lan englan tam

පුවත්

විකුණන්නේ සෙක්ස්ද, මියුසික්ද කියන දේ තාත්තා නිසා හිතට ගත්තා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය 20 දා පත්තර මහගෙදර නත්තල් සිරියෙන් හැඩවූයේ කිතු උපත සමරන්නටය. ලේක් හවුස් කතෝලික සංගමය මඟින් සංවිධාන කරන්නට යෙදුණු නත්තල් බැති ගී ප්‍රසංගය සහ නත්තල් සැමරුමට සැවොම ලහි ලහියේ සූදානම් වූහ. කිතු උපත සමරමින් බැති ගී ගයන්නට ලේක් හවුස් නත්තල් බැති ගී කණ්ඩායම සැරසෙද්දී එයට ශක්තියක් වීමට අපූරු තැනැත්තියක් පැමිණියාය. ඇය ගැන විශේෂ වර්ණනා අවශ්‍ය නැත. ඇය මුළු රටම හඳුනන දක්ෂ ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලකයි.

ඇය ලේක් හවුස් ආයතනයට ඇතුළු වූයේ සුපුරුදු සුන්දර සිනහවත් සමඟිනි. බැති ගී ප්‍රසංගය ආරම්භ වීමට මත්තෙන් සරසවිය සමඟ කතාබහකට එක්වීමට ඇය අමතක නොකළාය. ඇය අප එදා දුටු මරියසෙල් ගුණතිලකමය. ඈ සතු සුන්දරත්වය, කරුණාවන්ත බව එසේමය. නත්තල් සමයේ අතිශයින් කාර්‍යබහුල වුවත් ලේක් හවුල් ආයතනය, සරසවිය අමතක නොකිරීම පිළිබඳ ඇයව අගය කළ යුතුය.

"හැමදාම වගේ මේ කාලයේ මම ඉතා කාර්‍යබහුලයි. ඒත් ලේක් හවුස් එක අමතක කරන්න බැහැ. ඒ ආරාධනාව ඉවත දමන්නටත් බැහැ. උත්සව සමය නිසා සංගීත ප්‍රසංග, ආයතනවල සාද, නත්තල් සැමරුම්වලට ආරාධනා තියෙනවා. අවුරුදු කීපයක් තිස්සේ මම ලේක් හවුස් නත්තල් බැති ගී ප්‍රසංගයට සහභාගී වෙනවා.මම ඒක හරිම ආසාවෙන් භාර ගන්න දෙයක්."

මරියසෙල් ගුණතිලක යනු සංගීත පිළිබඳ මනා දැනුමකින් සහ තමා කරන දේ ගරුත්වයක් ඇතිව, ප්‍රමිතියක් සහිතව ක්ෂේත්‍රයේ නියැළෙන ගායිකාවක්. එමෙන්ම ඇය සතුව ඇති මිහිරි කටහඬ ඇයට ආභරණයක්. කැන්ඩි ළමිස්සී ගීතය අපේ දෙසවන්වලට ඇසුණු සැණින් අපට මැවී පෙනෙන්නේ මරියසෙල් ගුණතිලක නම් මේ අපූරු ගායිකාවයි. ඇය සරසවිය සමඟ එක්වූ මොහොතේ ඇගේ අලුත්ම තොරතුරු සහ අලුත් නිර්මාණ ගැන කතා කළේ ඉතාමත් සතුටින්ය.

"මගේ අලුත්ම ගීතය මේ ජනවාරි මාසයේ රිලීස් වෙනවා.පසුගිය සැප්තැම්බර් මාසෙ හරි අපූරු ගීතයක් වූ “සිඤ්ඤොරිනා” රිලීස් කළා. ඒක දැන් යූ ටියුබ් නාලිකාවල ප්‍රචාරය වෙනවා. හරිම ලස්සන අහන්න ප්‍රිය ගීතයක් තමයි සිඤ්ඤෝරිනා කියන්නෙ. එහි තාලය පෘතුගීසි තාලයකට අනුව සැකසිලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒ ගීතය අසා තියෙනවා. ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. සෙඤ්ඤොරිනා ගීතය රචනය සහ නිෂ්පාදනය තරින්ද ගුණවර්ධන තමයි සිදුකළේ. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නේ. එයට සංගීතය මුසු කළේ දර්ශන වික්‍රමතුංග. සෙඤ්ඤොරිනා සඳහා මියුසික් වීඩියෝ එක නිර්මාණය කළේ නාලක විජේරත්න. එය සම්පූර්ණයෙන්ම එයාලගේ අදහසක්. මම ගීතය ගැයුවා පමණයි. ඇත්තටම එය බයිලා රිද්මයට නර්තනයේ යෙදෙන්නත් පුළුවන් ගීතයක්.

විශේෂයෙන් එහි මියුසික් වීඩියෝව ගැන කිවයුතුයි. හරිම ලස්සනට ඒක නිර්මාණය කරල තියෙනවා. ගීතයට ගැළපෙන චරිත, ඇඳුම් පැලඳුම්, පසුතලය මේ හැම දෙයක්ම හොඳීන් තෝරාබේරා ගෙන එය සැකසී වී තිබුණ එක ගැන මට හරි සතුටුයි. වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන ඇතැම් මියුසික් වීඩියෝ එම ගීතයට ගැළපෙන්නේ නැහැ. සිඤ්ඤෝරිනා වීඩියෝව ගීතයට නම් ගැළපෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. එහි පෙනී සිටින දුලක්ෂි රාජපක්ෂ සහ අනෙකුත් ශිල්පීන් ඉතා හොඳීන් රංගනයේ සහ නර්තනයේ යෙදී තිබුණා. මම හරි කැමැති දෙයක් තමයි නිර්මාණයකට හෝ ප්‍රසංගයකදී භාවිතා කරන ඇඳුම් පැලඳුම් ඒ විදිහට ගැළපෙන සහ සංවරව තියෙන එක ගැන. අපි ඒ පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් කාන්තාවන් වූ අප ඒ ගැන වැඩි අවදානය යොමු කිරීම වැදගත්.

මට මේ වෙලාවේ මතක් වෙනවා එක් සිද්ධියක . ඒ මගේ තරුණ කාලේ. 1978, 79 වගේ. මම ගොඩක් තරුණ අවධියේ. ඒ වගේම ඉතාමත් සිහින් සිරුරක් තිබුණේ. තරුණ කාලේ අපි කවුරුත් ආසයි විලාසිතා කරන්න. ඒ කාලේ තිබුණා හෝල්ටර්ස් නමින් විලාසිතාවක්. පපු පෙදෙස තරමක් පේන විදිහට තමයි ඒ විලාසිතාව නිර්මාණය වෙලා තිබුණේ. මගෙත් තරුණ වයස නිසා මමත් ඇන්ද ඒ වගේ. මගේ තාත්තා සිංහල. හොඳ බෞද්ධයෙක්. දවසක් තාත්තා මගෙන් මෙහෙම ඇහුවා.

” දුව මොනවද ස්ටේජ් එකේ විකුණන්නේ”

“සෙක්ස්ද?, මියුසික්ද?” තාත්තා ඒ විදිහට ඇහුවාම මට පුදුම හිතුණා.

” දුව ඔයා දක්ෂයි”

” ඇඟ නෙවෙයි ඔයාගේ මිහිරි කටහඬ විකුණන්න”

තාත්තා කිව්වෙ එච්චරයි. ඒ කතාව අහගෙන හිටපු මගේ අම්මා මට මෙහෙම කිව්වා.

” ඔයා අඳීන ඇඳුම ගැන තමයි තාත්තා කිව්වේ. ඔයා අඳීන ඇඳුම වෙනස් කරන්න”.

මම එදා ඒ කියපු දේ හොඳට හිතට ගත්තා.

එය තමයි අපි කළ යුත්තේ. ලෝකය වෙනස් වෙන විදිහට අපි හැඩගැසෙන්න ඕන. ඒත් අපේ සීමා මායිම් ඇතුළේ ඉදන්.

වර්තමානයේ තරුණ ගායිකාවන්ගේ ලොකු වෙනසක් මම දකිනවා. මම හරිම ආදරෙන් මේ දේ කියන්නේ. මමත් අම්මා කෙනෙක් නිසා. අද තියෙන්නේ ජනප්‍රිය වෙන්න පොරකෑමක්. එදා වගේ නෙවෙයි අද ඉක්මනින් ජනප්‍රිය වෙන්න සමාජ මාධ්‍ය තියෙනවා. කවුරුත් හදන්නේ ඒ හරහා ජනප්‍රිය වෙන්න. අපේ කාලේ නිර්මාණ හොඳීන් කළා මිසක් කා අතරවත් තරඟයක් තිබුණේ නැහැ .අද බොහෝ අය හිතන්නේ තමන් ගායනා කරන ගීතය, තමන්ගේ හඬ ගැන නෙවෙයි . ඇඳුම් පැලඳුම් ගැන. විලාසිතා කළ යුතුයි. ඒත් සංවරවීම වැදගත්. ඇතැම් ගායිකාවන්ගේ හඬට වඩා ඉදිරියට ඇවිත් තියෙන්නේ ශරීරය නිරාවරණය වූ විලාසිතා. අපි ඉන්නේ හොලිවුඩ්, පිලිපීනය , ප්‍රංශය, ලාස්වේගාස්වල නෙවෙයි. අපිට රකින්න සංස්කෘතියක් තියෙනවා. තරුණියන් වුණාම විලාසිතා කළ යුතුයි. ඒත් ලස්සනට සහ සංවරව. එවැනි අසංවර ඇඳුම් ඇන්දහම පිරිමි අහන්නේ ගීතය නෙවෙයි. ඔවුන් බලන්නේ ඇගේ නිරාවරණය වූ ශරීරය දෙස. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියල තමයි මට තරුණියන්ට කියන්න අවශ්‍ය. ඇයත් කවදා හෝ අම්මා කෙනෙක් වෙයි. එතකොට ඇගේ දරුවන්ගේ පුංචි හිතට මොනවද දැනෙන්නේ. ඇයි අපි ඒ වගේ තත්වයකට පත්වෙන්නේ. ගැහැනු දරුවෝ වුණාම පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. විශේෂයෙන් හිතන්න ඕන තමන් ගායනා කරන ගීතයේ ප්‍රමිතිය. ගීතයේ ප්‍රමිතිය උසස්නම් විලාසිතාවලට වඩා ජනප්‍රිය වෙන්නේ තමන් කරන නිර්මාණය."

මරියසෙල් ගුණතිලක නම් මේ විශිෂ්ට ගායිකාව පැවසූ දේ සත්‍යයකි. අනෙක් සෑමදෙයකටම වඩා ජනතාව අතරට ගෙන යා යුත්තේ තමන් කරන ගීතයයි. කුමන ආකාරයක ගීත නිර්මාණය කළත් එය ගුණාත්මක බවින් යුක්ත විය යුතු බවයි ඇය පවසන්නේ. කාන්තාවක්, මවක් ලෙස ඇය තරුණ ගායිකාවන්ට දුන් පණිවිඩය ඉතා අගනේය.

ඇය ගායන ලොවට පාතැබූ දා සිට ලැබුණ ප්‍රතිචාර එකලෙස පැවතීම ඇය සතු දක්ෂතාවය පෙන්වන කදිම සාක්ෂියකි. ඇයට සංගීත ප්‍රසංගවලින්ද අඩුවක් නැත. ඇය දෙස් විදෙස්වල ප්‍රචලිත වී ඇත්තේ බයිලා ගායනයෙහි දක්ෂ ගායිකාවක් ලෙසය. ඇගේ ශෙලියට කවුරුත් ප්‍රිය කරති. ඇගේ මියුරු හඬට කවුරුත් ඇලුම් කරති.

"මට එදා වගේම අදත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මම කැමතියි සරල, ශාස්ත්‍රීය ගීතවලටත්. මම ඒවටත් නිතර සවන්දෙනවා. ප්‍රසංගවලට ගියාම නම් කවුරුත් සුපුරුදු විදිහට ඉල්ලන්නේ වේග රිද්ම ගීත. ප්‍රසංගවලට එන අය ආස සිංදු අහල නටල විනෝද වෙලා යන්න. ඉතින් අපි ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩදිය යුතුයි. බොහෝ අය කැමැති බයිලා ගීතවල තියෙන රිද්මයට. සාදවලට ගියත් ඔවුන් ඉල්ලන්නේ බයිලා ගීත. ඇත්තටම එහි අමුතුම ආකර්ෂණීය බවක් තියෙනවා. මම බයිලා ගීත කිව්වත් මම කලකට පෙර ගැයූ සිහින නෙළුම් මල් ගීතයටත් හැමෝම කැමතියි. අම්මා කෙනෙක් තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගත් සතුට ගැන කියැවෙන ගීතයක්. හරිම ලස්සනයි සහ සංවේදීයි. කොහේ ගියත් ඒ ගීතයට ඉල්ලුමක් තියෙනවා."

බයිලා වැනි වේග රිද්ම ගීත පමණක් නොව ඇයට ඕනෑම ශෙලියකින් ගී ගැයීමේ හැකියාව ඇති බවට සිහින නෙළුම් මල් ගීතය කදිම සාක්ෂියකි.

චන්දික රන්ගොඩගේ විසින් පදරචනය කොට සංගීතවත් කළ සිහින නෙළුම් මල් ගීතයට උපරිම සාධාරණයක් මරියසෙල් ගුණතිලකගේ හඬින් ඉටුවී ඇති බව නම් නොරහසකි. ලේක් හවුස් නත්තල් බැති ගී සරසන්නට පැමිණි අවස්ථාවේ ඇය වත්මන් තරුණ ගායක ගායිකාවන්ට පණිවිඩයක් දීමට අමතක නොකළාය.

"වර්තමානයේ සංගීතයට දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. එයින් කොටසක් බොහෝම සීරුවට තමාගේ නිර්මාණ කටයුතු කරන බව පෙනෙන්නට තියෙනවා. එහෙත් තවත් කොටසක් යන්න හදන්නේ ඉක්මන් ගමනක්. ඔවුන්ගේ වේගය වැඩියි. තරුණ පිරිස අතරින් ඇතැම් අය එන්නේ සංගීතය ගැන නිසි අධ්‍යනයකින් තොරව. ඉක්මනින් තමන්ගේ නිර්මාණය ජනප්‍රිය කරගන්න තමයි ඒ අය උත්සාහ කරන්නේ. එසේ අධ්‍යයනයක් නොමැතිව සංගීත ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි කුමන ක්ෂේත්‍රයක වැඩ කළත් දියුණුවක් නැහැ. සංගීතය කියන්නෙ විශාල පරාසයකට විහිදුන විෂයක්. මට කී බෝඩ් වාදනය හොඳීන් පුළුවන්. මම සංගීත නිර්මාණයක් කරද්දී කුමන හෝ තැනක වැරදුණොත් මට ඒක පෙන්වා දෙන්න හැකියාව තියෙනවා. අන්න ඒ දැනුම තරුණ පරපුරට තිබිය යුතුමයි. අද තරුණ පිරිස පෙලඹිලා ඉන්නේ කුමන හෝ වචන ටිකක් දාලා ඒකට තනුවක් දාල සින්දුවක් කියන්න. ඒත් ඒක නිර්මාණශීලී නැහැ. ඔවුන් එයට භාවිතා කරන්නේ අන්තර්ජාලය. දැන් හැමදෙයක්ම අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන් නේ. වෙනස් වෙන ලෝකේ තාක්ෂණික දැනුම අවශ්‍යයි. ඒත් සංගීතය පිළිබඳ දැනුමක් ඇතිව තමයි ගීතයක් කරන්න ඕන.

තමන් කරන කියන දේ ගැන නිසි වැටහීමක් ඔවුන් තුළ තිබිය යුතුයි. තරුණ පිරිස අද ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා. ඔවුන් ඉන්නෙ ස්ක්‍රීන් එකත් එක්ක. එහෙම වුණාම නිර්මාණශීලී බවක් ඔවුන්ට එන්නේ නැහැ. මම සංගීත කලාවේ නියැළෙන පිරිසට ආදරෙන් කියන්නෙ ඔබලා නිතරම හොඳ ගීත වලට සවන්දෙන්න. ගුණාත්මක බවින් උසස් නිර්මාණ ගැන අවබෝධයක් ලබා ගන්න. එවිට ඔබ ඉබේම නිර්මාණශීලී කලාකරුවෙක් වෙයි."

මරියසෙල් ගුණතිලක, ගායිකාවක් මවක් ලෙස ගෙනයන භූමිකාව සමබරව ගෙනයන දක්ෂ කාන්තාවකි. ඇයගේ නාමය තවමත් සමාජයෙන් ඈත් වී නැත්තේද ඒ නිසාය. තරුණ පරපුර ගැන කතාකළ අවස්ථාවේ ඇයගේ එකම පුතු ගැනද තොරතුරු හෙළිකළාය.

"මගේ පුතා ටෙශාන් ඇන්තනී. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. තවමත් අවිවාහකයි. පුතා සංගීතයට දක්ෂයි. ඔහුට සංගීතයට යොමු වෙන්න කියල මම බල කළේ නැහැ . ඒත් පුතා තරුණ වියට පත්වෙන විට ඔහු තේරුම් ගත්තා ඔහුටත් ගායනය, වාදනය පිළිබඳ හැකියාව තියෙනවා කියල. ඔහු දැන් සංගීතයට යොමුවෙලා ඉන්නවා. එයා හොඳ දරුවෙක්. මම මගේ පුතාට පුංචි කාලේ ඉදන් ඇත්ත පැවසුවා. මට එයාට අවශ්‍ය දේවල් අරගෙන දෙන්න බැරි වුණාම මම කිව්වා මට මේ වෙලාවේ සල්ලි නැහැ කියල. ඒත් මම ඔහුට දුන් පොරොන්දු කඩ කරල නැහැ කවදාවත්. මට පුළුවන් වෙලාවට ඔහුට අවශ්‍ය හැමදේම ලබා දුන්නා. මම පුතාට පොත පත දැනුම පමණක් නෙවෙයි ජීවිතය හඳුනාගන්න අවස්ථාව දුන්නා. තරුණ වියට එළඹුණාට පසුව ඔහුගේ ජීවිතය පිළිබඳ තීරණ ගන්න එයාට නිදහස දුන්නා. මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ පුතා එක්ක ගීතයක් ගායනා කරන එක. අපි එක තැනකට ආවට පස්සේ එය ඉෂ්ට වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහු බටහිර සංගීතය පැත්තට තමයි නැඹුරුවෙලා ඉන්නේ.

මරියසෙල් ගුණතිලක නම් මේ සොඳුරු සිතැත්තිය සරසවිය සමඟ පිළිසඳර හමාර කිරීමට මත්තෙන් මෙසේ පැවසුවාය.

"මට එදත් අදත් කවදත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මට පුළුවන් තාක්කල් සංගීත ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නවා. ඒත් කාලයක් යද්දී හැමදේම වෙනස් වෙයි. කාලයක් එනවා ක්ෂේත්‍රයෙන් සමුගෙන යන්න. එදාට මට සතුටින් ඉවත් වෙන්න පුළුවන්. මට කිසි බයක් නැහැ. සතුටින් ජීවත් වෙන්න මට පුළුවන්. ජීවිතය කුමක්ද කියල අවබෝධ කරගෙන ජීවත් වෙන කෙනෙක් මම. මේ වෙලාවේ මගේ ආදරණීය රසිකයන් මතක් කරන්න ඕන. එයාල ගේ ආදරය නිසා තමයි මම මේ තත්වයෙන් ඉන්නෙ."

මරියසෙල් ගුණතිලක සමඟ තවත් බොහෝ දේ කතා කිරීමට අවශ්‍යව තිබුණි. එහෙත් ඇයට නත්තල් සැමරුම සඳහා එක්වීමට ඉඩහසර ලබා දියයුතු නිසා කතා බහට විරාමයක් තබන්නට සිදුවිය.

හරි අපූරුවට නත්තල ගැන ලියවුණු ගීත කිහිපයක් ගායනා කළ ඈ ලේක් හවුස් ආයතනය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළාය. ඇයගේ ගායනා අවසානයේ නරඹන්නන්ගේ ඉල්ලීමක් මත සිහින නෙළුම් මල් ගීතය ගායනා කරමින් ඇය අප සැමට සමු දුන්නාය.

කවදත් තරුණ මරියසෙල් ගුණතිලක සුන්දර ගායිකාවට සරසවියේ සුබ පැතුම් !

 

නයනාංජලි දෙහිපිටිය - සරසවිය

Back to top
Go to bottom