විජය කුමාරතුංග සිංහල සිනමාවේ ප්‍රේමවන්තයා වුනෙත්, ගාමිණි ෆොන්සේකා වීරයා වුනෙත් මාලිනී නිසා ම යි.
විජය සහ ගාමිණී යනුවෙන් ( ඇත්ත කිසිවෙක් ) තිරයේ හිටියේ නැහැ. ඒ ඉන්නේ නරඹන ප්‍රේක්ෂකයා මයි.
විජය ට ආවේශ වී මාලිනී ට ප්‍රේමකරන්නේ ද මාලිනී දිනා ගැනීම වෙනුවෙන් දුෂ්ඨයින් සමග සටන් වදින ගාමිණී ද අන් කිසිවෙකු නොවයි. චිත්‍රපට නරඹන තමා මයි. අපමයි.
මාලිනී ගේ සිරුර රහසේ විඳීමේ යතුරු සිදුරු අභ්‍යාසයේදී ප්‍රේක්ෂකයා තමන්ව වසන් කරගන්නේ විජයට හෝ ගාමිණී ට මුවා වී ය. විජය ( තිරයේ දී ) මාලිනී ගේ කම්මුල් අසලට තම දෙතොල් ලං කරනවා පමණි. සිනමා පටය නරඹන ප්‍රේක්ෂකයා ඇගේ දෙතොල් විකනවා පමණක් නොව ඉන් එහාටද යයි.
තමා තුල ඒ පරිකල්පනය ගොඩ නැගීමට තමා වෙනුවෙන් මාලිනී ව සිපගන්නා මෙන් ඉන්නා එහෙත් සිප නොගන්නා කිසිවෙකු අවශ්‍යයය. විජය ට තිරයේ මාලිනී ගේ ‘පෙම්වතා’ ලෙස කිරුළු පළඳන ප්‍රේක්ෂකයා ඇත්තටම කිරුළු පළඳා ගන්නේ තමාටමය. තමා වනුවෙන් ඒ ඔටුන්න විජය දරා සිටියි. ඒ වෙනුවෙන් විජය ට මිලක් ද නියම වෙයි. එය කැමැත්තෙන් ම ගෙවයි.
ගාමිණී ගේ වීරත්වයද එසේමය. ප්‍රේක්ෂකයා වෙනුවෙන් මාලිනී ව දිනා ගැනීම ගාමිණී ට පැවරෙන වගකීමයි. එය ඉටු කිරීම වෙනුවෙන් ඔහු වීරයෙකු වෙයි. ඒ කිරුල දරා සිටීම වෙනුවෙන් ගාමිණී ට සිනමාවේ හෙවත් ප්‍රේක්ෂක සිහින ලෝකයේ 'සක්විති' කම ලැබෙයි. අනෙකුත් අවශේෂ රංගන ශිල්පියෙකු ට නොලැබෙන මිලක් ද නියම වෙයි.
ලංකාවේ වාණිජ හෙවත් ජනප්‍රිය සිනමාවේ චිත්‍රපට වල කිසිදු සිනමාත්මක ගුණයක් හෝ කලාත්මක වටිනා කමක් නැත. ඒවා ජනප්‍රිය වූයේ විජය ගේ කඩවසම් කම නිසා හෝ ගාමිණීගේ වීරත්වය නිසා හෝ නොවෙයි. මාලිනී ගේ භූමිකාව හේතුවෙනි.
විවිධ චරිත ලෙස තිරයේ දිස් වුවද, මේ සෑම චිත්‍රපටයකම මාලිනී ගේ අවිඥානක භූමිකා ව එකක් මය. එනම්, ප්‍රේක්ෂකයාගේ යතුරු සිදුරු අභ්‍යාසයේ දී කිසි දිනෙක ඇත්තට අභිමුඛ නොවන ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව වීමය.
විජය සහ ගාමිණී යනු ප්‍රේක්ෂකයා තමන්වම දකින්නට කැමති ස්වරූපයයි. එක විට රූපකායන් දෙකකට තමාව ආරූඩ කරගන්නා ප්‍රේක්ෂකයා මාලිනී සමග මනසින් තම සිහින පෙම් ලොව සැරි සරයි.
මාලිනී ට පිරිමින් පමණක් නොව ගැහැණුන් ද ආශක්ත වූ බවට කෙනෙකු ට ප්‍රති තර්කයක් ගොඩ නැගිය හැකිය. එය නිරීක්ෂණයක් ලෙස සත්‍යයකි.
පිරිමින් මාලිනීව ( රහසේ ) විඳින බව ගැහැනුන්ට රහසක් නොවෙයි. එහෙත් රහසේ විඳීම ට එරෙහිව ගැහැනුන්ට කල හැක්කක් නොමැත. තම ස්වාමියා අන් කාන්තාවක සමග ප්‍රේමයෙන් බැඳුනේ නම්, ඇය හා යහන් ගත වන බව දැන ගත්තේ නම් යක්ෂාවේෂව ඒ ගැහැණියට පලි ගහන ගැහැණිය මාලිනී ට ආශා කරන්නේ ඇයි ?
එසේ තම ස්වාමියා ( පෙම්වතා ) මාලිනීව (රහසේ ) විඳීම නිසා තම කුටුම්භ සමතුලිතතාව නොඹිදෙන බැවිනි. මාලිනී ව රහසේ විඳින ඔහු ඇත්තට එන්නේ තමා වෙතට බැවිනි. එබැවින් හැත්තෑවේ දශකයේ බොහෝ ගැහැණුන්ගේ සිහිනය වූයේ මාලිනී වීම ය. 'ඔහු' තමා වෙතම ඇද බැඳ තබාගත හැකි දම්වැල එය බව ගැහැනු දැන සිටියහ.
මාලිනී සවිඥානකව රඟපෑ භූමිකාවන් හරහා අපේ සිනමාවට කල දායකත්වයට වඩා මාලිනී ගේ මේ අවිඥානක භූමිකාව ( එනම් ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව වීම ) හරහා කල දායකත්වය අති මහත් ය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සමූහයක ගේ ආශාවේ වස්තුව වීම සුළුපටු ප්රභාවකින් කල නොහැකිය.
එබැවින් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබුනේ නම්, ඒ මාලිනී රිදී තිරයට රැගෙන ආ මේ අසම සම ශක්තිය නිසා ම යයි කීම අතිශෝක්තියක් නොවෙයි.
ඒ අරුතින් ඇත්තටම ඇය රැජින කි.
සටහන - සිනමා අධ්‍යක්ෂක අශෝක හදගම
(අශෝක හඳගමගේ මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)