ශ්‍රී ලාංකේය සිනමාවට විප්ලවීය සිනමා කෘති රැසක්ම තිළිණ කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ නවතම සිනමා සිත්තම ‘රාණි’ ය. මීට දශක කිහිපයකට පෙර මෙරටේ ආන්දෝලනයක් ඇති කරමින් රූපවාහිනී මාධ්‍යවේදියෙකු හා නාට්‍ය නිර්මාණකරුවෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියත් ඉන් පසුව ඔහුගේ මව සිදු කළ අරගලයට පසුබිම් වූ කතාව ‘රාණි’ සිනමා පටයෙන් දිග හැරෙයි. ප්‍රකට වෛද්‍යවරියක වන රිචඩ් ද සොයිසාගේ මව මනෝරාණි සරවනමුත්තු පදනම් කරගෙන මෙම කතාව නිර්මාණය වී ඇත. රාණි සිනමාපටය 30 සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. ‘රාණි’ අධ්‍යක්ෂ – අශෝක හඳගම සමඟ අප කළ සාකච්ජාව මෙසේ දිග හරිමු.
රිචඩ් ද සොයිසා චරිතය ඇසුරින් ඔබ සිනමා කෘතියක් නිර්මාණය කරන්න අදහස් කළේ ඇයි ?
මේක චරිතාප්‍රදාන ශානරයට වැටුණු චිත්‍රපටයක්. මම මීට කලින් එවැනි චිත්‍රපට කරලා නැත්තේ නැහැ. කරලා තියෙනවා. මම මීට කලින් නිර්මාණය කළ අල්බොරදා කියන චිත්‍රපටය එවන් එකක්. එය ෆෙඩ්රික් නෙරූඩා කියන චරිතය මුල් කරගෙනයි නිර්මාණය කළේ. ඒක මීට වසර සීයයකට පමණ කලින් සිදු වූ සංසිද්ධියක් මුල් කර ගත්ත එකක්. ඒ නිසා ඒ ගැන දන්න කියන කවුරුත් ජීවතුන් අතර නෑ. ඒක මගේ පරිකල්පනය මත ගොඩනැඟුණු කතාවක්. එහි පොඩි සිදුවීමක් තිබුණා. ඒක මුල් කරගෙන තමයි ඒ චිත්‍රපටය නිර්මාණය කළේ.
රාණි ඊට වඩා වෙනස්. මේක මනෝරාණි කියන ධෛර්යවන්ත ගැහැනියගේ කතාවයි. මේ ඝාතන සිද්ධියට සම්බන්ධ වූ, මේ සිද්ධිය ඇසින් දැකපු, අහපු විවිධ අයුරින් සම්බන්ධ වුණු අය තවමත් ජීවත් වෙලා ඉන්නවා. එනිසා මේ චිත්‍රපටය කිරීම වෙනස්ම අභ්‍යාසයක්. මේකට කේන්ද්‍ර වුණු මනෝරාණි චරිතය ගොඩනඟන්න ඊට ඕන විදියට චරිත යොදා ගත්තාට, අවශේෂ චරිත ඉස්මතු කිරීමට මම බලාපොරොත්තු වුණේ නෑ. ඒ අතින් ගත්තාමත් මේක වෙනස් චිත්‍රපටයක්. ඒ නිසා මේක වෙනස්ම අත්දැකීමක් තමයි.
සැබෑ මනෝරාණි, සැබෑ රිචඩ් සහ දේශපාලන චරිත සැබෑ චරිතවලට සමාන ආකාරයටම ගොඩනගලා තිබුණා. ඇත්තටම මෙය සත්‍ය පිටපතක්මද ?
මෙය සත්‍ය සිදුවීම් පාදක කර ගත් ප්‍රබන්ධයක්. මේකට මුල් වුණේ සත්‍ය සිදුවීම් තමයි. ඒ වගේම සත්‍යය අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම එක් සත්‍ය චරිතයක් වටා තවත් චරිත බොහෝමයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ආකාරයට චරිත ගොඩක් සම්බන්ධ වුණු චරිතත් මේ සිනමා කෘතියේ තියෙනවා. අනිත් කාරණාව, මේක මගේ පරිකල්පනය. ඒ හැරුණාම, අනෙක් චරිතවලට අඩු වැඩි වශයෙන් සත්‍ය චරිත පාදක වුණා.
ඔබ චරිත තෝරා ගැනීමේදී සැබෑ චරිතයට සමාන පෙනුමක් තියෙන චරිතම තෝරා ගන්න වග බලා ගත්තාද ?
ඔව්. මම එහෙම උත්සාහ කළා. ඒ වුණාට සැබෑ චරිතයන්ම අනුකරණය කරන්න කියලා මම අධ්‍යක්ෂ ලෙස නියෝග පැනවූවේ නෑ. ඒ වෙනුවට තමන්ගේ චරිත ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව උඩ ඒ චරිත නිරූපණය කරන්න මම නිදහස දුන්නා. ස්වර්ණා මල්වාරච්චි, රෙහාන් අමරතුංග, සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සජිත ඇත්තනි, මයුර කාංචන, රිතිකා කොඩිතුවක්කු යනාදීන් මෙයට රංගනයෙන් දායක වෙනවා. කැමරාකරණය චන්න දේශප්‍රිය. සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. මේ ආදී කණ්ඩායමක් මෙහි නිර්මාණ දායකත්වය සැපයුවා.
ඔබ රිචඩ් ද සොයිසා කියන චරිතය දැන හඳුනාගෙන හිටියාද ? ඔබට මේ චරිතය දැනුණේ කොහොමද ?
88-89 කාලච්ඡේදය කියන්නේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට හිටපු කාලේ. වයස අවුරුදු 20ක විතර තරුණයෝ අපි. අපිට මේ රිචඩ්ගේ මරණය ලොකු කම්පනයක් ඇති කළ එකක්. 1990 පෙබරවාරි 18 එදා තමයි රිචඩ්ව පැහැර ගත්තේ. ඒ කාලයේ සිදුවූ සිදුවීම්වල අත්දැකීම් සහ මතකයන් තවමත් අපිට තියෙනවා. මම රිචඩ්ව පෞද්ගලිකව දැන් හඳුනාගෙන හිටියේ නැහැ. නමුත් මගේ නාට්‍ය බලන්න ඔහු ඇවිත් ඉන්නවා මම දැකලා තියෙනවා. රිචඩ් එක්ක සමීපව වැඩ කටයුතු කළ අය ඒ කාලේ අපටත් හමුවෙනවා. එනිසා ඒ අය අතර සමීපව තොරතුරු හුවමාරු වෙන හැටි අපිටත් පෙනුණා. අන්තිම වතාවට මම රිචඩ්ව දැක්කේ මගේ මාඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවසේ. ඒක තිබුණේ ලුම්බිණි රඟහලේදීයි. ඔහු එහි නාට්‍ය ගැන පුවත්පතකට ලියලත් තිබුණා. මේ කරුණු කාරණා නිසා මට රිචඩ්ව සහ ඔහුගේ ඝාතනය හොඳින් දැනී තිබුණා.
ඔබ මේ සිනමාපටයේ මනෝරාණිගේ චරිතය වැඩිපුර මත්ද්‍රව්‍යයට නැඹුරු චරිතයක් විදිහට නිර්මාණය කොට තියෙනවා. එසේ සිදු කළේ ඇයි ?
නෑ. ඒ මනෝරාණි බොහෝම නිදහසේ හැදුණු, නිදහස් ජීවිතයක් ගත කළ නාගරික ඉහළ පන්තියේ කාන්තාවක්. ඒ චරිත ලක්ෂණ තමයි මේකෙ තියෙන්නේ. රිචඩ් පැහැරගෙන ගිහින්, රිචඩ්ගේ මළමිනිය හමුවුණායින් පසුව ඇය කිසියම් විදිහකට තිබුණාටත්, වඩා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙන්න ඇති.
සිනමාලෝලීන් ඔබේ මේ රාණි සිනමාපටය කුමන ආකාරයට වැලඳ ගනීවිද ? ඒ වගේම කුමන ආර්ථික ප්‍රතිලාභයක් ලැබේවිද කියා ඔබ විශ්වාස කරනවාද ?
ඒක මෙහෙමයි. මම චිත්‍රපටය හැදුවාට පස්සේ, එය මහජනතාවට මුදාහැරියාට පස්සේ ඒ තුළ වූ ප්‍රතිලාභවලට මම වගකියන්නේ නෑ. මට අවශ්‍යතාවකුත් නෑ. මම ඒකට බැඳිලත් නෑ. නිර්මාණය පිළිබඳ වගකීමක් තමයි මට තියෙන්නේ. නිර්මාණයක් වුණත්, එය අවසන් වුණාට පසුව කර්තෘ මැරෙනවා කියලා කතාවක් තියෙනවානේ.
නිර්මාණය එළියට දැම්මාට පස්සේ එය විවිධ අය විවිධ ආකාරයට කියවා ගනීවි. එය මගේ පාලනයෙන් තොරයි. වෙනත් නිර්මාණකරුවෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් නිර්මාණයක් කළා නම්, එය වෙනස්ම ආකාරයකින් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක මගේ කියවීමයි. ප්‍රේක්ෂකයන් මේක භාර ගන්න ආකාරය ගැන මම නිර්මාණකරුවා හැටියට කලබල විය යුතු නැහැ. මගේ නිර්මාණ කාර්යය මම අවසන් කළා. නිර්මාණය රසවිඳීමේ කාර්යය ප්‍රේක්ෂක ඔබ සතුයි.
සිනමාපට අධ්‍යක්ෂකවරයෙක් විදියට මම, ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ඔබ මේ සිනමාපටය නරඹන්න. ඒ වගේම මේ රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධව නොදන්න අය ඉන්නවා. ඒ අයට මේක අලුත් අත්දැකීමක් වේවි. එහිදී මරණය කියන එක, ජීවිතය කියන එක, අයුක්තිසහගත මරණයට යුක්තිය සොයාගෙන යන හැටි මේ ආදී කාරණා අලුත් අත්දැකීමක් ද වේවි.
ශ්‍යාමා සමරසිංහ - දිනමිණ