ඉතිං මේ චිත්‍රපටිය අපිට පෙන්වන්නේ මොකද්ද? ඇත්තටම ඔහු මේ චිත්‍රපටිය හරහා කරන්නේ තමන්ගේ ජීවිතේ දිහා ආයෙත් ආපස්සට හැරිලා බලන එක. ඒ බැලුම් කතාව තමයි ෆිල්ම් එකක් වෙන්නේ. මේ ෆිල්ම් එක කියලා කියන්නේ ගෝලීය උණුසුම ගැන දැනට ලෝකයේ නිර්මිත හොඳම පාඩම. මට හිතෙන්නේ එහෙම. ඒක ඒ තරමට අපේ මොළේට වැදිලා අපිව උස්සලා පොළවේ ගහනවා. අපිට අපේ ලෝකය ගැන නෙවෙයි අපි ගැන ආයෙත් හිතන්න පොළඹවනවා. ඔව් ඇත්තටම මේ ෆිල්ම් එක මිනිත්තු 80ක කම්පන සහගත පාඩමක්.
පුවත්
"I am David Attenborough and I’m 93...."
'I am David Attenborough and I’m 93. This is my witness statement'. අන්නෙහෙමයි ඒ ෆිල්ම් එක පටන් ගන්නේ. ෆිල්ම් එක තමයි - David Attenborough: A Life on Our Planet. අදින් අවුරුදු තුනකට එහා ඔක්තෝම්බර් 4 දාවක මේ චිත්‍රපටියේ නෙට්ෆ්ලික්ස් කියන ප්‍රකට සමාජ මාධ්‍ය සිනමා නාලිකාවේ විකාශය කළා. මේක මගේ හදවත මොහොතක් නතර කරපු චිත්‍රපටියක්. මට දැන් මේ චිත්‍රපටිය ආයෙත් නිතර මතක් වෙනවා. පහුගිය දවස්වල ඩුබායි නගරය හදිස්සියේ ගංවතුරෙන් යටවෙනකොට අපි ආයෙත් මේ චිත්‍රපටිය ගැන කතාකරන්න පටන් ගත්තා. ඩුබායි ගුවන්තොටුපළ පරිශ්‍රය කියන්නේ නවීන තාක්ෂණය උපරීමය භාවිතා කරලා හදපු තැනක්. ඒත් එයටත් දේශගුණ විපර්යාසය නිසා උරුම වුණ හදිස්සි ගංවතුර තත්ත්වයට ඔරොත්තු දෙන්න බැරිවුණා. ඩුබායි නගරයේ තත්ත්වයත් ඒකයි.
පොසිල එකතුකළ දරුවා
කොට කලිසමක් ඇඳගෙන පොසිල එකතු කරන පිරිමි ළමයෙකු වුණ ඇටන්බරෝගේ අතීතයෙන් තමයි ෆිල්ම් එක පටන්ගන්නේ. ඊළඟට බීබීසිය වෙනුවෙන් රුවන්ඩාවේ ගිහිං ගොරිල්ලන් එක්ක එකට ඉන්න ඇටෙන්බරෝ. බෝනියෝ වැසි වනාන්තර ඔරන්හොටන් සතුන්, මේ අතීත සංරක්ෂිත කාල සිනමා කැබලි හරහා ගිහිං වර්තමානයට එනකොට අපිට කියන බියජනක කතාව මොකද්ද? වනාන්තර හිස් වෙලා. රූස්ස ගස් පුටු මේස වෙලා. ඔරන්හොටන් ලා තනිවෙලා. වඳවෙමින් යමින් ඉන්නවා. ලෝක ජනගහනය ඕසෙට වැඩිවෙමින් තියෙනවා. ෆිල්ම් එක අස්සේ ඒ සංඛ්‍යා දත්ත පැරණි සංඛ්‍යා දත්ත එක්ක පැටලිලා අපිට ලොකු කතාවක් කියනවා.
අන්තිමට ඔහු මේ ෆිල්ම් එක හරහා තමන් පහුකරපු ජීවිතේ දිහාම ආපස්සට හැරිලා බලලා අපිට කියන්නේ, අපි දැන්හරි ආපස්සට හැරෙන්න තීරණය කළොත් අපි තවමත් ප්‍රමාද නැහැ කියලා. ඔහු කියනවා ලෝක ජනගහන වර්ධනය නවත්වන්න කියලා. ධීවර තහනම් කලාප ඇති කරන්න. ඇති කරලා සාගර මත්ස්‍ය සම්පත ගැන හිතන්න කියලා. ඔහු මේ ෆිල්ම් එක හරහා පෘථිවිය රැකීම ගැන නෙවෙයි කතා කරන්නේ. ඔහු මේ ෆිල්ම් එක හරහා කතාකරන්නේ මානව ඉතිහාසය රැකගන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම ඔහුට මෙහෙම අපිට පාඩම් උගන්වන්න තියෙන සුදුසුකම මොකද්ද?
ශ්‍රීමත් ඩේවිඩ් ෆ්රෙඩ්රික් ඇටෙන්බරෝ (Sir David Frederick Attenborough) ඒක තමයි ඔහුගේ නම. ඔහු ඉපදෙන්නේ 1926 මැයි මාසේ 08 වෙනිදා එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් වල. දැන් ඔහුට වයස අවුරුදු 97ක්. තව දවස් තුනකින් ඔහුට වයස 98ක් වෙනවා. ඉතිං ඒකත් මේ ලියවිල්ලට නිමිත්තක්. මේ අවුරුදු 98ක විචිත්‍ර ජීවිත ගමන අස්සේ ගුවන්විදුලි නිවේදකයෙක්, ජීව විද්‍යාඥයෙක්, ස්භාවික ඉතිහාඥයෙක් වගේම ලේඛකයෙක් විදිහට පාරිසරික ජනමාධ්‍යවේදියෙක් විදිහට පැතිරුණු ජීවිතයක් ඔහුට උරුම වෙලා තියෙනවා.
මහද්වීප හතේම කරනම් ගැහුවා
ඇටෙන්බරෝ කියන්නේ මහද්වීප හතේම පයගහපු කරනම් ගහපු හාදයෙක්. රටවල් 83ක් හරහා මේ ග්‍රහලෝකයේ ස්ථාන 333ක් හරහා, ඔහු මේ ජීවිත සැරිය අස්සේ සරලා තිබෙනවා. ඔහුගේ මේ පැතිරුණු විසිතුරු ජීවිතේට හේතුව ඔහුගේම තාත්තා කියලා තමයි අන්තර්ජාලයේ තොරතුරු තියෙන්නේ.
ඔහු තමන්ගේ ජීවිතෙන් අවුරුදු 70ක් විතර කැපකරන්නේ BBC හි NHU (The BBC Studios Natural History Unit) එක්ක එකතුවෙලා ජීවයේ අඳුරු අහුමුලුවලට කැමරාව අල්ලන්න. “Planet Earth,” “The Blue Planet,” “Frozen Planet, වගේ විචිත්‍ර වාර්තා වැඩසටහන් මල් මාලාවක් ඔහු මේ ජීවිතේ අස්සේ ගොතනවා. ඒ ප්‍රමානය සීයකට වැඩියි. ඇත්තටම මටනම් හිතාගන්න බෑ මිනිහෙක්ට මෙහෙම වැඩ කරන්න පුලුවන් ද කියලා. නිල් තල්මසා කියන ලෝකයේ විශාලම කිරිබීලා වැඩෙන සතා ගැන කතාකරන ඔහු ඊළඟ වැඩසටහන් මාළාවෙන් අපි ඉස්සරහට එන්නේ ආට්ටික් කලාපයේ සුදුහිම කැට ජීවිත ගැන තොරතුරු අරගෙන. අප්‍රිකා මහද්වීපය ගැන ඇන්ටාක්ටික් ග්ලැසියර ගැන ඇමර්සන් වර්ෂා වනාන්තරය ගැන අපිට ඔහු තරම් කවුරුත් කියාදීලා නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඔහු විචිත්‍ර මැජිකල් සිතන්නෙක්. බටහිරයෝ කියන විදිහට ඔහු ලේඛකයෙක් නිශ්පාදකයෙක් විදිහට වගේම පසුබිම් කථකයෙක් විදිහට මිලියන ගානක් මිනිස්සුන්ගේ විසිත්ත කාමරය අස්සට ස්භාවික ලෝකය අරගෙන ආවා. ඒක තමයි ඔහු කරපු ලොකුම වැඩේ.
ඔහුගේ හඬ ගැඹුරුයි. ඒ හඬ මට අපේ කරුණාරත්න අමරසිංහ මහත්තයාගේ හඬ සිහියට අරගෙන එනවා. හැමදෙයක් වෙතම අවධානය දෙන හඬක් ඔහුට තියෙන්නේ. රූපයට පිටුපසින් ඇහෙන ඔහුගේ මේ වොයිස් ඕවරයන් රූපයේ කතාව අපේ මොළයේ තදින් ලේසර් කිරණවලින් ගැඹුරට අඳිනවා.
අවුරුදු 98ක ජීවිතේ
මානවයා දේවල් හොයන්න ආසයි. නොදන්න මහද්වීප ගවේශනය කරන්න ආසයි. මේ ආසාවට ඔහු කතාකරනවා. මහා බාධක කොරල් පරයේ ජීවිතය කොහොම ඇත්ද? ඉන්දුනිශියාවේ වැසි වනාන්තර වලට මොකද වුණේ? ඇත්තටම කුරුල්ලන්ට මෙහෙම විචිත්‍ර වර්ණ රටා හම්බවුණේ ඇයි? ඇයි ඇත්තටම සමහර විහඟුන් ලස්සනට සිංදු කියන්නේ? දහවල සරණ ජීවීන්ට වඩා රැය සරණ ජීවීන් කොයිතරම් ලස්සනයිද? මේවගේ දේවල් ගැන අපි තවමත් සොයාගෙන යන්න ආසයි. ඉතිං එහෙම ආසවල් තියෙන මානවයන්ගේ ඒ ආසාවන් ඉෂ්ඨ කරන්න ඇටෙන්බරෝ මහත්තයා අවුරුදු 98ක් වෙලත් තවමත් සක්‍රීයව සූදානම් වෙලා බලාගෙන ඉන්නවා.
එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී අපේ ඇටෙන්බරෝ මහත්තයා තමන්ගේ අතීතයට ගමනක් යන ගමන් පොඩි පැටි සන්ඳියේ කරපු දේවල් මතක් කරනවා. 'ෆොසිල ගැන මම හරියට උනන්දු වුණා' ඔහු කියනවා. මට මාළු ටැංකි තිබුණා. මට සර්පයන් හිටියා ගෙම්බෝ හිටියා' මෙන්න මේ ආශාවන් තමයි ලොකු මිනිහෙක් වෙනකොටත් පස්සෙන් එන්නේ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව සහ භූ විද්‍යාව හැදෑරීමෙන් පස්සේ අපේ මේ මහත්තයා 1950 වගේ වෙනකොට බීබීසීයට සම්බන්ධ වෙනවා. මෙහෙම බීබීසීයට එන්න කලින් අවුරුදු 2කක් විතර රාජකීය නාවික හමුදාවේ නාවිකවරයෙක් විදිහට ඉන්න මේ මනුස්සයාට 1954 අවුරුද්දේ මාර චාන්ස් එකක් එනවා. බීබීසී වැඩසටහනක් වුණ Zoo Quest වැඩසටහනේ නිත්‍ය නිවේදකය ලෙඩවෙනවා. මෙන්න මේ සිදුවීම නිසා තමයි අපේ මහත්තයා කැමරාව ඉස්සරහට පැනගන්නේ.
ලයිෆ් ඔන් අර්ත්
මෙහෙම ගිහිං 1957 අවුරුද්දේ තමයි BBC, NHU පටන් ගන්නේ. හැබැයි 1973 වගේ වෙනකොට තමයි අපේ හාදයා මේ චැනල් එක අස්සේ තමන්ගේ අතපය දිග ඇරලා වැඩකරන්න පටන් ගන්නේ. 1979 අවුරුද්දේ මුලින්ම විකාශය වුණ ලයිෆ් ඔන් අර්ත් කතා මාලාව ලිවීම සහ නිෂ්පාදනය නිසා අපේ ඇටෙන්බරෝ මහත්තයා ඒ කාලේ හැටියට මිලියන 500ක බීබීසී ප්‍රේක්ෂක ජනතාවක් ඉස්සරහා තමන්ගේ නම සටහන් කරගන්නවා. ඇත්තටම බ්‍රිතාන්‍යයේ මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය අස්සේ ඇටෙන්බරෝ කියන නම මේ වැඩසටහන් මාලාවෙන් පස්සේ ස්ථාපනය වෙනවා. මේක සෑහෙන්න ජනප්‍රියත්වයට පත්වුණ වැඩසටහනක් වෙනවා.
මේ විදිහට පටන් ගන්න ඇටෙන්බරෝ මහත්තයාගේ රූපවාහිනී කෙරුවාව අතුඉති දාලා වැඩෙනකොට ඔහු මේ කලාපයට කරපු දේවල් අපිට අමතක කරන්න බෑ. බීබීසීයේ එන්එච්යූ වැඩසටහන් කියලා කියන්නේ තාක්ෂණය හොඳටම පාවිච්චි කරපු නව තාක්ෂණයන් සොයාගෙන ගියපු වැඩසටහන්. ඒකට ප්‍රධාන බලපෑම ආවේ ඇටෙන්බරෝ මහත්තයාගෙන්. මේ හින්දා වනජීවී චිත්‍රපට කියන ශානරය මාර විදිහට වෙනස් වෙනවා විතරක් නෙවෙයි මිනිස්සු අල්ලගෙන බැඳගන්නවා. පියාසරණ රාජාලීන්ට කැමරා සවිකිරීමේ ඉදලා වේගයෙන් චලනය වෙන කුරුලු පියාපත් මන්ඳගාමී චලිතයන් කරලා ඒ ලස්සන අපේ ඇස් අස්සට වීසිකරන්න අධිවේගී කැමරා භාවිතා කරන්න පටන් ගන්නවා. අද ගෝප්‍රෝ කැමරා අරගෙන තමන්ගේ කූඩුවට යන ලේනුන් කැමරාකරුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ මුල් පටන් ගැනීම් නිසා.
ක්ෂරපායින් ගැන හදපු රූපවාහිනී මාලාවේ ටැන්සානියාවේ Ngorongoro ආවාටයේ රාත්රියේදී මී ගවයෙකු ගෙන්වා ගන්නා හයිනාගේ විස්මිත වර්ණය විශේෂිත තාප සංවේදී කැමරා භාවිතයෙන් රූගත කරනවා. ඒවා ඇත්තටම පිස්සු වැඩ. මේ හැමදෙයක්ම මේ මහත්තයා කරන්නේ ස්භාවික ලෝකයේ ඇත්තම ඇත්ත මොකද්ද කියලා අපේ පියවි ඇහැට ගෙනල්ලා දෙන්න. ඔහු ඒක ටක්කෙටම කළා. කවුරුහරි ඒක සැක කරනවා නම් අදම ගිහිං ඔහුගේ වැඩසටහන් බලන්න. ඒවා ඔබව පිස්සු වට්ටනවා ෂුවර්.
'ක්ෂීරපායින්' ගැන
හෙටානිද්දා ජීවිතේ 98 වැනි වියට යන මේ යෝධයා තවමත් වැඩ කරමින් ඉන්නවා. ඔහු මේ වෙනකොට 'ක්ෂීරපායින්' ගැන නිපදවෙන කතා මාලාවේ කථකයාගේ භූමිකාවට පනදෙමින් ඉන්නවා. මුල් වැඩසටහන්වල ඔහුගේ රූපයත් තිබුණා. ඒත් දැන් වොයිස් ඕවරය ඒ රූපය අපිට අරගෙන එයි. දණහිසට සැත්කම් දෙකක් එක හදවත් සැත්කමක් හරහා ඔහු තවමත් පරිසරයට ආදරය කරමින් ඉන්නවා. ඒක අවුරුදු 98ක දිවිසැරියට වඩා විශාල ආදර ජීවිතයක්. අපි ඉන්න මේ ග්‍රහලෝකයේ හොඳින්ම ඇවිද්ද සරණ්නා කවුද කියලා ඇහුවොත් මට හිතෙන්නේ ඒ ඔහු කියලා. 1998 දී ඔහු ඔහු නිශ්පාදනය කරපු 'ද ලයිෆ් ඔෆ් බර්ඩ්ස්' කියන කතා මාලාව වෙනුවෙන්, ඔහු සැතපුම් 256,000 ක් ගමන් කළ බව කියවෙනවා. අම්මෝ කියලා තමයි අපිට කියවෙන්නේ.
මේ ඇවිදීම සාමාන්‍ය පරිසර තත්ත්වයන් අස්සේ විතරක් නෙවෙයි, හිමේ කාන්තාරේ ආවාට වල ඔහු ඇවිද්දා. දිය යට කිමිඳුනා. ඒකයි කියන්නේ ඔහුගේ ටීවී සැරිය හරියට වළේ මෝටසයිකල් පැද්දා වගේ වික්‍රමයක්..!. 1984 අවුරුද්දේ 'The Living Planet' කරනකොට ඔහු තමන්ගේ ඉදිරිපත් කිරීම් දියයට කිමිදිලා කරපු අවස්ථා තිබෙනවා. මහා බාධක පරය නිරීක්ෂණය, ඒක පිස්සුවක්..! ඔහුම කියන විදිහට ඔහු විශේෂිත ශෛලියක අන්තිමයා. ඔව් ඒක තමයි ඇත්ත.
ටික දවසකට කලින් ලියපු එකක්.
කේ. සංජීව විසිනි
-
Category
පුවත් -
Hits
235 times