lan englan tam

පුවත්

මංජරීගේ 'රත්මලී' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිරංජලා මංජරී විසින් ගායනා කරනු ලබන 'රත්මලී' පසුගියදා එළි දැක්විණි.
"ඔබට කවදා හෝ බිඳුණු විශ්වාසයක් පිළිබඳ ගැඹුරින් දැනී ඇත්නම්, මෙම ගීතය ඔබ සමඟ අනුනාද වනු ඇත." යනුවෙන් එම ගීතය මංජරී විසින් පවසනු ලබයි.
මංජරී විසින් ඒ පිළිබඳව සටහන් තබනු ලැබ තිබේ.

"•අද දවස! 🎶
අද, මගේ අලුත් ගීත පහෙන් පළමුවැන්න නිකුත් වෙනවා— රත්මලී.🌹
ඈත සිට, අධිකවේගයෙන් එන රතු ෆෝඩ් කැප්රි රථය කාගේද? මෑත, එය තමා යට කරන බව දැනැ දැනැ වියරු කොටි දෙනක මෙන් ඊට පනින්න බලා සිටින්නී කවුද?
තවත් මොහොතකන් වින්ඩ්ස්ක්‍රීනය කැබලිවී විසිරී යන තරමේ පොලු පහරක් ගසන ඇයය. බිඳුනු වීදුරු කැබැල්ලෙන් කැපුණු මුහුණින් නමුත් ඇය අමානුෂිකව යට කර යන ඔහුය.
ඇය, වසන්ත ඔබේසේකරගේ දඩයම චිත්‍රපටයේ රත්මලීද? නැතහොත් ඒ, අපට හමුවන අපද?
දක්ෂ කවියෙකු වන ප්‍රියන්ත කොඩිප්පිලි වරක් ස්වර්ණා මල්ලවාරච්චිගේ ඒ රඟපෑම පිළිබඳ ලියුවේ මෙලෙසය.

රංඟන ජීවීතේ ඇයගෙත් කඩ ඉමය
එහි රත්මලී නම් ඇගෙ චරිතයෙ නමය
අවසන වියරුවක් වූයෙම කළ පෙමය
අමතක නොකළ හැකි සළරුව දඩයමය

රත්මලී, මගේ හදවතට සමීප ගීයක්. මගේ හදවතේ කොටසක්. ඔබට කවදා හෝ බිඳුණු විශ්වාසයක් පිළිබඳ ගැඹුරින් දැනී ඇත්නම්, මෙම ගීතය ඔබ සමඟ අනුනාද වනු ඇත. ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචනා කරන ලද සහ සම්පත් ජයසුන්දර විසින් තම ආත්මීය සංගීතයෙන් පණ ගන්වන රත්මලී, රැවැටීමේ වේදනාව ගැන, වංචාව ආදරයට වඩා රිදවන විට අප කාටත් මිමිණිය හැකි ගීයක්.

වසඟයට සිත වසඟවී
ප්‍රේමයේ දඬුවම් විඳී
සැඩ සුළඟ හා පොර බැඳී
පෙම්වතිය ඈ රත්මලී

ඉදින් රත්මලීට ඔබේ හදවතට කතා කිරීමට ඉඩ දෙන්න.
තවත් ගීත ළඟදීම!
රත්මලී හැඩ ගැන්වූවෝ!

ක්‍රිස්ටෝ ප්‍රනාන්දු - පියානෝ
සම්පත් කුරුවිට - කීබෝඩ්
ගිහාන් සූරිය ආරච්චි - සැක්සෆෝන්
ඩිල්ශාන් මලිත - වයලින්
මහි පැස්කුවෙල් - ගිටාර්
ශාමන් - බේස් ගිටාර්
ලී එලියාස්- ඩ්‍රම්ස්
සංකලනය සහ මෙහෙයවීම - ගයාන් සී. බෙන්තරගේ

Back to top
Go to bottom

Popular News