එරික් ඉලයප්ආරච්චිගේ අලුත්ම නවකතාව ‘සඳ ගමන’, තම පළමු කෘතිය පළ කර ගැනීම සඳහා දුෂ්කර දිවි පෙවෙතක් ගෙවන අංකුර ලේඛකයකුගේ සිතුවිලි පරම්පරාවක් ගැන කියැවෙන නවකතාවකි.
එරික් ඉලයප්ආරච්චි සමඟ මේ සංවාදය එම නවකතාව පිළිබඳවය.
සංවාදකයා - තමන් පොතක් ලියන්න වාඩිවෙන්නේ නිර්මාණයක් කරනවා යන අදහසකින් නොවන බවත්, හෙළිදරව් කරන්න ඕන බොරුවක් සහ අවධානය යොමු කරන්න ඕන ඇත්තක් තියෙන නිසා බව ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක ජෝර්ජ් ඕවෙල් කියනවා. ඔබ නවකතාවක් ලියන්න වාඩිවෙන්නේ කිනම් අරමුණක් ඇතිව ද?
ඔබගේ ප්‍රශ්නය දරුණු එකක්. බුද්ධිමත් විමසන්නාගේ කතෘ - ප්‍රචණ්ඩතාව පිළිතුරු සපයන්නාගේ කතෘ - ප්‍රචණ්ඩතාව සමඟ ගැටෙන යුක්තිගරුක එකක්.
ඔබ විමසන්නේ නවකතාවක් සම්බන්ධයෙන් නම් මගේ පරණ පුටුවේ වාඩි වීම සමපාත වන්නේ නවකතාවේ ආරම්භක වාක්‍යය සොයා ගැනීම සමඟයි.
පළවෙනි වාක්‍යය සොයා ගන්නවා කියන්නේ ලියන්න යන නවකතාව ලියන්න පුළුවන් ද බැරි වෙයි ද යන දෛවෝපගත ප්‍රශ්නය විසඳෙන තීරණාත්මක කාරණය කියන්න පුළුවනි. ඒ වාක්‍යය තුළ තියෙනවා නවකතාවේ දෘෂ්ටිකෝණය, එයින් නිගමනය වන සමාජීය තැනැත්තා හා ඔහුගේ හෝ ඇයගේ ඇස දකින හා අසන ලෝකයේ ස්වරූපය, ඔහුට හෝ ඇයට හෝ ළං විය හැකි මිනිසුන්, සතා සිව්පාවා, ගහකොළ යනාදිය සහිත කරුණු ගබඩාවක යතුර!
කර්තෘවරයා ඒ මූලික දෘෂ්ටිකෝණය ඇතුළු මහා ලෝකය දෙස බලන්නට සූදානම් වන තමාගේ භෞතික හා ආත්මීය පිහිටුමත් එහි ඇතුළත් වෙලා තියෙනවා.
“අම්මා මැරිලා අද. සමහර විට ඊයේ වෙන්නැති. මං දන්නේ නෑ.” ඇල්බෙයා කැමූ පිටස්තරයා නවකතාව පටන් ගන්නා වාක්‍යය එක දෙක තුළ ඒ සියල්ල තියෙනවා.
එකම පුතාගේ උදාසීන ජීවියේ සාන්දෘෂ්ටික නැඹුරුව, හුදකලාව සහ දුර, ඒ මැද මර්සෝ නම් චරිතය සතු මානුෂිකත්වයේ හැඩය, ඔහුගේ හුදකලා ජීවිතයේ යමක් සිදු වුණු බව, තම අනාගත ජීවන ක්‍රියාවේ අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය, ඒ සියල්ලට සාමාන්තරව බිහිසුණු නිදහස් සටනක් ඇවිළෙන ප්‍රංශ යටත්විජිතයක් වූ අප්‍රිකානු - ප්‍රංශ ඇල්ජීරියාවේ දේශපාලන හා දාර්ශනික තත්ත්වය, කන් නෑසෙන හා ලියන්නට කියන්නට බැරි දිළිඳු මව සෙවණේ ඇතිදැඩි වූ අසරණ කතුවරයාගේ සැබෑ තත්ත්වය යනාදි සියල්ල ඒ වැකිය දෙක තුළ දෝංකාර දෙනවා. එය පරිවර්තකයින්ට පවා මහත් අපහසුව ඇති කරන සංක්ෂිප්ත සාන්දෘෂ්ටික වැකි දෙකක් ලෙස ප්‍රසිද්ධයි.
මගේ ලිවීම තුළ ඒ පළවෙනි වාක්‍යය සොයා ගැනීමයි, ලියන්නට වාඩිවීමයි බොහෝ දුරට එකක්. ඒ වාක්‍යය සාර්ථක වුණොත් මට ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. මෙහි වාක්‍යය කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් නෙවෙයි. ඉන් අදහස් කරන්නේ නවකතාවේ ආරම්භයයි.
සංවාදකයා - ඔබේ කතාවේ මුල් වාක්‍ය සහ අවසන් වාක්‍ය දැනගෙනද වාඩිවෙන්නේ...
මුල් වාක්‍යය දැන ගෙන. ඒත් අවසන් වාක්‍යය නොදැනයි කියන්න පුළුවන්. අවසන් වාක්‍යය තීන්දු කරන්නේ නවකතාවේ යථාර්ථය හා ආකෘතිය මගින්.
පළමුවෙනි වාක්‍යයෙහි ලා පවතින කර්තෘගේ බලය හා ආධිපත්‍යය අවසන් වාක්‍යය සම්බන්ධයෙන් නැහැ. එය සිහිනයක අවසානය වගේ වුණත්, නින්දෙන් නැගිටීමේ ස්වාධීනත්වය එහි තියෙනවා.
ප්‍රංශ චිත්‍රයක තියෙනවා මහා ප්‍රබුද්ධනයේ දාර්ශනික වෝල්ටෙයාර් උදේ ඇඳෙන් නැඟිට කලිසම අඳිමින් ම සිය ලේකම්වරයාට ලියා ගන්න යමක් කියන හැටි. දැක්ක සිහිනය වෙනුවෙන් ලේඛකයා පාඨකයාට වගකියන්න ඕනෑ. එය මනෝවිශ්ලේෂණ විචාරය අනුව තම සිහිනය ‘මහ පියා’ වෙත හෙළිකිරීමක් විය හැකි යි.
මුල් වාක්‍යය හා අන්තිම වාක්‍යය අතර ඔබ ‘මසන මැස්ම’ හරි අමුතු එකක්. එහෙම අසන්නට ඔබට තියන ආත්ම ශක්තියට හා පත්තරකාර බලයට මම හිස නවනවා. පියාගේ බලයට අභියෝග කිරීමකුත් අන්තිම වැකියේ තියෙනවා.
වෝල්ටර් බෙන්ජමින්ගේ විචාර ලියවිලිවලින් කියවෙන්නේ ‘පැරැණි කතාව’ මරණය ජීවිතයේ එළිපත්තේ තිබුණු යුගයක බිහි වූවක් වන අතරේ ‘නවකතාව’ කියන්නේ විද්‍යාවේ හා සනීපාරක්ෂාවේ මහත් අනුහසින් වසංගත, අහේනි, සාගත ඇතුළු මරණය යම් ප්‍රමාණයකින් ජයගත් යුගයේ ශානරයක් වන බවයි.
ඒ අනුව නවකතාවේ අවසානයක යම් විධිහක අභියෝගයකුත්, අපරාජිතත්වයකුත්, අනාගත පැතුමකුත් ඇතුළත් වනවා. සමහර විට නවකතාවක අවසානය ලෙස පවතින්නේ භාෂා තලයක දී කතුවරයා යථාර්ථය සමඟ ආත්මීය වශයෙන් හොඳටම ගැටී කතුවරයා වෙහෙසට පත් වී සිය සටන අත්හැර දැමීමක් විය හැකියි.
සංවාදකයා - ඔබ පසුගිය වසරේ ලියූ ‘සඳ ගමන’ නවකතාවෙන් කියැවෙන්නේ තමන්ගේ මුල් කෘතිය පළ කර ගැනීමට දුෂ්කර ජීවිතයක් ගත කරන අංකුර ලේඛකයෙක් ගැන. ඔබත් ඔබේ ලේඛනය පටන් ගන්නේ කවියෙන්. ඔබේ මුල්ම කෘතිය 'මැදියමේ ගීතය' පළ කර ගැනීමේ දී විඳි අත්දැකීම් මේ කතාව ඇතුළේ තියෙනවා ද ?
නැතුවා නොවේ. මුල් කෘතිය සම්බන්ධයෙන් මගේ තත්ත්වය ඒ කතාවේ චරිතයට වඩා බොහොම අවාසනාවන්තයි.
ඒ චරිතය විභාග ලියන්නට පමණක් සරසවි යමින් බැංකුවෙන් නොගෙන එකතු කරන ලද ශිෂ්‍ය ණය ආධාරය ජනතාවාදී ශිෂ්‍ය නායකයාගේ අවංක මැදහත් වීමෙන් ලබා දෙනවා. නමුත් ජනතාවාදයට කලාවයි සාහිත්‍යයයි තේරෙන්නේ නැහැ.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ කෘතියේ තෙවැනි මුද්‍රණයේ පෙරවදනේදී කියනවා නව ලේඛකයන් බිහි විය හැක්කේ ඔවුන් ලියන දේ උසස් තත්ත්වයක තිබුණොත් පමණක් බවත්, එකල මෙන් ඕනෑම දෙයක් ලියා ලේඛකයෙකු වශයෙන් ප්‍රශංසාව ලබා ගැනීම දැන් දුෂ්කරව තිබෙන්නේ ඒ නිසා බවත්. ඔහු මෙහෙම කියන්නේ නවසිය හැටේදී.
හැබැයි අද වෙද්දි මේ තත්ත්වය වෙනස් වෙලා නේ ද? ලියන දේ මොකක් වුණත් තමන් ලියන මුල්ම කෘතියෙන් බොහෝ ප්‍රශංසා ලබන ලේඛක ලේඛිකාවෝ අද බිහිවෙනවා...
අද තත්ත්වය කොයි තරම් වෙනස් වී, සාහිත්‍යයේ නිර්ණායික ජනප්‍රියවාදය හා ඊට අනුබල දෙන විචාරවාදයක් මගින් තීරණය වුණත් සරච්චන්ද්‍රගේ නිගමනය හෝ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ හෝ කැන්සල් වෙලා නැහැ.
අද මොකක් වුණත් තමන් ලියන මුල්ම කෘතියෙන් බොහෝ ප්‍රශංසා ලබන්නන් හෝ මහාචාර්යවරුන් අතින් උසස් ලෙස නිර්දේශ වන දේවල් හෝ සරච්චන්ද්‍රගේ කල්පනාලෝකවාදයට ගැළපෙන දේවල් නොවේ.
නපුර තිබෙන්නේ ඔබ කියන සාහිත්‍යයේ නොවේ. ඒවා උසස් බව හඟවන කර්මාන්තයට වාසිදායක නිගමනවලයි.
අද අපි ගෙවන්නේ සරච්චන්ද්‍ර හෝ සුචරිත ගම්ලත් නොමැති ශාස්ත්‍රාල අවධියකයි.
අද සංගීතය පවතින්නේ කේමදාස, අමරදේව නැති අවධියකයි. ඔපෙරා, ටෝන් පොයම් කිය කියා අද ළමා ප්‍රසංග, සංචාරක සාද, මොන්ටසොරි සන්දර්ශන, සරල ගී වාදන, ඔන්ලයින් පංති තියනවා.
එක අතකින් සංගීතය අමු වෙනවා. අනෙක් අතින් සංගීතය බොරු වෙනවා. සිනමාවේ තත්ත්වයත් එහෙමයි. අද සිංහල සිනමාව පවතින්නේ ලෙස්ටර්, පතිරාජ නැති අවධියකයි.
සංවාදකයා - ආධුනික ලේඛකයෙක් තමන්ගේ මුල්ම නිර්මාණය පළ කරන්න පෙර, කළ යුතු අභ්‍යාස මොනවා ද?
පළ කිරීම කෙසේ වෙතත් ලේඛකයකු තම ලේඛකයා සොයා ගත යුත්තේ තමාගේ ලිවීම තුළින්මයි.
මෑත කාලයේ එක් තරුණ ලේඛකයකු මගෙන් උපදෙස් ගන්න මා හමු වන්නට වුවමනා බව කීවත් මම එය නොතකා හැරියා. මොකද මට හැඟුණා ඔහු තුළ කවියකු ඉන්නා බවක්.
මා නිසා හෝ මගේ කවියා නිසා හෝ ඔහු හෝ ඔහුගේ ඔහුගේ කිවිඳා හෝ මියයනු බව දකින්නට මං කැමැති වුණේ නැහැ. අද ප්‍රශ්නය ලියන මොහොතේම එය පළ වීමයි. පරිගණක තිරයේ තිබෙන දෘශ්‍ය ආකර්ෂණය හා උද්දීප්තභාවය සමඟ කාව්‍යමයභාවය හා කාව්‍යාකෘතිය හොඳටම පැටලිලා.
මේක ඇති වුණේ බුද්ධිමය ප්‍රහේලිකා සහිත ලඝු කවියෙන් හා සිංහල හයිකුවෙන්. කවිය එහෙම සැහැල්ලු දුටහට ලියන මාධ්‍යයක් නොවේ. පරිගණකයේ ‘ඩිලීට්’ මූලධර්මය, උද්දීප්තියේ මූලධර්මය, අවධානය බට්ටා පැන්වීමේ මූලධර්මය හා ක්ෂණික තිර ජවනිකා සංක්‍රාන්තියේ මූලධර්මය කවියට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.
සංවාදකයා - ඇයි ඔබේ නවකතාව ‘සඳ ගමන’ ලෙසින් නම් කළේ...? එය යම් සංකේතාත්මක අර්ථයකින්ද භාවිත කළේ...
සඳ ගමන මෙහි දී සංකේතිකයි. නීල් ආම්ස්ට්‍රෝං සිය අඩි සටහන සඳ මතුපිට තබනවා. එහි පා සටහන් ඡායාරූපය අග්‍රගන්‍ය කෘතියක්. ආම්ස්ට්‍රෝං’ මහත්තයා කිහිප වරක් උඩ වීසි වී වැටෙනවා. එය ඔහු සතුටින් කළ සෙල්ලමක් ද කියලා කියන්න අමාරුයි.
යූරී ගගාරින්ගේ ලාංකා ගමන මගේ ළමා ජීවිතයේ අමතක නොවන සිද්ධියක්.
ලේඛකයාට ඔහුගේ මුල් කෘතිය ලිවීම හඳට යාමක් නම් එය පළ කිරීම අඩි සටහන සඳ මතුපිට තබා ආපසු ඒමක් හා ආම්ස්ට්‍රෝං’ මහත්තයාගේ සතුට වගේ. ආපසු උප යානය හඳෙන් උඩට ගෙන පරිවාර යානයට සම්බන්ධ කිරීම අවදානම් වැඩක් වුණා. වටේ යන යානය පදවන්න තෝරා ගත්තේ තමාගේ හොඳම මිත්‍රයා වුණත් හඳේ දමා එන්න තරම් හිත තද නියමුවෙක්. මේවා ගුවන්විදුලියෙන් එදා අපිට කිව්වේ ඊ. ඩබ්ලියු. අදිකාරම්. කෙනෙකුගේ මුල් කෘතියට ලැබෙන පිළිගැනීමත් මේ වගේ දෙයක්. එහි ඇත්තේ ‘ටු බී හෝ නොට් ටු බී’ වගේ හැම්ලට්වාදී විතර්ක අමාරු තත්ත්වයක්.
සංවාදකයා - ඔබේ නවකතාවේ කේන්ද්‍රීය චරිතයත් නොබෙල් සම්මානලාභී ලේඛක නුට් හැම්සන්ගේ (Knut Hamsun) ‘Hunger’ නවකතාවේ කේන්ද්‍රීය චරිතයත් ආත්මීය වශයෙන් සමානයි. ඔබ ‘සඳ ගමන’ ලියන්නේ ඉන් ලැබුණු උත්තේජනයක් නිසා ද?
එස්. එලියට්ගේ හා හැරල්ඩ් බ්ලූම්ගේ ඉගැන්වීම් මා මේ නොවෙල්ලාවේ දී හිස මුදුනින් පිළිගෙන තියෙනවා.
‘අංකුර ලේඛක මනස’ ‘අනුකාරක ලේඛක මනසක්’ බව කිව යුතු කාරණයක් වන නිසා මා මගේ ‘හැම්සන්වාදය’ එළිපිටම එහි කියා තියෙනවා. එය මේ කෘතියේ අංගයක් ලෙස නිරූපණය වෙනවා.
‘ලේඛක - අනෙකා’ නැති නම් ‘ලේඛක - තමා’ ද නැත යන ගැඹුරුතම මනෝවිශ්ලේෂණාත්මක කාරණයත් මෙහි දී මතු වෙනවා. අංකුර ලේඛකයාගේ ද්විත්වය, බයිනරිය, විසංවාදය හා නැපෝලියානු - රැස්කොල්නිකොව් ද්විභේදනය එහි සාන්දෘෂ්ටික ආත්මය හැටියට මෙහි පවතිනවා දකින්න පුළුවන්.
සංවාදකයා - අද දවසේ සාහිත්‍යකරුවකුගේ ජීවිතයට තමාගේම වූ අන්තර්ගතයක් හා මානුෂීය දාර්ශනික සාරයක් තියෙනවා යැයි ඔබ විශ්වාස කරන බව මේ නවකතාවේ පසු පිටෙහි සටහනෙන් තහවුරුවෙනවා. ඇත්තටම ඒ අන්තර්ගතය, දාර්ශනික සාරය සාහිත්‍යකරුවා ජීවත්වන සමාජයේ ප්‍රගමනයට යොදාගෙන තියෙනවා ද?
උසස් සාහිත්‍යයක, සංගීතයක, සිනමාවක හා නැටුමක පැතීම සමාජ ප්‍රගමනයේ කොටසක්. ඒවාට ඒවා වීමෙන් විනා සමාජ ප්‍රගමනයට උපයෝගී වෙන්නට බැහැ.
බොහෝ විට සමාජ ප්‍රගමනය යනුවෙන් අදහස් කරන්නේත්, සාහිත්‍යය හා කලාව සෘජුව සේවය වුවමනා බව කියන පක්ෂවාදීනුත් බොහෝ විට ඉල්ලා සිටින්නේ ගැඹුරු සාහිත්‍යය හෝ කලාව හෝ නොවේ. ප්‍රතිවිරෝධතාවලට මුහුණ නොදී, තමන්ට වුවමනා න්‍යාය පත්‍රික දේවල් උපුටා ගත හැකි සාහිත්‍යයයි, කලාවයි.
ගුර්නිකා අඳින පැබ්ලෝ පිකාසෝ වගේ මහා කලාකරුවන් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ව සිටිය දී පවා සමාජ ප්‍රගමනයේ කොන්දේසි ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු පක්ෂයට ඇඳපු සාම පරෙවියාත් අසාර්ථක එකක්. ඒ වුණාට ප්‍රංශ අධියථාර්ථවාදීන් සමඟ ලෙනින් හා මාක්ස්වාදීන් තුළ තිබුණේ පුදුමාකාර ප්‍රශංසාත්මක බැඳීමක්.
සංවාදකයා - ‘සඳ ගමන’ අවසන් වෙන්නේ මෙරට මැද පන්තිය ඔවුන්ගේ පිළිසරණ ලෙස වාම වාදයේ ගමන් මඟ පිළිබඳ බලාපොරොත්තු සහගත සංඥාවක් සමඟ. ඔබ මේ නවකතාව ලියද්දි, පළ කරද්දි තිබුණු පාලන තන්ත්‍රය නෙවෙයි අද තියෙන්නේ. ‘අට්ටාල’ හිස් කළ, වාම වාදී නැඹුරුවක් ඇතැයි කියන පාලන තන්ත්‍රයක්. ඉතින් මෙරට මැද පන්තියේ ඒ සුබවාදී බලාපොරොත්තු ඉටුවෙයි ද?
සාහිත්‍යය හා කලාවට පාදක වන්නේ විසඳුම් නොවෙයි, ඉමහත් ප්‍රතිවිරෝධතා සහිත ගැටලුයි.
සාහිත්‍යයට හා කලාවට ඇත්තටම වැදගත් වන්නේ කලාත්මක නිදහස හා කලාකරුවාගේ බැරෑරුම්කමයි. විනෝද කර්මාන්තයට හෝ විනෝද කර්මාන්තයේ විනෝද විචාරයට හෝ අනුගත නොවන ස්වාධීන සාහිත්‍ය හා කලා දිවියයි.
අද දේශපාලනයට විනෝද කර්මාන්තය වුවමනා වුණත් සාහිත්‍යයට එය වුවමනා නැහැ. මට හිතෙන්නේ අද දේශපාලනය හා විනෝද කර්මාන්තය අතර තිබෙන්නේ අශුද්ධ සන්ධානයක්.
තමාගේ කියන්නට පුළුවන් ලේඛකයෝ හා කලාකරුවෝ ඉන්නවා නං දේශපාලන ව්‍යාපාරවලට ඇති.
ඒ වුණාට සාහිත්‍යය පවතින්නේ කිසිවකුට එසේ කියන්නට බැරි සාහිත්‍යයක් හා කලාවක් වෙනුවෙන් නැහෙන්නට සාහිත්‍යකරුවා, කලාකරුවා හා විචාරකයා සූදානම් නම් පමණයි.
විචාරකයා කලාව පාවා දෙන නිමේෂය ඉතා භයානක කෆ්කානු නිමේෂයක්. කෆ්කා දේශපාලනික වන්නේත්, දේශපාලනය එයා ගැන දැන ගන්නේත් මරණයෙන් බොහෝ කාලයකට පසුයි. ප්‍රංශ චින්තක ගයිල් ඩිලූස් ඔහු හඳුන්වන්නේ ලෝක සුළුතර සාහිත්‍යයේ නාග මාණික්‍යයක් හැටියටයි.
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(උපුටා ගැනීම ලක්මාල් බෝගහවත්තගේ මුහුණු පොත ඇසුරිනි)
2025/05/18 සති අග අරුණ පුවත්පතේ පළ වූවකි.