lan englan tam

පුවත්

මලයාලම් සිනමාවේ සාහිත්‍ය-සිනමා පෙරළිය අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එම්.ටී. වාසුදේවන් නායර් මලයාලම් සාහිත්‍යයේ පෙරළිකාරයෙකි. ඉන්දීය ජන සමාජයට තවමත් මනෝ රූප සාදන්නෙකි. ලේඛකයෙකු, තිර රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු මලයාලම් සාහිත්‍යයේ විවිධාකාරයේ ප්‍රබල මනෝ රූ අවදි කළ, ඉන්දීයාවේ පශ්චාත් නිදහස් සමය පිළිබඳව සිය ලේඛන කලාවෙන් ලෝකයටම අව්‍යාජව කියා පෑමට කටයුතු කළ වීරයෙකි. මලයාලම් පවුල, කේරළය තුළ මාතෘ මූලික සමාජය පිළිබඳව කතා වෙනුවෙන් ජනප්‍රිය වූ නායර්ගේ කතා කෙරෙන් රාමායණය වෙනස් කෝණයකින් කියවීමට ලක් කළ 'රන්දමූසම්' කෘතිය විශිෂ්ටම කෘතියකි.

පසුගියදා වයස අවුරුදු 91ක් සැපිරූ මලයාලම් සිනමා අධ්‍යක්ෂවරය උපන්දිනය සැමටම මෙවර වැදගත් එකක් වූයේ ඔහු මෙන්ම බොහෝ දෙනෙකු තුළ සාහිත්‍ය - සිනමා පෙරළියක බලාපොරොත්තු රැසක් පුබුදුවමිනි. 91 වැනි විය සැපිරූ නායර් මේ වසරේ අවධානයට ලක් වන්නේ ඇයි? ඒ ඉතා නිර්මාණශීලී මලයාලම් එළිදැක්වීමක් හේතුවෙනි. ඒ අද (15) දින එළිදකින 'Manorathangal' සිනමාපට මාලාව හේතුවෙනි. මලයාලම් සිනමා අධ්‍යක්ෂවරුන් 08 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද සිනමාපට මාලාව නායර්ගේ කෘති 09ක් පාදක කරමින් කරන ලද නිර්මාණ 09ක් වීම මෙහි ප්‍රධානම කාරණයයි.
මලයාලම් සහ ඉන්දීය ජන සමාජයට 'මනෝ රූප' දායාද කළ නායර්ගේ කෘති කෙරෙන් කරන ලද නිර්මාණ වීම හේතුවෙන්ම එය 'Manorathangal' (මනෝ රූප) යනුවෙන් හඳුන්වා තිබේ. සිනමාපට මාලාවක් එක වර නැරඹීමේ ආශ්චර්යමත් අත්දැකීම, ඒවාට නායර් වැනි සාහිත්‍යකරුවෙකුගේ කතා 09ක් පාදක වීම, විශිෂ්ට තරුණ සහ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන් 08 දෙනෙකු විසින් ඒවා අධ්‍යක්ෂණය කරනු ලැබීම මෙන්ම මලයාලම් සිනමාවේ සහ ඉන්දියාවේ චරිතාංග නළු නිළි පිරිසකගෙන් 'මනෝරාතන්ගල්' සමන්විත වීමම මෙය නැරඹීම සඳහා ප්‍රමාණවත්ය.
ඉන්දියාවේ සී5 ඔස්සේ අද විකාශය අරඹන මෙහි නායර්ගේ දියනිය අස්වතී නායර් නිර්මාණය අධ්‍යක්ෂවරිය වන්නීය. නායර්ගේ ඔලවුම් තීරවුම්, කඩුගන්නාව; ඔරු යාත්‍රා ක්‍රිප්පු, ශර්ලොක්, සිලලිඛිතම්, විල්පනා, කඩල් කට්ටු, කච්චා, අභයම් තීඩි වීන්ඩුම් සහ ස්වර්ගම් තුරක්කුන සමයම් යන කෘතීන් 09 මේ සඳහා පාදක වේ.
ශ්‍රී ලංකාවට මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති 'කඩුගන්නාව' නිර්මාණය හේතුවෙනි. ඉන්දීය සිනමාවේ සදාකාලික වීරයෙකු වන කමල් හසන් විසින් එළිදක්වනු ලබන මෙම සිනමාපට මාලාවේ මොහාන්ලාල්, මම්මුටි, ෆහාද් ෆසිල්, බිජු මෙනන්, නෙඩුමුඩි වෙනු, සිද්දිකී, ඉන්ද්‍රජිත් සුකුමාරන්, අසිෆ් අලි, මමුක්කෝය, විනීත්, ඉන්ද්‍රන්ස්, අපර්නා බාලමුරලි, පාර්වතී තිරුවෝතු, සුරභි ලක්ෂ්මි සහ ඈන් ඔගස්ටින් මෙහි රංගනයෙන් දායක වන්නාහුය.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News