lan englan tam

පුවත්

යුද්ධය යුද්ධයෙන් අවසන් විය යුතුයි කියන අදහස මගේ කවදාවත් තිබුණේ නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුද්ධය යුද්ධයෙන් අවසන් විය යුතුයි යන අදහස තමන් තුළ කවදාවත් නොතිබුණේ යැයි ප්‍රවීණ රංගන ශිල්පී සොමී රත්නායක පවසයි.

විදේශගතව සිට වසර 10කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි සොමී රත්නායකයන් රංගන ශිල්පියෙකු ලෙස ගොඩ නැගුණද පළමුව උවමනාව තිබුණේ ගායන ශිල්පියෙකු වීමට බව පැවසුවේ ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමිනි.
සිය සමස්ත රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන සිහිපත් කළ සොමී රත්නායකයන් අහඹු ලෙස තමන් රංගන ශිල්පියෙකු වූ අයුරු, ගුවන් විදුලියේදී සේනානායක වෙරලියද්ද තමන්ට ගී ගායනා පුහුණු කළ අයුරු, තමන් කොළඹ නේවාසිකව ගෙවූ ජීවිතය, තමන්ගේ ජීවිතයේ සිනමා වීරයා යනු ගාමිණී ෆොන්සේකා වන බව එහිදී සාකච්ඡාවට බඳුන් කළේය.
"නිළියො ගැන කතා කරනකොට මම මාලිනී, ස්වර්ණා, අනෝජා, සබීතා වගේ හුඟක් දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරලත් තියෙනවා. සමහර නිළියන්ගේ තියෙනවා පොඩි කන්කෙඳිරි ගාන ඒවා. වීණා ජයකොඩි, ශ්‍රියානි අමරසේනත් මම එක්ක වැඩ කරලා තියෙනවා. ෆරීඩා ලායි 'උතුමාණෙනි' එකේ අපි එක්ක වැඩ කරනකොට ඇදගෙන යනවා, ගහනවා, අපි ඔක්කොම එකතු වෙලා ඇයට කරදර කරනවා වගේ දර්ශනවලදි ඒ වධය විඳිමින් වැඩ කළා. රඟපාන්න කියනකොට ගහනවා, එවිට ඇත්තටම වගේ තමයි ඇගේ 'රිඇක්ශන් එක' (ප්‍රතිචාරය) එන්නේ. ඒ සහයෝගය ස්වර්ණාගෙත් තිබුණා. දඩයම රඟපානකොට මම කොණ්ඩෙන් ඇදලා දානවා 'ටේක්ස්' තුන හතර කරනවා. ඇත්තටම ඒවා වධ. ඒත් කිසිම මැසිවිල්ලක් නෑ. සමහරුන්ගේ චූටි දේවල් තියෙනවා - අතින් අල්ලන්න එපා, ඊයේ මම අසනීපයෙන් හිටියේ වගේ නොයෙකුත් කතන්දර. අනෝජා එක්කත් මම බොහොම කිට්ටුවෙන්, සහයෝගයෙන් වැඩ කළා. රඟපාන්න යනකොට මා සමග රඟපෑව නිළියනුත් කැමතියි මාත් එක්ක රඟපාන්න. සමහර නිළියන්ගේ එක්තරා ප්‍රියතම නළුවෙක් මම. මොකද මගෙත් එක්ක රඟපානකොට මගෙන් කිසියම් විදිහක සහයෝගයක් ලැබෙනවා කියලා ඒ අයත් දන්නවා." යැයි සොමී රත්නායකයන් එහිදී පැවසීය.
'මතක පද' සෑම සිකුරාදාවකම සවස 04ට එම යූටියුබ් නාලිකාවෙන් නිකුත් කෙරේ.

Back to top
Go to bottom

Popular News