lan englan tam

පුවත්

කඩා වැටුනු මහා වෘක්ෂය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකේය සිනමාවට සුවිසල් සේවයක් කළ දැවැන්තයෙක්

ලාංකේය සිනමා සාහිත්‍යයේ සහ පුවත් පත් කලාවේ දැවැන්ත වෘක්ෂයක් කඩා වැටුණේය. ඒ මහා වෘක්ෂය ඒ..ඩී රංජිත් කුමාරය.
රංජිත් රෝගාතුර වී සිටි බව මා දැනගත්තේ පසුගිය සිංහල - හින්දු අලුත් අවුරුද්දට සුබ පතන්නට ගිය විටදීය . එදින දුරකතනයට පිළිතුරු දුන්නේ ඔහුගෙ දයාබර බිරිඳ දමයන්තීය. රංජිත්ට කතා කරන්නට මට අවශ්‍ය වූ නමුදු ඒ මොහොතේ ඔහු නින්දට සූදානමින් සිටි නිසා ඇය ඊට අවස්ථාවක් ලබාදීමට මැලි වූවාය. එහෙත් පසුදිනම රංජිත් මට කතා කළේය. මා ඔහුගේ සුවදුක් විමසූ පසු ‘දන්නෙ නැද්ද ගුණේ අපේ වයසත් එක්ක පොඩි පොඩි අසනීප තියනවා... ඒවට ඉතින් මුහුණ දෙන්න ඔනෙ නේයි’ කියා සුහදව සිනාසුනේය.
යළිත් දිනක ඔහුගේ සුව දුක් විමසන්නට වූ විට එදත් පිලිතුරු දුන්නේ දමයන්තිය. එදින ඔහු රෝහලට ඇතුළත් කළ බව කිවාය. රංජිත්ගේ තත්ත්වය හොද නැති බව වැටහුනු විට මට එකවරම සිහිවූයේ රංජිත් තරම් අපේ සිනමාව වෙනුවෙන් සුවිසල් වැඩ කොටසක් ඉටු කළ වෙනත් සිනමා ලේඛකයකු (සුනිල් මිහිඳුකුල හැර) සිටිද යන්නය. ජීවත්ව සිටියදී එවන් මිනිසකු පිළිබද කිසිදු අගැයීමක් කිරීමට කිසිවකු උනන්දු නොවීම බරපතල අසාධාරණයක් හා අකෘතඥකමක් නොවේද? ඔහුගේ පෑනෙන් නොලියැවුණු නඵවකු , නිළියක, සිනමාකරුවකු මේ රටේ නැති තරම්ය. ඔහුගෙන් වැඩ ගත් ආයතන කොපමණද? ? පුරා දශක පහකටත් අධික කාලයක් තුල ඔහු මුළු ජීවිතයම කැප කළේ සිනමාවේ හා සිනමා සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙනි.
රංජිත් සිනමාව ගැන ලියන්නට ගත්තේ යාන්තම් පාසල් විය ඉක්මවූ පසුවය. හාපුරා ඔහුගේ නම මට හමුවන්නේ ‘සරසවිය’ පුවත්පතෙනි. ඒ හැටේ දශකයේ අග භාගයේදීය . මගෙ මතකයේ හැටියට එවකට ඔහු ‘සරසවිය’ ට ලියුවේ නිදහස් ලේඛකයකු වශයෙනි. බෙහෝ සිනමා ලේඛකයන් සිනමා ලේඛනයට අත්පොත් තබන්නේ හුදෙක් ජනප්‍රිය නළු නිළියන් පිළිබද තොරතුරු හා ඔවුන් සමග සංවාද සටහන් ලිවීමේ ආසාවෙනි. . . එහෙත් රංජිත් කුමාර ඉන් ඔබ්බට ගිය නිර්මාණශීලී තරුණයෙක් විය. ඔහු සිනමාවට අමතරව ගොස් බොහෝ දේ ලියුවේය.. ‘.
තරුණ රංජිත් සිනමා ලේඛනයට පැමිණෙන්නේ ඉහළම සාහිත්‍ය රසඥතාවක් මෙන්ම නිර්මාණශීලි සිත්තර සිතක්ද ඇතිවය. එබැවින් ඔහු සිනමා ලේඛනයට අමතර බොහෝදේ කළේය . සාහිත්‍යකරුවන් සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වා එම සංවාද සටහන් ‘සරසවිය’ ‘නවයුගය’ සිළුමිණ’ පුවත්පත්වලය ලියුවේය.
අපේ කෙටිකතාව ඔලුවෙන් හිටවු නිර්මාණකරුවා වන අජිත් තිලකසේන සමග සාකච්ඡා කොට සකස් කළ ලිපි කිහිපයක් ‘කලාවයි හුදෙකලාවයි’ වැනි මාතෘකා කිහිපයක් සහිතව පොත් වශයෙන් පළ කළේය. එම පොත් පෙළ වඩාත් වැදගත් වන්නේ අජිත් තිලකසේන පිලිබද නව අධ්‍යයනයකින් පසුවන අද පරපුරටය.
ලිවීමට අමතරව රංජිත් පොත් පිටකවර ඇන්දේය. ඔහුගේ අතින් නිර්මාණය වූ පිටකවර අතර මාර්ටින් වික්‍රමසිංහ, කේ ජයතිලක , ගුණදාස අමරසේකර ඇතුළු මේ රටේ ප්‍රවීණ ගත්කරුවන් රැසකගේ පොත් ද විය. පොත් පිටකවර ඇදීමෙන් නොනැවතී ඔහු චිත්‍රපට නාමාවලි රැසක්ද නිර්මාණය කළේය.
එවකට ඔහු ‘සරසවියට’ ලියූ සියලුම විශේෂාංගවල ‘ලෝගෝ් ඇන්දේ ඔහුමය‍. පරිඝනක නැති ඒ කාලයේ ඔහුගේ අත්හදාබැලීම්ද සහිතව අතින්ම ඇදි එම ‘ලෝගෝ’ සිනමා මුද්‍රාව සහිත නිර්මාශිලී ඒවා විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ සරසවි පිවිසුම් පෙළ සිටියදී කොලුගැටයන් පිරිසක් සමග රංජිත් ලාල් ‘නිම්වළල්ල’ නිර්මාණය කරද්දී ඒ කොලු ගැටයන් සමග රංජිත් උරෙන් උර ගැටී වැඩ කළේය. එහි ප්‍රචාරක කටයුතු සදහා ඔහු විසින් නිර්මාණ කළ පුවත් පත් දැන්වීම් . අත් පත්‍රිකා , සමරු පොත් ආදිය අතිශයින් නිර්මාණශීලී විය.
‘උන් එදා කළ රූ දුටොත්’ මැයෙන් ලෝක පූජිත සිනමාකරුවන්ගේ නිර්මාණ සහ එම නිර්මාණකරුවන් අරබයා 60 දශකයේ අග භාගයේදී රංජිත් ‘සරසවියට’ ලියු ලිපි පෙළ එවකට මගේ සිනමාව කෙරෙහි මගේ භක්තිය වැඩි කරන්නට සමත් විය. අදටත් මගේ පුස්තකාලයේ ඒම පත්තර පිටු සුරැකිව ඇත
රංජිත් ‘සරසවිය’ කර්තෘ පදවිය හිමි වන්නේ ‘ ලේක්හවුස් මාධ්‍ය වේදියකු ලෙස අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් පසුවය. ඔහුට කලින් කර්තෘ පදවිය දැරූ කීර්තීමත් කර්තෘවරුන්ගේ ඇසුර නොමදව ලැබුණු නිසාත්, දීර්ඝ කාලයක් පුවත්පත් කලාවේදීයකු ලෙස ලත් පරිචය නිසාත් ඔහුට ‘සරසවිය’ පුවත්පත වගකීමෙන් සහ සැබෑ සිනමා සරසවියක් ලෙස පවත්වාගෙන යන්නට හැකිවිය. එබැවින් ඔහු කර්තෘ පදවිය දැරූ අවදිය ‘සරසවිය’ පුවත්පතේ ස්වර්ණමය අවදියක් ලෙස දකිමි.
රංජිත් ‘සරසවිය’ කර්තෘ පදවිය හොබවද්දී ඔහුගේ සෙවණේ හැදුණු වැඩුණු තරුණ ලේඛකයන්ට ලැබුණු මග පෙන්වීම් ඔවුන්ගේ ලේඛන දිවියට මහත් සවියක් වූ බව වඩාත්.තහවුරු වන්නේ පසු කලෙක එම සිනමා ලේඛකයන් අතරින් කිහිප දෙනකුටම ‘සරසවිය’ කර්තෘ පදවිය හිමිවනු දැකීමෙනි.
රංජිත් කුමාරගේ ග්‍රන්ථ කරණයෙද විවිධය. සුවිසල්ය ‘රුක්මණී දේවී’ මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව ‘ අරබයා ලියූ වටිනා පර්යේෂණ ග්‍රන්ථ දෙකට අමතරව මේ රටේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීන් ගැන සාහිත්‍යවේදීන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථද ඒ ඒ විෂයයන් හදාරණ විද්‍යාර්ථීන්ට මහගු අත්වැලකි.
රංජිත් කුමාර වෘත්තීය පුවත්පත් කලාවේදීන් අතර ජ්‍යෙෂ්ඨයකු වුවද කිසි දිනක ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් හිස උදුම්මවා ගත්තේ නැත. ගරු කළ යුත්තන්ට ඔහු නිසි ගෞරවය දුන්නේය. එසේම ඔහු කවදත් කාටත් මිත්‍රහීලී සුහද මිතුරෙක් විය. ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලදී අප සමග කවදත් සුහදව කටයුතු කළ දයාබර මිනිසෙක් විය.
අද නික්ම යන ඒ වටිනා මිනිසා ස්වකීය ජීවිත කාලය තූළ සිදුකළ යථෝක්ත සුවිසල් කාර්යභාරය ලාංකේය සිනමාවේ සහ සාහිත්‍යයේ අරුත්බර ඉතිහාසයක් සනිටුහන් කරයි.
සුබ ගමන් දයාබර මිතුරාණෙනි!

ගුණසිරි සිල්වා

Back to top
Go to bottom

Popular News