lan englan tam

පුවත්

ලංකාවේ පෙන්නන්න අනුමැතිය නැති ලංකාවේ කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට නිෂ්පාදිත Oozhi චිත්‍රපටිය මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමට රැගුම් පාලක මණ්ඩලය මේ දක්වා අනුමැතිය ලබා දී නොමැති බව එහි අධ්‍යක්ෂ රංජිත් ජෝශප් පවසනවා.

මෙම චිත්‍රපටිය මැයි 10 සිට ප්‍රදර්ශනය කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.
ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කරමින්, එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා පසුගිය මැයි මස 06 වැනිදා ඔවුන් වෙත ඉදිරිපත් කළ බවයි.
රැගුම් පාලක මණ්ඩලය විසින් එය පසුගිය 08 වැනිදා චිත්‍රපටිය නරඹා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පැය 48ක් ගත වී තිබුණ ද ඊට ප්‍රතිචාර ලැබී නොමැති බව ද අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.
අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම සඳහා වන කටයුතු එහි නිෂ්පාදකයන් විසින් සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් අද (10) දිවා කාලය දක්වා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය හිමි ව නැහැ.
'ඌළි' චිත්‍රපටිය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින් නරඹා ඇති බවත් ඊට අනුමැතිය ලබා නොදෙන ලෙසට දැනුම් දී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
මෙරට කලාකරුවන්ගේ දායකත්වයෙන් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටිය ලොව පුරා රටවල් 11ක තිරගත කිරීමට නියමිතයි.
එහි දී චිත්‍රපටි ශාලා 27ක දර්ශන වාර් 81ක් තිරගත කෙරෙන බවයි, අධ්‍යක්ෂ රංජිත් ජෝශප් සඳහන් කළේ.
මෙරට තුළ ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව සහ යාපනය යන ප්‍රදේශවල චිත්‍රපටිය තිරගත කිරීමට සැලැසුම් කර තිබුණා.
එමෙන් ම ප්‍රංශය, නෝර්වේ, එක්සත් රාජධානිය, ජර්මනිය, ඩෙන්මාර්ක්, ඉතාලි, ස්වීට්සර්ලන්තය, කැනඩා, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මෙම චිත්‍රපටියේ දෙබස රචනය ලේඛක දීපචෙල්වන් විසින් සිදු කර තිබීමත් විශේෂත්වයක්.
බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ සිද්ධියක් මෙම චිත්‍රපටියේ වස්තු විෂය වී ඇති බවයි, එහි අධ්‍යක්ෂ රංජිත් ජෝශප් වැඩිදුරටත් කියා සිටියේ.

ජෙගන් ගනේශන්

Back to top
Go to bottom

Popular News