– ඉවසලා ඉවසලා බැරිම තැන මගේ කාමරයට එබිලා ‘මං ඔය පොත් ටික ගිනි තියනවා’ කිව්වා
– චරිත ළඟට අරන් රඟපෑවේ නැහැ මම චරිත තුළට ගිහින් රඟපෑවා
– චරිතයකින් ආත්ම තෘප්තියක් ලැබෙන්නේ නැත්නම් බොරුවට පෙනී සිටීමේ තේරුමක් නැහැ
අප ඔහු කිසි විටෙකත් හේමසිරි ලියනගේ ලෙස රිදී තිරයේවත්, පුංචි තිරයේවත්, වේදිකාවේවත් දැක නැත. කිසියම් නිර්මාණයක ඔහුට පැවරුණු චරිත නිරූපණයක එකී චරිතය මිස අප ඔහු දැක නැත. පාට උලාගත් සෞම්‍ය පෙනුමක් තිරය හරහා ප්‍රේක්ෂකයන්ට සමීප කරවමින් කෘත්‍රිම ජනප්‍රියත්වයක් වෙනුවෙන් ඔහු කිසිසේත්ම කලා නිර්මාණ පාවිච්චි කළේ නැත. වෙස් මුහුණ ගැලවූ කල තිරය පිටුපස මුහුණක ඇති දියාරු නළුකම ඔහුට නැත.
තමාට ලැබෙන චරිත පිළිබඳ පූර්ව අධ්‍යයනයකින් පසුව එකී චරිතයට පිවිසෙන ඔහු රූගත කිරීම අවසන් වනතුරු චරිතයේම ජීවත් වන්නේ ය. පොතපතට සාහිත්‍යයට, කලාවට ආදරය කරන සංවේදී කලාකරුවන් පිරිසක් බිහි කළ හොරණ විද්‍යාරතනයෙන් සිප් සතර හදාරා පසු කලෙක එහිම ආර්ථික විද්‍යා ගුරුවරයකු ලෙස වෘත්තීය මෙහෙවර ඉටු කරන අතර සිය ලේ නහර පුරා කකියන නාට්‍ය හා රංග කලාවට දරු පරපුර ප්‍රවිෂ්ට කර ගනිමින් විද්‍යාරතනය නාට්‍ය කලාකරුවන්ගේ තෝතැන්නක් බවට පත් කරන්නට ඔහු අත්පොත් තැබුවේය. පාසල් දරුවකු ලෙසින් තම ගුරුවරුන්, මිතුරන් ඉදිරියේ සිය රංගන කුසලතා ප්‍රදර්ශනය කිරීමෙන් ඉමහත් ආස්වාදයක් ලද ඔහු, පසුව සිය ශිෂ්‍ය ප්‍රජාව සතු කුසලතාවන් ද ඔප්නංවමින් ඒවා දැක සතුටු සිත් උපදවා ගත්තේ ය. වර්තමානයේ ජංගම දුරකතනයට හීලෑ වුණු දරු පරපුරට නාට්‍යයක, ගීතයක, කලාවක රසයක් දැනෙන්නට තරම් ඔවුන්ගේ ලේ නහරවල රසඋත්පාදනයක් සිදු නොවේ. පසු පරපුරෙන් සුසැදි නිර්මාණකරණයේ යෙදෙන පිරිස ද කලාව කලාවක් ලෙස නොව, කලාව පහසුවෙන් මුදල් උපයන මගක් ලෙස දකින නිසාදෝ කලාව වෙනුවෙන් ජීවිතයම කැප කළ ඔහු වැන්නවුන්ගේ ගුරුහරුකම් නව පරපුරට අවශ්‍ය බවක් නොපෙනේ. අතීත කලාකරුවෝ සිය අත ඇති සතය ද කලාව වෙනුවෙන් වැය කර කහට බි බී පයින් ඇවිද නිර්මාණ කළ අය මිස කලාව මුදලට සින්න කළවුන් නොවෙති. හේමසිරි ලියනගේ නම් වූ සම්භාව්‍ය රංගනවේදියාණන් ද ඒ පරපුරේ රන්මසු අගනා කලාකරුවෙකි.
“අපි ඒ කාලේ රඟපෑම ඉගෙන ගත්තේ අපේ පෙර පරම්පරාවේ සමකාලීනයන් ගමේ ටීටර්, නාඩගම් නටනවා බලාගෙන ඉඳලා යි. ඒවා බලන්න ගිහින් ඒවාට සම්බන්ධ වෙමින් දණ ඇන ඇන අපිත් මේ රංග ප්‍රාතිහාර්යයට කොහොමහරි එක්වුණා. ගම්වල උද්දච්ච එවුන් ඇරුණාම නාඩගම්, ටීටර් බලන්න නො ආ කෙනෙක් නැති තරමයි. ඒවායින් පුදුමාකාර සතුටක්, මානසික සුවයක් අපි කවුරුත් ලැබුවා. මං උපන්නේ හොරණ, බුලත්සිංහල ගීකියනකන්ද ආශ්‍රිත නාහල්ල නම් ගම්මානයේ යි. ඒ ගම බොහොම සුන්දරයි. ගමේ මිනිස්සු ගොවිතැන් බතක් කරගෙන බොහොම දුෂ්කර විදිහට දවස ගතකළා. මගේ තාත්තාත් ගොවියෙක්. අම්මා උගත් කාන්තාවක්. එයා අට සමත් වුණු කෙනෙක්. ඒ කාලේ රජයේ රස්සා, ගුරු පත්වීම් ගන්න අට සමත් නම් පුළුවන්කම තිබුණා. ගමේ මිනිස්සු හැමෝම වගේ ගොවියෝ වුණාට එයාලා පොතපත කියවන්න, හිටිවන කවි, ජනකවි කියන්න, නාට්‍ය ටීටර් කරන්න හරි රුසියෝ. සමහර දවස්වල රෑ එළිවෙනකන් ටීටර් මඩුවල පෙන්වන ටීටර් අපි බිම වාඩිවෙලා බලනවා. ඒවායින් පුදුම ආස්වාදයක් ලැබුණා. නාට්‍යයක් රඟ දක්වන්න, කවියක් ලියන්න, කවියක් කියන්න හැකියාවක් තියෙනවා කිව්වාම ඒ කාලේ ලොකු පිළිගැනීමක් ඇතිවුණා. අපේ තාත්තාත් හැන්දාවට ග්‍රැමෆෝන් ගීත අහනවා. ඒ රසවත් හරවත් ගීතත් අපට පුංචි කාලේ ඉඳලා ඇහුණා. ගමේ කලා නිර්මාණ රසවිඳීමෙනුත් යම් උත්තේජනයක් මට ලැබුණා. මා තුළත් චිත්‍ර අඳින්න, නාට්‍ය ලියන්න, රඟදක්වන්න, කවි කියන්න හැකියාවක් ටික ටික ඇති වුණා. ඒවාට ලැබුණු පිළිගැනීම, ගරුත්වය, අගය කිරීම් තමයි අපිට ඔටුනු පැලැන්දුවේ. ගාණට මිම්මට මුදලට අපි නාට්‍ය හිලව් කළේ නැහැ.”
පාසල් ජීවිතයේ සමකාලීනයන් හා මිතුදමත්, රණ්ඩු සරුවලුත් සමථ වන්නේ හිටිවන කවි සංවාදවලිනි. පාසලේ සාහිත්‍ය සමිතිය රසවත් කරන්නට හේමසිරි කිසි දිනක අමතක කළේ නැත. චිත්‍රපටයක දැක තිබූ බේබදු චරිතයක් පාසලේදී රඟපෑ පසු ගුරුවරුන් ඔහුට ඒ පිළිබඳ හොඳක් කීවේ නැත. එවැනි රැඟුම් පාසලට නුසුදුසු බව කියා දුන් නමුත් ඒ රංගනය පිළිබඳව එකිනෙකාගේ කසුකුසු අතර වර්ණනා වී තිබුණි. කුඩා කල පටන් ටිකෙන් ටික දලුලමින් පැවති කලා කෞශල්‍යයන්වලට සේම පොතපත, සාහිත්‍ය ඥානයට ද හොරණ විද්‍යාරතනය හේමසිරිට මනා තෝතැන්නක් විය. හොරණ වජිරඥාන ස්වාමීන් වහන්සේ එහි සිංහල විෂයය ඉගැන්වූයෙන් හේමසිරිගේ ලේඛන හා චිත්‍ර කුසලතා උන්වහන්සේ අගය කරන්නට වූ සේක. හේමසිරි තව තවත් පොතපතට නැඹුරු වන්නට විය.
“1968 දී විද්‍යාරතනයේදී මම රචනා කරලා ‘නාඩගම් හෙවත් සුදු ඇතා’ නාට්‍යය මමම නිෂ්පාදනය කරලා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයට ඉදිරිපත් කළා. මේ නාට්‍යය මහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන නාට්‍යයක් බවට පත්වුණා. හාස්‍යය උපහාසය බෙර වාදන, නර්තන අංග, ජන සංගීතය ආශ්‍රිතව නිර්මාණය කළ ගීතවලින් පිරුණු රසවත් නාට්‍යයක් බවට මෙය පත්වුණා. නමුත් දේශපාලන වශයෙන් දැඩි විවේචන ද මේ සඳහා ලැබුණා. පාසල් කිහිපයක මේ නාට්‍යය පෙන්නුවා. පසුකාලෙක මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටියදී නාට්‍ය සංගමයක් මා විසින්ම ආරම්භ කරලා, එහි සභාපතිකමත් දරමින් විශ්වවිද්‍යාලය තුළ නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. ඒ අතර මගේ ‘සුදු ඇතා’ නාට්‍යයත් විශ්වවිද්‍යාලයේ පෙන්නුවා. ඒ අවස්ථාවේදී දැඩි ලෙස දේශපාලන විරෝධයක් මට එල්ල වුණා. උපාධිය අවසන් කරලා හොරණ විද්‍යාරතනයේම ගුරු පත්වීමක් ලැබුණා. නමුත් 1980 වර්ෂයේ පැවති වැඩ වර්ජනයට සම්බන්ධ වුණු නිසා ඒ රැකියාව මට අහිමි වුණා. අවුරුදු හතරක් රැකියාවක් නැතුව පුදුම දුෂ්කර ජීවිතයක් ගත කළා. ඒ වනවිට මම විවාහ වෙලා දරුවො හතර දෙනාම ලැබිලා හිටියා. බිරිඳත් ගුරුවරියක් හැටියට කහවත්ත කිට්ටුව ලෙල්ලෝපිටියේ පාසලක උගන්වමින් සිටියා. ගමන දුර නිසා එයා ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි සවස පහ විතර වෙනවා. අවුරුදු හතරක් මම ගෙදර ඉඳගෙන පුතාලා හතර දෙනාව බලා ගත්තා. ඒ වසර හතර දරුවෝ බලාගන්න ලැබුණු විරාම කාලයක් බවට පත් වුණා. නමුත් ආර්ථික අපහසුතාවලින් අපි හැමෝම ඒ කාලය තුළ දැඩි පීඩාවකට මුහුණ දුන්නා. පුංචි කොල්ලෝ හතර දෙනා බලාගෙන ගෙදර ඉන්න එකත් මට බොහොම දුෂ්කර වුණා. දවල්ට අතට අහුවෙන පහේ ජාති දමමින් කොහොම හරි තියෙන දෙයක් රත් කරලා පොඩි උන් හතර දෙනාට කන්න දුන්නා. දවසම මමත් තෙහෙට්ටු වෙලා ඉන්න අතරේ බිරිඳ හවසට ගෙදර ආව ගමන් ළමයි ටික එයාට පංගරාත්තු කරලා මං හෙමිහිට කාමරයට රිංගගෙන පොත් කියවන්න පටන් ගන්නවා. මගේ බිරිඳ කුසුමා දවසම පාසලේ ළමයි එක්ක හෙට්ටු අල්ලලා, බස්වල පැය ගාණක් දුක් විඳලා අප්‍රමාණ වෙහෙසකින් ගෙදර ආවාට පස්සේකොල්ලෝ හතර දෙනාත් එයාගේ ඇඟේ එල්ලුණාම ඒකඉවසන්නබැහැ තමයි. ඒත් එයා සෑහෙන්න ඉවසලා ඉවසලා බැරිම තැන දවසක් මගේ කාමරයට එබිලා ‘මං ඔය පොත් ටික ගිනි තියනවා’ කිව්වා. එච්චරයි. රණ්ඩු සරුවල් මුකුත් නෑ. එයා එයාගේ වැඩ ටික කොහොමහරි කරගෙන ගියා. මං හෙමීට පොත පැත්තකින් තියලා නැඟිටලා ගිහින් ළමයි ටික මගේ ළඟට ගත්තා. ආයේ කවදාවත් කුසුමා ගෙදර ආව ගමන් කාමරයට වැදිලා පොත් කියවන්න මම ගියේ නැහැ. කුසුමා පොත් ගිනි තිබ්බෙත් නැහැ. ඒ අවුරුදු හතර ළමයි බලාගන්න මට සොබා දහමෙන් ලැබුණු දායාදයක් කියලා දැන් මට හිතෙනවා. මොකද ඒ කාලයේ ළමයි හතර දෙනා බලාගන්න වැඩට කෙනෙක් ගත්තානම් මොකකින් මොකක් වෙයි ද දන්නේ නැහැනේ. අමාරුම කාලේ එයාලාව බලාගන්න මට පුළුවන් වුණා. ඒ අවුරුදු හතරම මට නාට්‍ය වැඩ කරන්න ලැබුණෙත් නැහැ. අවුරුදු හතරකට පස්සේ මට ආයෙමත් ගුරු රස්සාව ලැබුණා. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු ගැන කුසුමා විශාල උනන්දුවක් දැක්වූවා. ඉගෙනීමට හොඳ පරිසරයක් නිෙවසේ තිබුණා. සෞම්‍ය මහාචාර්යවරයෙක් හා රංගන ශිල්පියෙක් බවට පත් වුණා. සමන් චිත්‍ර ශිල්පියෙක්. එයා මේ දවස්වල චිත්‍ර ප්‍රදර්ශනයකට සූදානම් වෙනවා. ආලෝක විශේෂඥ වෛද්‍යවරයෙක් වුණා. ඉන්ද්‍රචාප දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙක් වගේම එයා සංගීත කලාව පැත්තෙන් ඉදිරියට ආවා. ඉන්ද්‍රචාපයි, සමනලී ෆොන්සේකායි (ලේලිය) කාලයක් අපිත් එක්ක ඉඳලා දැන් අපේ නිෙවස ආසන්නයේම නිෙවසක පදිංචි වෙලා අපි දෙන්නාවත් බලාගෙන ඉන්නවා. අනිත් පුතාලා තුන්දෙනාත්, ලේලිලා සහ මුනුපුරු මිණිබිරියන් හැමෝමත් අපි ගැන බලනවා. කුසුමායි මමයි විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා.”
ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලැබුණත් හේමසිරි ලියනගේ නම් රංගධරයාට විශ්‍රාම යාමට තවම කාලය නොවේ. ඇඟපත හයිය හත්තිය තියෙන තුරාවට රංගනයේ යෙදෙන්නට කලාකරුවකුට බාධාවක් නැත. එහෙත් ඔහු බොහෝ කාලෙකින් නිර්මාණයකට රංගනයෙන් දායක වී නැත. චන්න කින්නරි, සප්ත කන්‍යා, මේ මගේ සඳයි, ස්ත්‍රී, අස්වැසුම, සංක්‍රාන්ති, සුදු ෙසවණැලි, සලෙළු වරම, මධුර චාරිකා, සංසාරයේ දඩයක්කාරයා, බව දුක, බව කර්ම, විෂම භාග ආදියෙහි ඔහු කළ විශිෂ්ට රංගනයන් කිසිසේත්ම අපට අමතක කළ හැකි නොවේ. ටෙලි නාට්‍ය ගණනාවකම ද ඔහු අපූරු රංගනයන්හි නිරත වූ අයෙකි. ‘අසල්වැසියෝ’ ටෙලි නාට්‍යයෙහි නීතිඥවරයාගේ චරිතයෙන් අදටත් බොහෝ අය ඔහු අමතන්නේ ‘අයි නෝ ද ලෝ මහත්තයා’ කියා ය. “විෂම භාග” සිනමා රංගනය වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර සම්මානයක් ද හිමි විය. එවැනි ශිල්පියෙක් විශ්‍රාම සුවයෙන් නිෙවසේ රැඳී සිටිය යුතු නැත.
“මෙහෙමයි ඉතින්. මම මුලින්ම රඟපෑවේ “බළල් ශාස්ත්‍රය” කියලා රෝහණ බැද්දගේ කළ නාට්‍යයකයි. ඒක ලුම්බිණි රඟහලේ වේදිකාගත කළා. මමත් වේදිකා නාට්‍ය කිහිපයක්යම නිර්මාණය කළා. ඒ අතරින් කිහිපයක්ම දේශපාලනික නාට්‍ය ලෙස දැඩි විවේචනයට ලක්වුණා. 1975 මං කළ ‘නරියා සහ කේජු’ නාට්‍යය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. රහස් පොලිීසිය මගෙන් ඒ නාට්‍යය ගැන ප්‍රශ්න කළා. නාට්‍යය පස් වතාවක් රහස් පොලීසිය ඉදිරියේ පෙන්නුවාට පස්සේ වේදිකාගත කළා. නාට්‍යයේදී පාවිච්චි කළ ආයුධ වේදිකාවේ භාවිත කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් ඒ වසරේ ජාතික නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය සහ හොඳම සංගීතය සඳහා සම්මාන මේ නාට්‍යයට ලැබුණා. විජය නන්දසිරිත්, මටත් එහිදී කුසලතා සම්මාන ලැබුණා. 2024 වසරේ රාජ්‍ය සාහිත්‍ය උලෙළට ‘නරියා සහ කේජු’ නාට්‍යයේ පිටපත මම ඉදිරිපත් කළා. ඒ සඳහා හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිටපතට හිමි සම්මානය හිමි වුණා. කලාවට කාලයක් නැහැ තමයි. 1982 දී මම ‘චිත්‍රාගේ ප්‍රේම කතාව’ නිෂ්පාදනය කළා. ඒකත් දේශපාලන කතාවක් නිසා විරෝධතා පැනනැගුණා. ඊට පස්සේ ‘විශාලා මහනුවර’ නාට්‍යය මම ලිව්වා. නමුත් ඒක වේදිකාවට ගේන්න බැරි වුණා. ටෙලි නාට්‍යය සහ සිනමා රංගනයට ගියාට පස්සේ මම නාට්‍යය නිර්මාණය කළේ නැහැ. චරිත ගණනාවක් ඒවායේ රඟපෑවා. මම කළේ චරිත තුළට ගිහින් රඟපෑමයි. චරිත මගේ ළඟට අරන් රඟපෑවේ නැහැ. සිනමා තරු කියන අය තමයි බොහෝ වේලාවට තමන් වෙතට චරිත කැඳවාගෙන රඟපාන්නේ. නමුත් මම කළේ පිටපත්වල තියෙන චරිත බවට පත්වී රඟපෑමයි. අද ඉතින් ගොඩාක් වෙලාවට ගෙදරටම වෙලා ඉන්නේ රඟපෑමට ආරාධනා නැතුව නෙවෙයි. අද මේ තියෙන චරිත වඩාත් සුදුසු වෙන්නේ සිනමා තරුවලට මිස අපි වගේ චරිතවලට කිඳා බැහැලා රංගනයේ යෙදෙන රංගන ශිල්පීන්ට නොවන නිසයි. චරිතයක් රඟපානවා කියන්නේ කැමරාව ඉස්සරහ හිටගෙන දෙබස් ටිකක් කියන එක නෙවෙයි කියලයි මට හැඟෙන්නේ. දැන් එහෙම චරිත ලියවෙන්නේ නැහැනේ. අපි කරන චරිතයකින් අපට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ නැත්නම් එහෙම චරිතයක බොරුවට පෙනී සිටීමේ තේරුමක් නැහැනේ. මොකද අපි කලාව මුදලට ලඝු කළ පිරිසකුත් නෙවෙයිනේ. ඒ නිසා ඒ විදිහේ රඟපාන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් අද වුණත් රඟපානවා. එහෙම නැත්නම් ගෙදරට වෙලා බිරිඳටත් උදව්වක් කරගෙන පොතක් කියවගන්න එකේ සතුටක් තියෙනවා.”
තුෂාරී කළුබෝවිල (රසඳුන)