පේරු රාජ්‍යයෙන් බිහි වූ ලොව ප්‍රකටම ලතින් ඇමෙරිකානු නවකතාකරුවෙකු වූ මාරියෝ වර්ගාස් යෝසා අභාවප්‍රාප්ත වී තිබෙනවා
වයස අවුරුදු 89 දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනයක් පළ කරමින් කියා තිබෙනවා
2010 වසරේ දී ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර නොබෙල් ත්‍යාගය දිනූ එකම පේරු ජාතිකයා වන්නේ ද ඔහුයි.
2010 දී මාරියෝ වර්ගාස් යෝසා සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවස්ථාව
ඔහු දේශපාලනය තුළ බලය, දූෂණය මෙන්ම දේශපාලනයේ සිටින මිනිසුන් ගැන තියුණු කියැවීම් සහිත නවකතා ලියූවෙක්. ඔහු 1990 දී පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ නමුත්, ඔහුගේ ප්‍රතිවාදියා එවර ජනාධිපතිවරණය ජයගත්තා.
1990 යෝසාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර
"මරණය මට දුකක් නොවේ. අපි සදාකාලිකව ජීවත් වූවා නම්, එය යාන්ත්‍රික වී, ඉතා කම්මැලි දෙයක් වනු ඇත. අපි සදාකාලික නම් එය භයානක දෙයක් වනු ඇත. ජීවිතය එතරම් පුදුම සහගත යැයි මම සිතන්නේ එයට අවසානයක් ඇති බැවිනි." මාරියෝ වර්ගාස් යෝසා වරෙක එසේ ලීවේය.
ලෝසා ගේ කෘතීන් ගණනාවක් සිංහල බසට පරිවර්තනය වී තිබෙනවා.
ඔහුගේ ‘The Bad Girl’ කෘතිය ‘විසේකාරී’ යන නමින් සිංහලයට පරිවර්තනය කලේ ගාමිණී වියන්ගොඩ විසිනි. එය ලංකාවේ වඩාත්ම ප්‍රකට වූ යෝසාගේ කෘතිය ලෙස හැඳින්විය හැකියි.
එමෙන්ම යෝසාගේ ‘The Real Life of Alahrndro Maytha’ ‘අලයෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය’ යන නමින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ද ගාමිණී වියන්ගොඩ විසිනි. මාරියෝ වර්ගාස් යෝසාව මුලින්ම ලංකාවට හඳුන්වාදුන් කෘතිය වන්නේ ද එයයි.
යෝසාගේ ‘Who Killed Palomino Molero?’ කෘතිය ‘නිර්නාමික ඝාතකයා’ යන නමින් සිංහලයට පරිවර්තනය කළේ ඉන්දික ගුණවර්ධන විසිනි.
යෝසා ලියූ ‘තරුණ නවකතාකරුවෙකු වෙත කියන කෘතිය’ ලියනගේ අමරකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කළා.
‘වීරයෙක් ඇවිත්’ යන නමින් යෝසාගේ ප්‍රථම නවකථාව වන ‘The time of the hero’ කෘතිය සිංහලයට පරිවර්තනය කළේ චූලානන් ද සමරනායක විසිනි.
පහතින් දැක්වෙන්නේ යෝසාගේ කෘතීන් කිහිපයක්ම සිංහලයට පරිවර්තනය කළ ප්‍රවීන පරිවර්තක චූලාන්නද සමරනායක විසින් මාරියෝ වර්ගාස් යෝසා ගේ අභාවය පිළිබඳව සිය මුහුණු පොතේ තැබූ සටහනකි.
(උපුටාගැනීම)
''මාරියෝ වර්ගාස් යෝසා දිවි සැරිය නිමකළ පුවත ලදිමි. ඒ සියල්ල නතරවූ සේ දැනුණ මොහොතකි. ඔහු නැති අඩුව නොපිරී පවතිනු ඇත.
මා ඔහු දකින්නේ මාකේස්ද අභිභවා ගිය ලතින් ඇමරිකානු දැවැන්තයා ලෙසිනි. මාර්කේස් පළවූ සිය අවසන් කෘතිය වන My Melancholy Whores එලිදකින විට සිටියේ සිය නිර්මාණ සැරියේ පහළ බසිමිනි. එහෙත් යෝසා අවසන් මොහොත දක්වාම සිටියේ පියෙන් පිය ඉහළ නගිමිනි. එය පහසු ගමනක් නොවේ.
ඔහුගේ සෑම කෘතියක්ම අසිරියකි. ලේඛකයන්ට වටනා වැඩබිමකි. ලියන්නේ කෙසේදැයි හදාරන්නෙකුට ඔහුගේ නිර්මාණ පිරික්සීමෙන් උගත හැකි දේ බොහෝය.
ඔහු අපට හඳුන්වා දුන්නාට ගාමිණී වියන්ගොඩට තුති. ඒ ගමන තවත් ඉදිරියට ගෙන යෝසාගේ වැදගත් කෘති අපට ගෙන ආ අමරකීර්තිට තුති.
යෝසා, මට නම් ඔහු සාහිත ඩයිනෝසරයෙකි.''
(චූලානන්ද සමරනායකගේ මුහුණු පොත ඇසුරිනි)