර්ශයක් වුණු ප්‍රජාපතී ගෝතමියගේ පැත්තෙන් බුදුමඟ දකින්න ආදරෙන් ආරාධනා කරනවා දෙසැම්බර් 10 වනදා සිට එන්න ගෞතම බුද්ධ මාතා බලන්න.

 අනුෂා රණසිංහ (රසඳුන)
 
Back to top
Go to bottom