lan englan tam

පුවත්

"දියේ ගිය ඉඳුනිල් මල්ලි"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
අප අතරින් හදිසියේ සමු ගත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉඳුනිල් ජයවර්ධන සොයුරා වෙනුවෙන් තැබූ සටහනකි.
 
අත් දිගට දාගෙන වැඩට ආව
මගේ පන්නයේම
කෙසඟ මිනිහෙක් උඹ
අත් කොටට අඳින්න බෑ බං
ලැජ්ජයිනෙ අපිට
ගිය සතියෙ කොරිඩෝවෙ
හැටට පාගල යනගමන්
ස්ටූඩියෝ 5 ලඟදි
බ්රේක් ගහල අත මුල
උඹ කිව්ව කතාව ඕක
අපිත් ඉතිං එහෙම ඉන්න ඕනි
එතකොට තමයි
සර්ල වගේ පේන්නෙ
හිනහ වෙවි එහෙම කිව්වත්
සර් කෙනෙක් වෙන්න
හීන තිබුනෙ නෑ උඹට
ගොඩක් සර්ලව ගොඩ දැම්මෙ
උඹ තමයි නැහීගෙන
අලුත් වැඩක් නැද්ද බං
පහු ගිය දවස් ටිකේම
පස්සෙන් පන්න පන්න
ඇහුව හේතුව කිව්වෙ නෑ උඹ
තිබුනෙ නොනිමි ආලයක් විතරයි
ගුවන්විදුලියට
අවුරුදු ගාණකට ඉස්සර
සිටි එකේ හැන්දෑවක ( City fm )
වෙලාව පහයි හතලිහයි
උඹ OA මම නිවේදක
එතකොට නිව්ස් රීඩර් නෙමෙයි මම
අහම්බෙන් ලැබුණි අවස්ථාව
රියල් රීඩර් ආවෙ නැති දවසක
හවස 6 නිව්ස් එක කිව්ව
පළමු දවස
උඹයි ගත්තෙ චැලෙන්ජ් එක
කලින් මට
කියමු.. ඉන්නම් හයියට මම
එහෙම කියපු උඹ
යන දවසෙ හෙට
හවස 6 ට නිව්ස් එකත් මට
කියන්න බෑ බං නිව්ස් මට හෙට
හුදකලා මැදිරිවලට වැද
හූල්ලපු දවස් නොදැක්ක වගේ
හිටියට අප
කඳුලු හංගපු උඹ
හිතින් වැලඳගත්තා මල්ලි මම
නල දත් පිරුණු මුව
පුරවගෙන හිනහව
රහක් ඇතත් නැතත්
හිනහ වෙවීම කියවපු උඹ
ආයෙත් අහන්න ආසයි බං
ඇවිත් කියපං කතාවක්
හිනා වෙන්නම් මම
එඩිටින් වලින් වැඩදාපු උඹ
අපිට කලින් මැජික් පෙන්නපු උඹ
අලුත් යමක් කරන්න හීන මවපු උඹ
අපිට කලින් යන්න ගියේ කිම
මේව කියන්න තිබුණ මට
ඉන්න දවස්ටිකේ උඹට
ඒත් වැඩ බං පිස්සො වගේ අප
වෙලාවක් තිබුණද කතාවකට
ජීවිතේ ඇතුලෙ
හිරවෙලානෙ හිටියෙ උඹ
ඕන් ආයෙත් වහිනවා
මතකය උඹේ දෙගොඩ ගලනවා
මැදිරියෙ දොර ඇරගෙන
උඹ කතා කියනව
අපි හිනා නගනවා
හෙමින් ගමණක් නැති
කඩිසරම ගමන ඇති
කොරිඩෝවෙ පාලු ගති
ගනන් නොගෙන වේගෙන්ම යති
ගඩා ගෙඩි ඇතත් නැතත්
කොවුලෝ ගී ගයති
උඹට දොස් විතරමයි
එහෙම විස්සෝප වූ දවස්
ඕනිතරම් ඇති
ඒත් උඹ ඉවසන් හිටිය හැටි
ගිණි පුපුරු පිඹගෙන
ඇවිළුණු දවස් වලදි අපි
උඹ වතුර පිම්බ
ගිණි හෙමෙන් නිව්ව
යුද්දෙකට බය උණා
ඒත් මලේ උඹ
වතුර යට තනි උනා
මං සපථ කර කියන්නම්
අහිංසකයි බං උඹ
ගැට ලිහාගන්න හැකි උනානම්
ලස්සන වෙන්න තිබුණා
උඹ කරපු අමුතු වැඩ
අද මූසලයි බං
ගුවන්විදුලි කොරිඩෝවම
දැනගෙන හිටියනම්
මේතරම් මිනිස්සු
ආදරේ කරන බව උඹට
අඩියක් හෙල්ලෙන්නෙ නැතිව
ඉන්නවා නිසැකයි
එළියට නොබැස ගෙදර උඹ
හැංගිලා ඉන්නවනම්
කොහේහරි තැනක
වරෙන් බං
පොඩිඋන් ළමා පිටියට ඇවිඳින්
අඬ අඬා උඹව හොයනවා
ඉඳුනිල් මාම කෝ අහනවා
අපිත් සැලෙනවා
හැමෝගෙම ඇස් පිරෙනවා
දන්නවද මල්ලි
උඹ මාර පොරක්
මට ඒක දැනෙනවා
පළමු වතාවට
මම උඹට ඒක කියනවා..🙏
 
- හිමා -
2024 / 06/06
ස්වදේශීය සේවා මැදිරිය
රාත්රි 8.10 යි.
Back to top
Go to bottom

Popular News