lan englan tam

පුවත්

ඒ කාලෙත් සුනීරට හැමෝම ආදරෙයි; එයා කැමැත්ත ඇහුවෙ මගෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජන්ප්‍රිය ගායක සුනීර සුමංගගේ ප්‍රිය බිරිඳ තරුෂිකා දෙව්දුනී සුනීර සමග සිළුමිණ - රසඳුන අතිරේකයේ සංවාදයකට එක්ව තිබිණි.

එහිදී සුනීර මෙන්ම දෙව්දුනීද සිය ප්‍රේමය පිළිබඳව රසවත් සිදුවීම් හෙළි කර තිබූ අතර එම කොටස පහතින් පළ වේ.


“මට ඉන්නෙ අම්මයි, තාත්තයි මල්ලිලා දෙන්නයි. මං ඒකල ඉඳන් කඳානෙ පදිංචියට ඇවිත් ද මැසනෝද් කෝලේජ් එකට ඇතුළත් වෙන්නේ උසස් පෙළ කරන්න. මං කළේ ඩාන්සින්. සුනීර කළේ මියුසික්. සුනීර පොඩි කාලෙ ඉඳන්ම ගිය පාසල. මොකක් හරි උත්සවයක් තියේ නම් සුනීරට අනිවාර්යයෙන්ම සින්දු කියන්නම වෙනවා. ඒ වගේම මටත් නටන්නම වෙනවා. ඒ කාලෙත් ඉස්කෝලේ හැමෝම සුනීරට හරි ආදරෙයි. යාළුවන්ගේ මාර්ගයෙන් විටින් විට එයා මගෙන් කැමැත්ත ඇහුවා. මුලදි මං ලොකුවට ගත්තෙ නෑ. මගේ කැමැත්ත ගන්න එයා නොයෙක් දේවල් කළා. එයාට ස්ටඩී ලීව් දීල තියෙද්දිත් හැමදාම ඉස්කෝලෙ ඇවිත් මියුසික් රූම් එකට වෙලා ඉන්නවා. මම නටද්දි දවසක් එයාට ගයන්න වුණා. එදා එයා දසුන් මධුශංකගේ සුන්දරයි ජීවිතේ- ඔබ ළඟින් සිටී නම් මගේ ආදරේ සින්දුව කිව්වේ මගේ පැත්තට අත දික්කරලා. මගේ යාළුවෝ කිව්වා ඔන්න තරූ ඔයාට තමයි ඒ කියන්නේ කියලා. ඒත් මං නොදැනුණා වගේ හිටියා. හැබැයි එදා මට එයාව දැනුණා. තව දවසක් විභාගයක් දවසේ අපේ පේපර් එකම එයාටත් ලියන්න කිව්වා. විභාගෙ ඉවර වෙලා යද්දි මෙයා මගේ ළඟින් පොඩි කොළ කෑල්ලක් තියලා ගියා. මට බලන්නත් බයයි ටීචර්ලට අහුවුණොත් කියලා. බලද්දි ඒකෙ මාව ඇඳලා. ඊටත් කලින් දවසක තෑගි බෙදා දීමේ උත්සවයකට එයාගෙ අම්මලත් ඇවිත් හිටියා. මං ඩාන්සින් අයිටම් එකකට ඇඳුම් මාරු කරන් එද්දි මෙයා අම්මට මාව පෙන්නලා කිව්වලු මේ මං බඳින්න ඉන්න ගෑනු ළමයා කියලා. අම්මා කියලා කෝ ඉතින් එයා මාත් එක්ක කතා කළේවත් නෑනෙ කියලා. ඒ කාලෙ මං දන්නෙවත් නෑ මෙයාගෙ හිතේ තියෙනවා කියලා. මං වගේම එයත් එයාගේ අම්මට හැමදේම කියනවා.

සුනීර කියන්නේ හරිම සෙන්සිටිව් කෙනෙක්. ඒ නිසා මං හරි බයයි දෙයක් කියන්න. කොහොමහරි උසස් පෙළ අන්තිම කාලෙ තමයි අපි සම්බන්ධයක් විදිහට පටන් ගත්තේ. ඒ කාලේ මට ෆෝන් එකක්වත් තිබුණෙ නැති නිසා ලොකුවට කතාබහක් තිබුණෙ නෑ. සුනීර අයියාගේ ඩ්‍රීම්ස්ටාර් ෆයිනල් එක දවසේ තමයි මං ෆෝන් එකක් ගත්තේ. එයා දිනලා රාගම ග්‍රවුන්ඩ් එකේ තිබුණ සංගීත ප්‍රසංගය බලන්න අපේ ගෙදර හැමෝම ගියා. එදා එද්දි තාත්තා කිව්වා දැන් ඉතින් තව පාර්ටි තියේවි. ඒවට ගෙවල් ගානෙ යන්න එහෙම තියාගන්න එපා කියලා. එදා තමයි දැනගත්තේ තාත්තටත් මොකක් හරි දැනිලා කියලා. අම්මා නම් මුල ඉඳන්ම දැනන් හිටියා. එදා මට හිතුණා එයා දැන් ජනප්‍රිය කෙනෙක් නිසා මේක කෙරෙන්නත් පුළුවන්. නොකෙරෙන්නත් පුළුවන්. මොනදේ වුණත් මං එයාට හදවතින්ම සුබ පතනවා කියලා. සම්බන්ධය පටන් ගන්න කොටම මං සුනීරට කියල තිබුණේ තාත්තා අකමැති වුණොත් මට මේක බ්‍රේක් කරන්න වෙනවා කියලා. එදා මං ගෙදර ගිහින් එයාට මැසේජ් එකක් දැම්මා. මට ආයෙම එන්න බැරි වේවි මෙහෙම ෂේප් එකේ ඉමු කියලා. ඊට පස්සේ එයා කිව්වා මං ඇවිත් ගෙදරින් අහන්නම් කියලා. කිව්වත් වගේ මගේ යාළුවොත් එක්ක ඇවිත් එයා තාත්තගෙන් ඇහුවා. ඒ නිසාම එදා තාත්තාගෙ කැමැත්ත ලැබුණා. ගෙදරට ඇවිත් හමුවෙන්න එදා අවසර දුන්නා. ඒත් එක්කම කිව්වා ඔයාගෙ සංගීත වැඩ කරගන්න. ඉදිරියටත් මේක තිබුණොත් අපි බලමු කියලා. ඔය අතරේ මට තවත් ප්‍රපෝසල් ආවා. ඒ අයත් අහල තිබුණා මේක කෙරේවිද කියලා. අපේ ගෙදරින් කියල තිබුණේ අපි බලමුකෝ ඒක ඒ දෙන්න හොයාගත්ත දෙයක්නේ. කෙරුණොත් එහෙමයි. නැත්නම් අපි බලමු කියලා. අපි නිතර හමුවෙලා කතාබහ කරන තත්ත්වයක් නොතිබුණත් අපි දෙන්න සම්බන්ධය කන්ටිනිව් කරගෙන ගිය විදිහට මට විශ්වාසයක් තිබුණා ඉදිරියටත් මෙයා විශ්වාසවන්තව මගේ ළඟ ඉඳීවි කියලා.”

සංවාදය : නාමලී ගමගේ

Back to top
Go to bottom

Popular News