lan englan tam

පුවත්

පෙම්වතියට රිද්දන්න ගීත ලියූ ඩිලාන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

– මගෙ අම්මා විශ්වාස කළෙත් නෑ මං සින්දු ලියනවා කියලා

– ගීත 2000කටත් වඩා ලියල තියෙනවා

‘කෙටි කාලයකින් හමුවී
මගෙ ජිවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී ඔයා’

මේ ඔහු අතින් ලියවුණු පළමු පද පෙළයි. ඒ ඔහු හැර ගිය පෙම්වතිය වෙනුවෙනි. තම සිත රැඳි විරහව පද පෙළක් කර ඇය වෙත දමා ගසන්නට ඔහුට සිත් විය. වත්මන දෙස බලන විට එය අතිශයින්ම සොඳුරු පළිගැනීමකි. පසු කලෙක එය ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනීගේ හඬින් ගීතවත් වීමත් සමඟින් ඔහු වෙත වාසනාව ගලා එන්නට පටන් ගත්තේය.

 

අතුල සමිතා ගයන ‘ඉවසයිද මන්දා’, තීක්ෂණ අනුරාධගේ ‘ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‘, ජූඩ් රොගන්ස් ගයන ‘හිමාලෙට වඩා උසයි’, ශිහාන්ගේ ‘මේ ඇස් දිහා’, දීමන්තගේ ‘අවසාන ප්‍රේමයක්’, චාමිකගේ ‘වෙන්වී දැන් යන්න ඉතින්’, නොයෙල් රාජ්ගේ ‘ළං ළං වෙලා’ වැනි බොහෝ සේ ජනප්‍රිය වුණු ගීත සමූදායක් ඔහු අතින් දිගින් දිගටම ලියවිණි. පසුගියදා මිලියන ගණනින් ප්‍රේක්ෂක ආදරය දිනු සමිතා මුදුන්කොටුවගේ ‘අමුතුම ප්‍රේමයක්’ ඔහුගේ අලුත්ම ගීතයයි. ලංකාවේ ජනප්‍රියම ගීත රචකයින් අතර වැජඹෙන ඔහු ඩිලාන් ගමගේය.

10 5

ඩිලාන් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි කියල ආරංචියි. කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

පහුගිය දවස්වල සමිතා මුදුන්කොටුව ගායනා කරන මගේ ‘අමුතුම ප්‍රේමයක්’ගීතය ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. සති දෙකක් ඇතුළත මිලියන දෙකකටත් වැඩි පිරිසක් නරඹලා තිබුණා. මියුසික් විඩියෝවට සමිතා සමඟ චිරන්ත රංගනයෙන් දායක වීමත් ඒකට හේතුවෙන්න ඇති. සංගීතවත් කළේ සන්තූර් මැද්දේගොඩ. අධ්‍යක්ෂණය ඉසුරු ප්‍රනාන්දු. ක්ෂේත්‍රයට නවකයින් වන ඔවුන්ටත් ඒ හරහා යම් වටිනාකමක් ලැබුණා කියල හිතනවා. මේ දවස්වල අමුතුම ප්‍රේමයක් – 2 ‘අන්සතු මලක්’ ගීතයේ රෙකෝඩින් කෙරෙනවා. ඒකත් මියුසික් වීඩියෝවත් එක්කම එළියට දාන්නයි සැලසුම් කරමින් ඉන්නේ. ඊට අමතරව මං කරපු තවත් සින්දු දොළහක් විතර එන්න තියෙනවා. ඒ වගේම මම මාස තුනකට විතර ඔස්ට්‍රේලියා යන්නත් සුදානමක් තියෙනවා. ඒ නිසා මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.

ඔබ මේ වෙද්දි ගීත කීයක් විතර නිර්මාණය කරල තියේද ?

ඇත්තටම මටත් හිතාගන්න බැරුව හිටියේ කොතරම් ප්‍රමාණයක් ලියවිලා තියේද කියන එක. පහුගිය දවස්වල මගේ ගීත ඔක්කොම ලයිසන් කළා. එතැනදියි මමත් දැනගත්තේ ගීත 2000කටත් වඩා ලියල තියෙනවා කියලා. ජනප්‍රිය ගායන ශිල්පීන් හරහා සමාජගත වුණු ගීත ගැන විතරයි ගොඩක් දෙනා දන්නේ. නමුත් නවකයින් ලියවගෙන සමාජගත නොවුණු ගීතත් ඕන තරම් ඇති.

මේ තරම් ගීත සංඛ්‍යාවක් ලියූ ඔබ තාමත් ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන්න හිතුවේ නැත්තේ ඇයි?

මං තාම මගේම කියල ප්‍රසංගයක් කරල නැහැ. දශකයක් ගෙවෙද්දි කරන්න ඕනකම තිබුණා. ඒක මඟහැරුණා. ඊට පස්සේ පහළොස් වසරක් පිරීම නිමිත්තෙන් කරන්න ඕන කියලා හිතුවා. ඒකත් මඟහැරුණා. මං සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් වසර 18ක් වෙනවා. දැන් ඉතින් දශක දෙක පිරුණහම කරනවා කියල හිතුවා.

ඩිලාන් පාසල් කාලෙදි කවියක්වත් ලියපු නැති කෙනෙක් කියලයි ආරංචිය?

ඇත්තම කතාව ඒක තමයි. මට ලියන්න පුළුවන්කම තිබුණ ද කියලවත් මම දන්නෙ නෑ. මගේ ගම ඇඹිලිපිටිය. ගෑනු ළමයෙක් එක්ක මගේ සම්බන්ධකමක් තිබුණා. එක පාරම ඇය මගෙන් වෙන්වුණා. මට මගේ වේදනාව පිටකරගන්න ක්‍රමයක් ඕන වුණා. එවෙලේ මට ඕන වුණේ ඇයට රිද්දන්න විතරයි. ‘කෙටි කාලයකින් හමුවී’ පද පෙළ ලියවුණේ ඒ විදිහට. මේක කවදහරි ඔයාට සින්දුවක් විදිහට ඇහේවි, ඒ ඇහෙද්දි ඔයාට රිදේවි කියලා ලියලා මං ඒක ඇයට යැව්වා. එදා එහෙම කිව්වට මං කිසිම කලාකරුවෙක් දැනගෙන හිටියෙ නැහැ. වේදනාව නිසා නිකන් හිතට ආව වචන ටිකක් ලියල දැම්මේ. දෛවයත් හරි පුදුම දේවල් කරන්නේ. පස්සෙ කාලෙක අහම්බෙන් වගේ මට නිරෝෂා අක්කව මුණ ගැහිලා ඇගේ හඬින් මේක ගීතවත් වෙනවා. මං ගී පද රචකයෙක් වුණේ එහෙමයි.

හැරගිය පෙම්වතියට රිද්දන්න ලිව්ව පද පෙළ පසු කලෙක ගීතයක් වෙලා ඇහෙද්දී ඔබට මොන වගේ හැඟීමක් ද දැනුණේ?

ගී පද පෙළ දැකපු ගමන්ම නිරෝෂා අක්ක ඒකට මෙලඩියක් දම්මල ගායනා කරල තිබුණා. ඒත් ඒක ප්‍රචාරය වුණේ ඊටත් මාස හයකට විතර පස්සේ. දවසක් මං බස් එකේ යද්දි මහරගම කඩේක දාල තිබුණු රේඩියෝවක යාන්තමට මට හුරුපුරුදු වචන ටිකක් ඇහෙනවා. පස්සෙයි මට තේරුණේ මේ මං ලියපු එක නේද කියලා. ඉක්මනින්ම මං බස් එකෙන් බැහැල එතැනට යද්දිත් ඒක ඉවරයි. ඒත් මට පුදුමාකාර සතුටක් දැනුණා. ඊට පස්සේ ඒක නිතර නිතර ඇහෙන්න ගත්තා. ඒත් එක්කම මට ගීත ලියන්න ආරාධනා ගලාගෙන ආවා. මේ වෙද්දි විනාඩි ගාණකදි මගේ ගීතයක් අනිවාර්යයෙන්ම ඇහෙනවා. එදා නිරෝෂා අක්කා ඒක නොකිව්ව නම් අද ඩිලාන් ගමගේ කියලා ගී පද රචකයෙක් බිහි නොවෙන්නත් ඉඩ තිබුණා. අද මං ළඟ තියෙන මේ හැමදේම ලැබෙන්න අඩිතාලම වැටුණෙ එතනින්.

අද කාලේ ප්‍රේමයෙන් පරාද වුණු පෙම්වතා සිය පෙම්වතියට පීඩා කරද්දි ඔබ එදා කළේ සොඳුරු පළිගැනීමක්?

ඔව්. ඔව්. ඒකෙන් මගේ ජීවිතේටත් නොහිතපු පාරක් කැපුණා. ඒකට මං ඇයට ස්තුතිවන්ත වෙනවා. අපේ අම්මවත් විශ්වාස කළේ නෑ මං ලියනවා කියලා. ඒ දවස්වල අම්මත් මගෙන් අහනවා ඇත්තටම මේ ඔයා ද ලියන්නෙ කියලා. ගොඩක්ම මං අතින් ලියවිලා තියෙන්නේ විරහ ගීත. ගොඩක් දුරට මං සාහිත්‍ය රසයට වඩා සරල බසම යොදාගන්න නිසා ප්‍රේක්ෂකයින් ඉක්මනින්ම වැලඳ ගන්නවා කියලා මට හිතෙනවා.

ඩිලාන්ගේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?

තව මාසෙකින් ඔස්ට්‍රේලියාවට ගිහින් එන්න සූදානමින් ඉන්නේ. මං කොහොමත් මාස 6ක් ලංකාවේ ඉන්නවා. මාස 6ක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. මං මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ සිනමාව ගැන හැදෑරීමක් කරනවා. මොන දේ කළත් ගීත ලියන්න මං හරිම ආසයි. තවත් මගේ ලොකු ආසාවක් තියෙනවා චිත්‍රපටයකට තිරපිටපතක් ලියන්න. මේ දිනවල එවැනි තිරපිටපතක් ලියමින් ඉන්නේ.

 

නාමලී ගමගේ (රසඳුන )

Back to top
Go to bottom