lan englan tam

පුවත්

සමහර චරිත රඟපෑවා කියලා හිතෙද්දි පුදුම හිතෙනවා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මැණිකේ අත්තනායක වේදිකා, ටෙලි, සිනමා සියලු මාධ්‍යන් තුළ කැපී පෙනුණ රංගන ශිල්පිනිය මෙවර රසඳුන - සිළුමිණ සමග සාකච්ඡාවට එක්ව තිබිණි.

තාරක වික්‍රමසේකර සමග පැවැත්වූ සංවාදයේදී ඇය පවසා තිබුණේ තමන් රඟපෑ සමහර චරිත රඟපෑ බව හිතෙද්දී පුදුම හිතෙන බවය.


"අද කල්පනා කරද්දි සමහර චරිත මම රඟපෑවා නේද කියලා මට ම පුදුම හිතෙනවා තමයි. නමුත් ඉතින් මුල ඉඳලා ම රඟපෑම පිළිබඳ හොඳ අත්තිවාරමක් මගේ ජීවිතයට ලැබුණා. මගේ පියා ඉතා ම දක්ෂ සොකරි රංග ශිල්පියෙක් වූ විල්සන් අත්තනායක යි. මගේ අම්මා රන් මැණිකේ යි. අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනයි. අපේ පවුලේ කුමාරි අත්තනායක අක්කාත් වේදිකා නාට්‍ය කලාවට රංගනයෙන් දායක වුණා. අපි ඉපදී හැදී වැඩුණේ මහනුවරයි. පුංචි කාලේ ඉඳල‍ා නාට්‍ය බැලුවා. ගෙදරත් ගැයුම් වැයුම් තිබුණා. ඒ නිසා දෙමව්පියන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මම මුලින් මහනුවර ඩී. එස්. සේනානායක පාසලෙනුත්, පසුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙනුත් ඉගෙනීම් කටයුතු කළා. ධම්ම ජාගොඩ ශූරීන්ගේ රංග ශිල්ප ශාලිකාවට 1976දී සම්බන්ධ වෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඉතා හොඳ පුහුණුවක් ලබා ගත්තා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කාලයක් විදේශගතව සිටියා. ඒ කාලේ එතුමාගේ නාට්‍ය ගැන බැලුවේ ධම්ම ජාගොඩ මහතායි. එහෙම ඉන්න අතරේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වුණා. මනමේ නාට්‍යයේ මනමේ කුමරියගේ චරිතය වසර ගණනාවක්ම මම රඟපෑවා. ඒ අතරේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, වෙස්සන්තර, ලෝමහංස, මහාසාර නාට්‍යවලත් මම ප්‍රධාන චරිත රඟපෑවා. දික්තල සහ කාලගෝල නාට්‍යයේ දික්තලාගේ චරිතයත්, කැලණි පාලමේ රූපවතීගේ චරිතයත් නිසා විවිධ විදිහේ චරිත රඟපාන්න මට ලැබුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා, රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල නාට්‍යවල මම රඟපෑ චරිතත් බොහෝ ජනප්‍රිය වුණා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වූ චරිත නිසා මගේ රංගන ජීවිතයේ මුල සිට ම වේදිකාව කියන්නේ රංගනය අභ්‍යාස කරන්න මට ලැබුණු හොඳ ම අවස්ථාව යි. ඒ කාලේ අද වගේ සැප පහසුකම් තිබුණේ නැහැ. නමුත් අපි අපට පැවරෙන රංග කාර්ය උපරිම කැපවීමෙන් සිදු කළා. ඒ කැපවීම තමයි අපේ සාර්ථක බවට හේතු වුණේ. අලුතෙන් මේ ක්ෂේත්‍රයට එකතු වන දූ දරුවන්ටත් මම කියන්නේ රංගන ශිල්පය හොඳින් ප්‍රගුණ කරලා, තමන් කරන දේ ගැන හොඳ අවබෝධයකින් සහ කැපවීමකින් යුතුව යොමු වෙලා, උපරිම ශක්තියෙන් කාර්ය ඉටු කරන්න කියා යි. තමන්ගේ නිර්මාණයක් තමන් දකිද්දී තමන්ට ලැබෙන සතුට වෙන මොන දේකින්වත් ගන්න බැහැ. ඒක මහා පුදුමාකාර සතුටක්ම තමයි." මැණිකේ අත්තනායක එසේ පවසා තිබිණි.

Back to top
Go to bottom