lan englan tam

පුවත්

අවමංගල්‍ය උත්සවයේදී මාලිනිය ගැන සෞම්‍ය ලියනගේ පැවසුවේ කුමක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ (26) දිනයේ දැයෙන් සමුගත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වූ අවමංගල්‍ය උත්සවයේදී අචාර්ය සෞම්‍ය ලියනගේ විසින් පැවැත්වූ කතාව පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කොට තිබුණා.

එම අදහස් දැක්වීම සංකීර්ණ භාවයකින් යුක්ත බව එසේ පලවූ එක් අදහසක්.

පහතින් දැක්වෙන්නේ සෞම්‍ය ලියනගේ විසින් පැවැත්වූ එම කතාවේ සරල සිංහල අනුවාදයක්. මෙය නුවන් ඉෂාර මහගමගේ විසින් සකස් කරන ලද්දකි.

(උපුටාගැනීම)

මාලිනී රඟපාන්න එන්නෙ නිදහසින් පසු බිහිවුන ලංකාවෙ.

ඒ වෙද්දි සුද්දා දීලා ගියපු ව්‍යාජ සදාචාරය බුද්ධාගමේ තිබුනු සදාචාරයක් කියලා හිතාගෙනයි ලංකාවෙ මිනිස්සු ජීවත් උනේ.

ඒ හින්දා මේ කාලයේදි ලංකාවෙ මිනිස්සු සිනමාව කියන දේ බාරගත්තෙ කලාත්මක මාධ්‍යයක් විදිහට නෙවෙයි. සදාචාරයට විරුද්ද සංකර දෙයක් විදිහට. ඉතින් මාලනී නියෝජනය කෙරුවෙ ලංකාවෙ සමාජය උඩු යටිකුරු කරපු, සංස්කෘතික වෙනස්කම් ඇතිකරපු සිනමාවක්.

ඒ හින්දාම මාලනී ගැන කතා කරනවා කියන්නෙ එක පැත්තකින් ලංකාවේ සිනමා පරිවර්නය ගැන කරන පර්යේෂණයක්. ඒ අධ්‍යයනය ලංකාවේ මහා සමාජයේ සම්මත වෙලා තිබුනු දේවල් සුණු විසුණු වෙච්චි විදිහ ගැනත් හැදෑරීමක්.

මාලනී නිරූපණය කරපු චරිත සහ ඇගේ පෙනුම විසින් ලංකාවේ මිනිස්සුන්ගෙ සිත්වල ඇතිකරපු කැළඹීම සුලුපටු නෑ. මළගෙදරට නොකඩවා ආපු සෙනඟම ඊට කදිම සාක්ෂියක්.

මාලනී සිිංහල සිනමාවේ නිළි රැජින වෙන්නෙම මේ අති දක්ෂ රඟපෑමේ කෞෂල්‍යය සහ ඇගේ මනබඳනා රූපය හින්දා.

සිංහල සිනමාවේ නිළි රැජින කියලා ඇයට ඔටුනු පැළැන්දුවට, අපි මාලනියගේ සිනමාව ගැන ගැඹුරු හැදෑරීමක් කෙරුවාද හෝ අවධානයක් දුන්නාද කියන එක සැක සහිතයි.

සිනමා කලාව තුළදී වඩාත් ගැඹුරින් කතා කරන්නෙ අධ්‍යක්ෂණය, කලා භාවිතය, තිර රචනය වගේ තාක්ෂණික කාරණා විතරක් වීම උභතෝකෝටිකයක්.

සිනමාව ගැන හදාරපු විද්වතුන් කියන්නෙ, සිනමාවේ චරිත නිරූපණය කරන අය හරියට පහළින් ආරක්ෂක දැලක් එලලා ඊට උඩින් දස්කම් පාන සර්කස් කරුවන් වගේය කියලා. මේ දැල තමයි තාක්ෂණය. ඒ කියන්නෙ කැමරාව, ශබ්ද, සංස්කරණය වගේ දේවල්. එයින් සිනමා නලුවාගේ අත්වැරදීම් ආරක්ෂා කරනවා.

හැබැයි ප්‍රශ්නෙ තමයි සිනමාව ගැන විචාරය කරන හැම වෙලාවෙම මේ දැල තමයි මූලිකව විමර්ශනය කරන්නෙ. රංගනය (සිනමාවේ රූපණ කාර්යභාරය) ගැන විචාරය කරන්නෙ ද්විතීයික සාධකයක් විදිහට. මේ තත්ත්වය පෙරදිග සහ බටහිර දෙකේම දකින්න තියෙන පොදු දෙයක්.

මේ ගැන අදහස් පළ කරන විද්වතුන් කියන්නෙ, තාක්ෂණික අංශයට මුල් තැන දීලා නලුවාගේ රංගනයේ තියෙන හැඟීම් ප්‍රකාශන, චරිත තෝරාගැනීම් වගේ දේවල්වල තියෙන විශිෂ්ටතාව ගැන අලුතින් විමසන්න කාලෙ හරි බවයි.

ඒ හින්දා අද දවසේ අපට මාලනී වෙනුවෙන් කරන්න පුලුවන් උපහාරය තමයි ඇගේ රංගනය, චරිත නිරූපණය වගේ විශිෂ්ටතා පිළිබඳව සිය ගානක් වූ චිත්‍රපට ඇසුරෙන් අලුතින්ම මතු කර පෙන්වීම.

මාලනීගේ චිත්‍රපට ලැයිස්තුව නැවත සොයා මතුකරගැනීම පහසු නෑ. ඒ බොහෝ ඒවා කාලයත් සමඟ මැකීගිය, යටගිය, සංරක්ෂණය නොවූ ඒවා. වර්තමාන සිනමා විද්‍යාර්ථීන් මත පැටවුනු වගකීම තමයි මේ සිනමා කතිකාව මතු කිරීම.

සම්භාව්‍ය වගේම වාණිජ චිත්‍රපට කියන දෙඅංශයේම මාලනී සිය ප්‍රතිභාව විදහා දක්වලා තියෙයි. මාලනීගේ සිනමා කාර්යභාරය විමසීමේදී මේ දෙආකාරයේම චිත්‍රපට අතිශය වැදගත්.

සිනමාව කියන්නෙ ආසියානු සමාජ දේශපාලන දේහය පිළිබඳව අධ්‍යයනය කරන අයට අත්හළ නොහැකි වැඩබිමක් බව විමල් දිසානායක කියනවා. විශේෂයෙන්ම එහිදි ස්ත්‍රී රූපණවේදීන්ගේ (නිළියන්ගේ) දායකත්වය වැදගත් කාර්යබාරයක් කරනවා.

ඒ හින්දා මාලනීගේ රඟපෑම, මුලින් කිව්වා වගේ නිදහසින් පසු ලංකාවේ සමාජය වගේම, ආසියාවේ ස්ත්‍රී භූමිකාව ගැනත් හොඳ අධ්‍යයනයක්. ලංකාවේ වාණිජ සිනමාව තුළ මාලනී කළ දේවල් විසින් සමාජයේ සිටි ස්ත්‍රිය නිරූපණය උනා වගේම ඈ රඟපෑ චරිත අනුව ලංකාවේ ස්ත්‍රිීන් සිය ස්වභාවය හැඩගස්වාගත් බවත් ඇත්තක්.

සාමාන්‍යයෙන් වාණිජ සිනමාවෙන් පුරුෂ මූලික සමාජය උඩුයටිකුරු කරන ස්ත්‍රීවාදී වැඩ කරන්නෙ නෑ.

ඒ උනාට සමාජය ඇතුලෙ ස්ත්‍රියගේ භූමිකාව ගැන වැදගත් මැදිහත්වීමක් වාණිජ සිනමාව විසින් කරනවා. වාණිජ සිනමාව වැළඳගන්නෙ සාමාන්‍ය පොදු ජනයා වීම එක්තරා විදිහකට ප්‍රභූ අධිකාරියට කෙරෙන අභියෝගයක්.

මාලනිය මේ වාණිජ සිනමාවේත් ප්‍රභල චරිතයක්. මාලනීගේ රංගනය ලංකා සමාජයේ කාන්තාවගේ සංස්කෘතික විකාශනය ගැනත් අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක් වෙන්නෙ අන්න ඒ හින්දා.

ඒ වගේම මාලනී රඟපෑ චරිත විසින් ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික ස්වභාවය ඇති සැටියෙන් නිරූපණය කෙරුවා.

එහෙම බැලුවහම අපි මෙතෙක් කල් අධ්‍යයනය කරලා තියෙන්නෙ මාලනීගේ රංගනය හෝ චරිත නිරූපණය නෙවෙයි. ඈ රඟපෑ චිත්‍රපටවල විශිෂ්ට බව හෝ එහි බළපෑම ගැන විතරයි. කොටින්ම අපි කතාකරලා තියෙන්නෙ ඈ රඟපෑ චිත්‍රපට ගැන මිස ඇගේ චරිත නිරූපණ හෝ ඒවායේ ගැඹුර නෙවෙයි. මේ තත්ත්වය සිනමා අධ්‍යයන ඉතිහාසයේ මුල ඉඳන්ම තියෙන ගැටලුවක්.

මම විසින් පළකරපු පර්යේෂණ පත්‍රිකාවක් වූ Phenomenology of an actor's experience in filmic performance හි දී මම මතුකෙරුවෙ මේ ගැටලුව ම තමයි.

එනම් සමකාලීන සිනමාව විචාරය කිරීමේදී යොදාගන්නේ අදාල නලුවාගේ හෝ නිලියගේ චරිතය ඉදිරිපත් කරන ස්වභාවය විතරයි. නමුත් එම චරිත සමඟ ගනුදෙනු කළ ආකාරය, එහි වූ අත්දැකීම විචාරකයා අතින් ගිලිහෙනවා.

මාලනී වසර 50කට අධික කාලයක් සිනමාවට සිය දායකත්වය දීලා අද අපෙන් සමුගන්නවා. ඇයට සිනමාවේ නිළි රැජින කියන්නෙ නිකන් නෙවෙයි. අප මෙහිදී පැවසූ සියලු ගැඹුරුතා ඇගේ සිනමාවේ තිබුනු නිසයි.

සුරූපී මුහුණක් සහිත මාලනිය ලංකාවේ සිනමා රසිකයින්ට ආශාවේ වස්තුව බවට පත් උනා. වසර 50 ක් පුරා කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධ වු ඇගේ රූ සපුව විසින් ලංකාවේ සිනමාවට උරුම වූ උභතෝකෝටික ඉරණමද පෙන්නුම් කරනවා.

ඩී බී නිහාල්සිංහ කියනවා අපට තිබුනේ ස්වර්ණමය යුගය පසුකළ සිනමාවක් මෙන්ම අඳුරු සහගත ඉතිහාසයක් පෙන්නුම් කළ සිනමාවක් කියලා. ඒ කියන්නෙ සිනමාවේ සෞන්දර්යය කියන්නෙ ම අවිනිශ්චිත දෙයක්.

ජයදේව උයන්ගොඩ කියනවා සිනමාවේ මේ සෞන්දර්යය එක මොහොතක සුජාතකරණයට ලක්වන අතර තවත් මොහොතක ප්‍රතික්ෂේප වන බව. එය වරෙක තහනමට ලක්වන අතර තව වෙලාවක මහා ඉහළින් පිලිගන්නවා. තවත් වෙලාවත මේ සෞන්දර්යයම අතිශය ස්වභාවිකයි කියලා පිලිගන්නවා වගේම වරෙක අපුල සෞන්දර්යයක් ලෙස බැහැර කරනවා.

සිනමාව හොඳද නැද්ද කියන එක මෙහෙම කාලෙන් කාලෙට එක එක විදිහට පිලිගැනීම කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි. ඊට බළපෑම්සහගත පාලක පන්තිය අතින්. (සිනමාවෙදි මේ අයට විචාරකයින්, බුද්ධිමතුන්, රාජ්‍ය තන්ත්‍රය, දේශපාලකයින් අයිති වෙනවා)

ඒ අර්ථයෙන් ගත්තහම අපි ඉස්සරහ සැතපී සිටින මේ මාලනිය, එකී දැවැන්ත සිනමා ඉතිහාසය සඟවාගත් පොසිලයක් බඳුයි. මම යෝජනා කරනවා අපිට මාලනීගේ සිනමාව තේරුම්ගන්න නම් ඈ චරිත නිරූපණය කරපු චිත්‍රපට නැවත අලුත් ආකාරයකින් (ප්‍රති සන්දර්භගත කොට) විමර්ශනය කළයුතු බව. ඇයටම අනන්‍ය වූ රූපණය අධ්‍යයනය කළ යුතු බව.

සිනමාව විසින් සමාජයට කෙරෙන බළපෑම තීරණය කිරීමේදී සිනමාවේ තාක්ෂණික අංශය වැදගත් වන්නෙ යම් සේ ද, එම බළපෑම තීව්‍ර කරන වඩාත් වැදගත් ම මූලිකාංගය වන්නෙ නලු නිලියන්ගේ රංගනය යි.

වෝල්ටර් බෙන්ජමින් වරෙක කිව්වා කැමරා ආදී සිනමා තාක්ෂණික උපකරණ විසින් නලුවා පරයා යන බව. නමුත් ලංකාවේ සිනමාවේදී මේ තාක්ෂණික උපකරණ අභිබවා ගිය විශිෂ්ට නිරූපණ ශිල්පිනිය වන්නේ මාලනිය යි. මාලනිය අද නිසල වුවත් ඇගේ සිනමාව තවත් සියවස් ගණනක් සිනමා තිරමත දිගහැරෙනු ඇති.

ඒ අරුතින් මාලනිය මියගොස් නෑ. සිදු වෙලා තියෙන්නෙ ඇය මරණය වූ නම් තවත් භූමිකාවක් වෙත ප්‍රවේශ වීම යි.

රංගනය කියන්නෙ නිතරම වෙමින් පවතින දෙයක්. මාලනිය සදාකල්ම පවතිනවා. මේ මොහොතේ ඈ මරණයක ආකාරයෙන් දිස් උනත්, හෙට දිනයේදී නැවත ඇය අයිරින්, කාන්ති, මාලා, සුසී, හෙලන්, සඳා, පුංචි මැණිකා, බණ්ඩාර මැණිකේ හෝ සන්ධ්‍යාරාණි (ඈ නිරූපණය කළ චරිත කිහිපයක්) ලෙසින් රිදී තිරයේ උපදිනු ඇති. එහිදී අපට ඇගේ රූපය නැවත දිස්වනු ඇති.

එතෙක් ඇයට සුව නින්දක්.

( මේ සෞම්‍ය ලියනගේ මාලිනී ෆෝන්සේකාගේ අවමංලෝත්සවයේදී කළ කතාවේ සරල සිංහල අනුවාදය යි. කතාව නොතේරෙන බව, කොටසක් තේරෙන බව හෝ නොගැළපෙන බව කියන පාර්ශ්ව විසින් ද තමන්ගේ මතය කුමක් වුවත් මේ අදහස් පිළිගන්නවා ඇත. ඔහු මාලිනිය සම්බන්ධව කළ පර්යේෂණ පත්‍රිකාව ද කියවා අවසන මේ පිටපත Nuwan Ishara Mahagamage වන මවිසින් ලියන ලද අතර කතාවේ සම්පූර්ණ අයිතිය Saumya Liyanage සතු ය. කතාව සරල කරන්නට යාමේදී මම නැවත වතාවක් තේරුම් ගත්තේ ඇකඩමික් දේ සරල නැති බව ය. සිංහලය සැබැවින් ම ලස්සන බව ය)

(උපුටා ගැනීම අවසන්)

(මෙම ලිපිය Nuwan Ishara Mahagamage face book පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

Back to top
Go to bottom