lan englan tam

විශේෂාංග

නික්ම ගිය මලයාලම් සිනමාවේදී ෂාජි එන්. කරූන් ගැන ලාංකිකයන්ගේ මතකය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාව තුළ ද බොහෝ ජනප්‍රියත්වයට හා අවධානයට ලක් වූ "පිරවි" වැනි චිත්‍රපට නිර්මාණය කළ ඉන්දියනු සිනමා කරු ෂාජි එන්.කරූන් පසුගියදා,(28) අසනීප තත්වයක් හේතුවෙන් සිය දිවි ගමන නිම කළා.

ඔහු විසින් 1988 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ "පිරවි" සිනමා නිර්මාණය මෙරට තුළ ද සිනමා රසිකයන්ගේ බොහෝ අවධානයට ලක් වූවා.

ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ  "පිරවි" චිත්‍රපටයට කෑන්ස් චිත්‍රපට උළෙලේදී කැමරා ඩි'ඕර් - මෙන්ෂන් ඩි'හොනර් සම්මානය ද හිමි වූවා.

ඉන්දියානු මලයාලම් සිනමාව තුළ ප්‍රධානතම සිනමාකරුවෙකු හා සිනමා කැමරාකරණ ශිල්පියෙකු වූ ඔහු ශ්‍රී ලාංකික සිනමා කරුවන්ට ද බෙහෙවින් බලපෑම් සහගත වූ බව සදහන්.

පහතින් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ ගුණරත්න විසින් ෂාජි එන්.කරූන් පිළිබඳව තැබූ මතක සටහනකි.

(උපුටා ගැනීම)

ප්රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ විසින් ආසියානු සිනමා කේන්ද්රය මඟින් 1991 වසරේ දී කොළඹ සංවිධානය කරන ලද ඉන්දියානු සිනමා උලෙළ තරම් සාර්ථක ඉන්දියානු සිනමා උලෙළක් එදා මෙදා තුර ලංකාවේදී මම දැක නැත්තෙමි. මෙම උලෙළ වඩාත් ජනප්රියත්වයට පත්වූයේ මලයාලම් චිත්රපටයක් වූ “පිරවි” හේතුවෙන්ය.

 

ෂාජි එන්.කරූන් නම් නවක සිනමාකරුවෙකු විසින් තනන ලද ඉන්දියානු ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගත් ‘පිරවි’ චිත්‍රපටය මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ එහි තේමාව දරුවෙක්ගේ අතුරුදන්වීම වටා ගෙතුණ හේතුවෙන්ය.

උසස් අධ්යාපනයට ගිය තම පුත්රයා නැවත ගෙදර පැමිණෙනතුරු බලා සිටින පියෙකු පිළිබඳ මෙම තේමාව මෙරට වඩාත් ජනප්රියත්වයට හේතුවූයේ එබදු අතුරුදන්වීම් එකල සුලබ වූ හෙයින්ය.

ඔහු ‘පිරවි’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ 1988 වසරේදීය. පිරවි චිත්‍රපටය පාදකවූයේ කේරළයේ කැලිකට් ප්‍රාදේශිය ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටිය දී ඉන්දිරා ගාන්ධි විසින් පනවන ලද හදිසි නීති සමයේ අතුරුදහන් වූ රාජන් වාරියර් පිළිබද සිද්ධියයි.

ඉන්දිරා ගාන්ධි විසින් හදිසි නීති පනවා නැක්සලයිට්වාදින් මෙල්ල කිරිමේ අරමුණික් තරුණයන් රැසක් අත්අඩංගුවට ගත් අතර එයින් බහුතරය අතුරුදන් වූහ. කේරළය මෙන්ම අන්ද්‍රාවේද ඇතැම් තරුණයන් මෙම ඉරණමට මුහුණ දුන්හ. එලෙස අතුරුදන් වූ අතරින් එකෙකු වූ රාජන් ගේ සිදුවීම ඔහුගේ පියා විසින් ප්‍රශ්න කරනු ලැබ ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයට හේතුවිය.

 
පසුකලෙක ෂාජි සිය සිනමා කෘතියෙහි ලා මූලික වස්තුබීජය සොයා ගත්තේ එමඟිනි.

රාජන්ද ගේ පියා වූ ඊචාර වාරියර් සිය අත්දැකීම් පාදක කරගෙන පසුකලෙක ‘මෙමරීස් ඔෆ් අ ෆාදර්’ නමින් ග්‍රන්ථයක් ද මලයාලම් බසින් ලියන ලදී.

අද මෙන් හිතෙන මොහොතේ ලොව තිර ගත වන ඕනෑම චිත්රපටයක් නැරඹිය නොහැකි එකල ‘පිරවි’ එම සිනමා උළෙලෙහි කිහිපවාරයක්ම ප්රදර්ශනය කරවීමට ඈෂ්ලි අයියාට සිදුවූයේ එය ලද අසීමිත ජනප්රියත්වය හේතුවෙන්ය. සාමාන්යයෙන් චිත්රපට නොබලා සිනමාව ගැන ලියන ලේඛකයන් එකල වඩාත් වැඩි නිසා ‘පිරවි’ ගැන ලියන ඇතැම් සිනමා විචාරක ලේඛකයෝ මේ චිත්රපටය මෙරට සිනමා වට ආදර්ශයක් බවත් මෙරට සිනමාකරුවන් එතරම් නිර්භීත නැති බවත් ලියා තැබූහ.

‘පිරවි’ ඉතා අපූරු චිත්‍රපටයක් වුව ද ඒ් වන විටත් දරුවන් අතුරුදන් වීම පිළිබඳ ලොව පුරා චිත්‍රපට තනා ඇති බව ඔවුහු බහුතරය දැන සිටියේ නැත.

එයට වසර කිහිපයකට පෙර කොළඹ එවකට පැවැති සෙන්ට්‍රල් සිනමාහලේ තිර ගත කරන ලද කොස්තා ගවර්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මිසිං’ නම් චිත්‍රපටය එයට වඩා ඉතා ගැඹුරු චිත්‍රපටයක් විය.

එයින් පිරවි චිත්‍රපටයේ අගය අඩු කරන්නට මා අකමැති මෙරට බොහෝ තරුණයන්ට ‘පිරවි’ ඉතා විශිෂ්ට ආශ්වාදයක් ගෙන දුන් හෙයින්ය.

මේ සිනමා උලෙළ නිසා සිනමාලෝලින් වූ අපට ෂාජි වීරයකු විය.

ෂාජි වතාවක මා සමඟ පැවසුවේ පිරවි චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය වෙද්දී එයට ලැබුණු ඉමහත් ප්‍රතිචාරය ඔහු මවිත කළ අන්දමය.

හේතුව එතරම් සම්මාන දිනා ගත්ත ද ‘පිරවි’ සමස්ත ඉන්දියාවේ කොයි හැටි වෙතත් කේරළයේ ද තිර ගත කරවීමට චිත්‍රපට ප්‍රදර්ශකයෝ එතරම් උනන්දුවක් නොවිණ.

මේ නිසාම ටෙලිවිෂනයෙන් හැර සිනමා උත්සවයක දී විනා වෙනත් මහජන ප්‍රදර්ශනයක් ලබන්නට තරම් ‘පිරවි’ ඉන්දියාවේදී වාසනාවක් නොවිණ.

‘පිරවි’ චිත්‍රපටයේ ෂාජි මෙන්ම වඩා අවධානය දිනා ගත්‌තේ පිරවි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ වූ සනී ජෝශප් ය. 'පිරවි' ෂාජි එන්. කරූන් ගේ මුල්ම අධ්‍යක්ෂණය වුව ද ඔහු මලයාලම් සිනමාවේ නමක් දිනා සිටියේ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂවරයෙකු හැටියටය. ජී.අරවින්දන්, අධූර් ගෝපාලක්‍රිෂ්ණන් වැනි මහා සිනමාකරුවන් රැසකගේම ඒ් යුගයේ චිත්‍රපට කිහිපයකම කැමරාව මෙහෙයවා තිබුණේ ෂාජි ය.

 

‘පිරවි’ චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ නිළිය ගේ නම අර්චනා ය. ‘පිරවි’ එවකට මෙරට තරුණයන් ලද ආශ්වාදය කෙබඳු ද යත් මගේ එක් මිත්රයෙක් ඒ් දිනවල උපන් ඔහුගේ දියනිය අර්චනා ලෙස නම් කළාය.

වර්තමානයේ මහාචාර්යවරයෙකු වන අප මිත්රයෙකු එදවස තම පෙම්වතියට මව්පියන් ගෙන් ලද නාමය වෙනුවට අර්චනා යන නම යොදා ප්රතිනාම ගත කළේය.

 

 

 ‘පිරවි’ චිත්‍රපටය ෂාජි එන් කරූන්ට අසීමිත ගෞරවයක් ජාත්‍යන්තර වශයෙන් ගෙනාව ද ඉන්දියානු සම්ප්‍රදායික බොහෝ සම්භාවනීය සිනමාකරුවෝ කවර හේතුවක් නිසාවෙන් දෝ ෂාජි කෙරෙහි ඉහළින් සැලකීමට තැත් නොකළ බව ප්‍රසිද්ධ රහසකි. ‘පිරවි’ මෙන් ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍රපටයක් ඔහු අතින් පසුකලෙක නිර්මාණය වූයේ ද නැත.

 

 

ෂාජි නීලකන්ටන් කරුණාකරන් උපත ලද්දේ 1952 වසරට පහන්වෙද්දීය. පසුකලෙක ෂාජි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙලේ මෙන්ම කේරළ සිනමා උලෙළේ ද සංවිධායකයකු ලෙස කටයුතු කළේය. ‘පිරවි’ චිත්රපටය පසු ඔහු විසින් ‘ස්වාහම්’, වනප්රශ්තම්’,නිශද්’, කුට්ටි ශ්රන්කු’, ස්වපානම්’ හා ඕලු යන චිත්රපට නිර්මාණය කළේය. ඔහුගේ කුට්ටි ශ්රන්කු චිත්රපටයේ අපේ ජනප්රිය නිළි මීනා කුමාරි ප්රධාන චරිතයක් නිරූපණය කළාය. පිරවි චිත්රපටයෙන් පසු ඔහුගේ වඩාත්ම වැදගත් චිත්රපටය ‘වනප්රශ්තම්’ යැයි මම පෞද්ගලිකව විශ්වාස කරමි.

 
කිහිප වතාවක්ම මෙරටට පැමිණි ෂාජි අවසන් වතාවට ලංකාවට පැමිණියේ 2019 වසරේ යාපන අන්තර්ජාතික සිනමා උලෙළේ ප්රධාන අමුත්තා හැටියටය. ඔහු ඉතා සරළ මිනිසෙකු විය.
ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ වාර්ෂිකව තේමා පාඨය සමඟ තිර ගත වන මයුර යුවළ ගේ අපූරු රැඟුම සහිත නිර්මාණය ෂාජි එන් කරූන් ගේ වැඩකි.
එය එම සිනමා උලෙලේ ප්රදර්ශනයවන සියලු චිත්රපට සමඟ තිරගත වෙයි. ඔහු එහි ප්රධාන කමිටු සාමාජිකයකු ද වෙයි.

මෙම සිනමා උලෙළේ තිර ගත චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන පාන්ජි නගරයේ අයිනොක්ස් සිනමා සංකීර්ණයේ එක් චිත්‍රපට දැක්මක පෝලිමේ මුළින්ම සිටියේ මා සමඟ ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල ය. අප පෝලිමේ සිටිය දී මේ ජාත්‍යන්තර සම්මානනීය සිනමාකරු සිනමාහලේ අප සිටි දොරටුව ළඟින් ඇතුළට ගියේය. එලෙස යෑමට ඔහුට නිල අයිතියක් ද තිබිණ. ආරක්ෂක නිළදාරියාට මේ අප ආදරය කරනු ලබන සිනමාකරුවා ද යන්න වැදගත් නොවිණ. ඔහු ෂාජි ගැන කීසිදු විමසීමකින් තොරවම සිනමාහලේ දොරටුවෙන් තල්ලු කළේය. ෂාජි නිහඩව අවමානය විඳ ගත්තේය.

මටත් දමින්දටත් නිහඩව සිටිය නොහැකි විය. පුරුදු පරිදි ගේමට බැස්සෙමු. ආරක්ෂ්ක නිළධාරියාට ෂාජි වැදගත්වූයේ නැත. එමෙන්ම බොහෝ ඉන්දියානුවන්ට මෙන් අපේ ඉංග්‍රිසි තේරුණේ ද නැතුවා විය හැකිය. ඔහු ඊළඟට පැටළුණේ අප සමඟය. අවසානයේ ෂාජි හදුනා ගත් අනිත් තරුණයන් අතලොස්ස නොවන්නට මාත් දමින්දත් තවම අරගලය නිමා නොකරන්නට ඉඩ තිබිණ.

 

ෂාජි එන් කරූන් අපට සිනමා ආශ්වාදය පිරවි සමඟ නොපැකිලව පිරවූයේය. අපේ යෞවනයේ ඔහු සැබැවින්ම සිනමා ගුරුවරයකු විය.
සටහන - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ ගුණරත්න 
(උපුටා ගැනීම  අරුණ ගුණරත්නගේ මුහුණු පොත ඇසුරිනි)
Back to top
Go to bottom