lan englan tam

පුවත්

අපේ වින්‍යාසයට නටපු චන්දනගේ වින්‍යාසයට 'කුවේණි'හි අපි නටනවා; නර්තනවේදී රවිබන්දු විද්‍යාපති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"අපේ රංග වින්‍යාසයට, අපේ අධීක්ෂණය යටතේ මීට කලකට පෙර නටපු නැට්ටුවෙක් චන්දන. අද ඒක අනිත් පැත්ත සිදු වෙලා තියෙනවා. ලෝකෙ සිදු වෙනවා මෙහෙම දේවල්. අද චන්දන අපිව අධ්‍යක්ෂණය කරනවා. ඔහුගේ රංග වින්‍යාසය අපි නැටිය යුතුයි. අභියෝගය එක පැත්තකින් අපි දැන් තරුණ අය නෙවෙයි. මම මිනිත්තු 10ක් විතර මේ චරිතය ඇතුළේ වේදිකාවේ රැඳී ඉන්නවා. ඒ මිනිත්තු දහයේ මුල් භාගය සජීවී නළුවෙක් එක්ක නෙවෙයි රඟන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ලක්ෂිත වාගේ තරුණ ජවසම්පන්න නළුවෙක් එක්ක නටන්න තියෙන්නේ. මට තියෙනවා ලොකු අභියෝගයක් මේ තීව්‍රතාව පවත්වා ගැනීම මම වේදිකාවෙන් ඉවත් වන තැන දක්වා."

මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තනවේදියකු වන රවිබන්දු විද්‍යාපති වේ.
වර්තමානයේ කුසලතා පූර්ණ නර්තනවේදියකු වන ආචාර්ය චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදනය කරනු ලැබ නුදුරේදී වේදිකාගත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ඓතිහාසිකබව විස්තර කෙරෙන කතා පුවතක් හැටියට Noir Queen Kuweni මුද්‍රා නාට්‍ය නිර්මාණයේ රවිබන්දු විද්‍යාපති නරතනවේදියා පඬුවස්දෙව් රජු හැටියට නිර්මාණයට දායක වීමට නියමිතය.
මුද්‍රා නාට්‍යය එළඹෙන වසරේ ජනවාරි 03 වැනිදා සවස 06ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරේ.
කුවේණිය ලෙස නිරංජනී ශන්මුගරාජා රංගනයෙන් දායක වන අතර මලය රජ ලෙස මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් සම්බන්ධ වන නිර්මාණයේ කිත්සිරි රජ - රංජිත් ප්‍රියංග, සදනිදු රජ - සාරංග විමුක්ති, විජය රජ - නරේන්ද්‍ර චතුරංග, විජය කුමර - රසිදු ලක්ෂාන්, කුවේණි මව රම්බා - කෞශල්‍යා මධුවන්ති, කුවේණි පියා - දුමින්ද දර්ශන යනාදීහු චරිත නිරූපණය කරති. ඉන්දීය කුමරිය ලෙස දෙවංගි වික්‍රමසිංහ වේදිකාවට හඳුන්වා දීමට නියමිතය.
මුද්‍රා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය - පේශල මනෝජ්, රංගවස්ත්‍රාභරණ නිර්මාණය - නුපති නිලම්බර, පිටපත සහ නර්තන අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ විසින් සිදු කරනු ලබයි.

Kuwenii

Back to top
Go to bottom