lan englan tam

පුවත්

කතන්දර කිසිදා අවසන් නොවන තැන දැන් විවේක ගන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පේරු රාජ්‍යයෙන් බිහිවූ ලොව ප්‍රකටම ලතින් ඇමරිකානු නවකතාකරුවෙකු වූ මාරියෝ වර්ගාස් යෝසා ඊයේ අභාවප්‍රාප්ත වූ බව දැනගන්නට ලැබුණා.

2010 වසරේ දී ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර නොබෙල් ත්‍යාගය දිනූ එකම පේරු ජාතිකයා වන්නේ ඔහුයි.

489411853 10161315327484226 2905985400328441077 n2010 වර්ෂයේදී මාරියෝ වර්ගාස් යෝසා සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවස්ථාව

ලංකාව තුළ ද ඔහුගේ කෘතීන් බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වී තිබුණා. විශේෂයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය  වූ ඔහුගේ කෘතීන් කිහිපයක්ම තිබෙනවා.

ඔහුගේ ‘The Bad Girl’ කෘතිය ‘විසේකාරී’ යන නමින්  සිංහලයට පරිවර්තනය කලේ ගාමිණී වියන්ගොඩ විසිනි. එය ලංකාවේ වඩාත්ම ප්‍රකට වූ මාරියෝගේ කෘතිය ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම ඔහුගේ ‘The Real Life of Alahrndro Maytha’ ‘අලයෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය’ යන නමින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ද ගාමිණී වියන්ගොඩ විසිනි. මාරියෝ වර්ගාස් යෝසාව මුලින්ම ලංකාවට හඳුන්වාදුන් කෘතිය වන්නේ ද එයයි.

යෝසාගේ ‘Who Killed Palomino Molero?’ කෘතිය ‘නිර්නාමික ඝාතකයා’ යන නමින් සිංහලයට පරිවර්තනය කළේ ඉන්දික ගුණවර්ධන විසිනි.

යෝසා ලියූ ‘තරුණ නවකතාකරුවෙකු වෙත කියන කෘතිය’ ලියනගේ අමරකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කළා.

‘වීරයෙක් ඇවිත්’ යන නමින් යෝසාගේ ප්‍රථම නවකථාව වන ‘The Discreet hero’ කෘතිය සිංහලයට පරිවර්තනය කළේ චූලානන් ද සමරනායක විසිනි.

එමෙන්ම මාරියෝ විසින් රචිත ‘Death in the Andes’ කෘතිය ‘අන්දීස්ගේ මරණය’ යන නමින් සිංහලයට පර්වර්තනය කළේ ද චූලානන් ද සමරනායක විසිනි.

පහතින් දැක්වෙන්නේ එරන්ද මහගමගේ විසින්  මාරියෝ වර්ගාස් යෝසා ගේ කෘතීන් පිළිබඳව සිය මතකය අවදි කරමින් තබන ලද සටහනකි.

(උපුටාගැනීම)

“කතන්දර කිසිදා අවසන් නොවන තැන දැන් විවේක ගන්න.

Mario Vargas Llosa ට කළ හැකි උපරිම ගෞරවය වන්නේ ඔහුව - ඔහුගේ අදහස් කියවීමයි. ගාමිණී වියන්ගොඩගේ The Bad Girl “විසේකාරී” පරිවර්තනය තුළින් මා මාරියෝගේ ලෝකය වෙත සේනුදු කළ අතර Liyanage Amarakeerthi ගේ Letter To A Young Novelist “තරුණ නවකතාකරුවෙකු වෙත”කෘතියෙන් එය තවත් දුරදිග යන ගවේශනයකට මග පාදන ලදි.

මාරියෝ හුදු ලේඛකයෙකුට වඩා විසල් මිනිසෙක් - ඔහු සමාජය හැඩගැස්වීමේ අත්‍යවශ්‍ය බලවේගයක් ලෙස සාහිත්‍යය දුටු නිර්භීත චින්තකයෙකි. ඔහු විශ්වාස කළේ ප්‍රබන්ධය ගැලවීමේ මාධ්‍යයක් නොව යථාර්ථයට මුහුණ දීමට, අධිකාරියට අභියෝග කිරීමට සහ ලෝකය පවතින ආකාරයට ප්‍රශ්න කිරීමට එය ප්‍රබල මාර්ගයක් බවයි. ඔහුගේ ලිවීම බුද්ධිමය ගැඹුර, දේශපාලන බැඳීම සහ අපහසුතාවයට පත් වූ විට පවා සත්‍යයට කැපවීම මගින් සලකුණු විය.

ආඛ්‍යාන සංකීර්ණත්වයේ සහ මනෝවිද්‍යාත්මක තීක්ෂ්ණ බුද්ධියේ විශිෂ්ට සම්මිශ්‍රණයකින් ඔහු බලය, දූෂණය, නිදහස සහ අනන්‍යතාවය යන තේමාවන් ගවේෂණය කළේය. ඔහුගේ විලාසය අලංකාර නමුත් නිර්භීත, සූක්ෂ්මතාවයෙන් පොහොසත් වූ අතර මිනිස් ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් මෙහෙයවනු ලැබීය.

මාරියෝ පිළිබද තිබු උනන්දුව නිසාම ලතින් ඇමරිකානු මිතුරන් සෑහෙන පිරිසක් ජීවිතයට එකතු විනි. විසේකාරී නවකතාවේ එන ලිලී Lily ගේ චරිතය විශිෂ්ට ගණයේ ඉදිරිපත් කිරීමක්. එවැන්නියක් හමුවන්නේ කලාතුරකින්. තුර්කියේදී හමුවූ එවැන්නියකට The Bad Girl තුර්කි පිටපතක් තෑගි කළෙමි. මේ තියෙන්නේ ඒ පිටපත. තුර්කි පිටපත පරිවර්තනය වී තිබුණේ කෙලින්ම ස්පාංඥ බසින් Travesuras de la niña mala නිසා කියවද්දී වෙන රසයක් දැනුනා.

489928254 24147513381516122 8623801492451307979 n

අපේ රටේ අඩුම තරමින් වි. වි වල ප්‍රංශ, ස්පාංඥ, ජර්මානු භාෂා පිළිබද උනන්දුව තව තවත් වැඩි කළ යුත්තේ අපට ලෝකය ගැන දැනගන්න යතුරැ ගණනාවක් ඉන් ලැබෙන නිසායි. එහෙම වුණා නම් මේ වගේ සෑහෙන ලේඛකයන් අදුරගන්න හැකියි. මාරියෝට සුව නින්දක් ! ’’

(උපුටා ගැනීම අවසන්)

මේ  ඔහුගේ  කෘතීන් කිහිපයක්ම සිංහල භාෂාවට පරිවර්තනය කළ චූලානන් ද සමරනායක විසින් මාරියෝ වර්ගාස් යෝසා ගේ  අභාවය පිළිබඳව දක්වා තිබූ සටහනකි.

(උපුටා ගැනීම)

“මාරියෝ වර්ගාස් යෝසා දිවි සැරිය නිමකළ පුවත ලදිමි. ඒ සියල්ල නතරවූ සේ දැනුණ මොහොතකි. ඔහු නැති අඩුව නොපිරී පවතිනු ඇත.

මා ඔහු දකින්නේ මාකේස්ද අභිභවා ගිය ලතින් ඇමරිකානු දැවැන්තයා ලෙසිනි. මාර්කේස් පළවූ සිය අවසන් කෘතිය වන My Melancholy Whores එලිදකින විට සිටියේ සිය නිර්මාණ සැරියේ පහළ බසිමිනි. එහෙත් යෝසා අවසන් මොහොත දක්වාම සිටියේ පියෙන් පිය ඉහළ නගිමිනි. එය පහසු ගමනක් නොවේ.

ඔහුගේ සෑම කෘතියක්ම අසිරියකි. ලේඛකයන්ට වටනා වැඩබිමකි. ලියන්නේ කෙසේදැයි හදාරන්නෙකුට ඔහුගේ නිර්මාණ පිරික්සීමෙන් උගත හැකි දේ බොහෝය.

ඔහු අපට හඳුන්වා දුන්නාට ගාමිණී වියන්ගොඩට තුති. ඒ ගමන තවත් ඉදිරියට ගෙන යෝසාගේ වැදගත් කෘති අපට ගෙන ආ අමරකීර්තිට තුති.

යෝසා, මට නම් ඔහු සාහිත ඩයිනෝසරයෙකි.”

YOSA 11

 

(චූලානන්ද සමරනායකගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom