සිනමාවෙන් කතන්දර විතරක් අහන්න, බලන්න පුරුදුවෙලා හිටපු කට්ටියව කරකවල අතහැරියේ ධර්මසේන පතිරාජ. ඒ අහස්ගව්වෙන්.
ඇත්තටම ඒකෙන් පෙන්නුවෙ වෙනස්ම ජීවන රූපකයක්. බහුතරයක් දෙනා අමතක කරලා දාපු ජීවන පරාසයක්.
කලංසූරිය, කොස්තා, විජය කුමාරතුංග, වික්‍රම බෝගොඩ, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, බන්දුල විතානගේ ඇපේට තියලා, පොදු ප්‍රේක්ෂකයා බලන්න පුරුදුවෙලා හිටපු සිනමා දොරටුවෙන් වෙනම පැත්තක අලුත්ම කවුළුවක් ඇරලා ඒකෙන් ලෝකය බලන්න පුරුදු කළා.
ඇත්තෙන්ම ඒකෙන් පෙනුණෙ අපි ඇතුළෙම හැංගිලා තිබුණු අපටම නොපෙනෙන ජීවිත.
පීටර් වයිස් රචනා කරපු මරාසාද් නාට්‍යය සිංහලට පරිවර්තනය කරල අපේ වේදිකාවේ නිෂ්පාදනය කළේ සුගතපාල ද සිල්වා. ඒකෙ මේ විදිහෙ දෙබසක් තියෙනවා.
" වැදගත්ම දේ මෙන්න මේකයි.
තමාගේම කෙස් වැටියෙන්
අල්ලා ඇද,
කොට්ට උරයක් මෙන්
සිරුර කන පිට පෙරළා
අලුත් ඇහැකින්
ලෝකය දෙස බලන එකයි. "
අහස්ගව්වෙන් සිනමාව ඇතුලෙදිත් පතිරාජ කරන්න හැදුවෙ ඒක. විචාරකයො කිව්වෙ මේක දේශපාලන දැක්මක් සහිත චිත්‍රපටියක්, මේකෙන් උලුප්පල පෙන්නුවෙ තරුණ අසහනයම තමයි කියල.
අහස ගව්ව තිරගත වුණේ 1974 දි.
1975 දි 'වල්මත්වූවෝ' තිරගත වෙනවා. එක හැදුවෙ වසන්ත ඔබේසේකර. ඒකෙ තේමාව ගොඩනැගුනෙත් අහස් ගව්වටම සමාන්තරව. වසන්ත වල්මත්වූවෝ ප්‍රේක්ෂක සන්තානයෙ පිහිටුවන්න ඇපේට තිවුවෙ සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුනි, සමන් බොකලවල, ෂර්ලි ගෝමස්, ටෝනි රණසිංහ ඇතුළු රූපණ කණ්ඩායමක්.
ඒකෙන් එලියට පැන්නෙත් තරුණ අසහනය.
අහස් ගව්වට නගරයේ තරුණ කණ්ඩායමත්, වල්මත්වූවන්ට ගමේ තරුණ කණ්ඩායමත් පාදක වුණා.
මට හිතෙන විදිහට මේ සිනමා නිර්මාණ දෙකෙන්ම ගම්යවුණේ එවකට තරුණ චින්තන අවකාශයට බාධකයක් වුණ දේශපාලනික සහ සමාජයීය හේතු සාධක.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අහස් ගව්ව වෙනුවෙන් ලිව්වෙ
" ඉරා අඳුරුපට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවීයන්ට පෙර
අරුණලු උදයේ දිලිසෙන පිනි මත පියමං කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ......
හිරු රැස් දැඩිවී හැකිලී ගුලිවී
සැඟවී යාදෝ පිනිකැට මිහිතුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප සැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ.
කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ...........
එන්න මගේ පිය මිතුරෝ................! "
අජන්තා රණසිංහ වල්මත්වූවෝ වෙනුවෙන් ලිවුවෙ
" මලින් මලේ රොන් පොපියන
රඟන බමර ජීවිතේ
කප් තුරු හිස දළු ලියලන
නව යෞවන ජීවිතේ
අපට උරුම නැත - නාඬන් හදවත
තුරුණු පැතුම් හිසින් දරා
මතු දවසට පෙරුම් පුරා
ඉපනැලි කටු කොහොල් මැදින්
මඟ සොයනා ගමනේ - මඟ සොයනා ගමනේ
කිඳා බසින ජීවිතයට - නැත කිසි පිළිසරණේ
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා
අපිත් කිරට හැඬුවා - අපිත් කිරට හැඬුවා
සා පවසට අනේ අපිට - කිරි එරුනේ නැතුවා.........."
මට හිතෙන විදිහට මේ සිනමාපට දෙකම රූගත කෙරුණෙ 70 දශකයෙ මුල. එදා තිබුණු සමාජ විපර්යාසයන්, දේශපාලන ගැටළු, සමාජ අසාධාරණය වගේ දේවල් ව්‍යංගයෙන් මේ සිනමා පටවලට ඇතුල් කරල තිබුණා. ඒ දවස්වල අරක්ගෙන තිබුණු සමාජ ප්රශ්නවල ව්‍යුහය මේ චිත්‍රපට දෙකෙන් සියුම් විදිහට සාකච්ඡා කළා.
එදායින් දශක කීපයකට පස්සෙ අපේ ඇස් ඉදිරියේ ඇවිත් හිටගන්න 'බහුචිතවාදියා' කතා කරන්නෙත් මුලින් කිව්ව සිනමා පට දෙකේ තිබුණු තෙමාවන්ම තමයි.
හැබැයි මේ දශක ගණනාවට පස්සෙ එදා තිබුණු සමාජ හැසිරීම් උඩු යටිකුරු වෙලා. උදාහරණයක් විදිහට කිව්වොත් පීටර් වයිස්ගේ මරාසාද් පැවසුමේ මුඛ්‍ය ප්‍රකාශයක් විදිහට සුගතපාල ද සිල්වා කියූ දේ වෙනස්ම ස්වරූපයකින් සිද්ධවෙන හැටි 'බහුචිතවාදියා' නිරූපණය කරල පෙන්වනවා.
මෙතෙන්දි චිත්‍රපටයෙ නිර්මාපකයා විදිහට මාලක දෙවප්රියගේ තිරනාටක රචනයේ සහ ඉදිරිපත් කිරීමේ ශෛලිය හරිම නැවුම්. නාගරික පරිසරයෙ රිංගල යන්න පුළුවන් හැම තැනකින්ම රිංගල යන්න උත්සාහ ගන්න බහුචිතවාදියව මතුකරල ගන්නෙ දවසින් දවස අපිළිවෙල කියන චරිත ස්වභාවය මත ඔහේ ගොඩනැගෙන ගොඩනැගිලි ආශ්රයෙන්.
(බහුචිතවාදියා නිල පූර්ව ප්රචාරක පටය මෙතනින් නරඹන්න.)
අද සමාජයම මෙහෙයවන ප්‍රබල සංස්කෘතිකාංග ද්විත්වයක් වෙන භාණ්ඩ බෙදාහැරීම ( delivery ) සහ ඩිජිටල් පණිවුඩ ජාලයත් ( Skype ) තමයි බහුචිතවාදියගේ ආභරණ වෙන්නෙ. ඒ ආශ්‍රිතව ජීවිතේ ගැටගහ ගන්න දරණ දැඟලිල්ලත්, තමන්ට මුණගැසෙන කාන්තාවන් එක්ක පවත්වන සම්බන්ධතා ක්රමවේදයත් ඔස්සේ බහුචිතවාදියා ගසාගෙන යන්නෙ මොනවගේ දූපතකටද?
හරියට කන්නාඩියකින් බලනකොට පතිරාජ සහ ඔබේසේකර අවුස්සලා බලපු සමාජ විපර්යාසයන් සහ අසාධාරණයන් තව තවත් වෛරස්ගත වීමෙන් පස්සෙ ඔඩු දුවපු තුවාලයක හරස්කඩක් විදිහට තමයි මගේ සන්තානයට මේ සිනමා අත්දැකීම ඇතුල්වෙන්නෙ.
අහස් ගව්ව, වල්මත්වූවෝ හදපු කාලෙ පතිරාජ සහ වසන්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරල නන්නත්තාරයො විදිහට සමාජයෙ රස්තියාදු ගහල එයාලගෙ යාලුවන්ගෙ එක එක වේදිකා නිර්මාණ වගේ ඒවටත් අඩ තියල දූවිලි මතින්ම නැගිටපු අවුරුදු 28, 30 තරුණයො.
මාලක දෙවප්රියගේ ඉතිහාසය දිශාගත වෙන්නෙත් ඒ හා සමානම සමගාමී විධික්රමයකින්. මේ තුන්දෙනාම ස්පර්ශ කරන්නෙත් තාරුණ්යයමයි. වත්මනේ අපසතුව සිටින තරුණ රංගවේදියෙක් වන කළණ ගුණසේකර සහ පරිණත ලක්ෂ්මන් මෙන්ඩිස් මේ තුළ අති දක්ෂ රංගනයක යෙදෙන බව අවංකවම පැවසිය යුතුයි.
වරක් මේ සිනමා සිත්තම තරංගනී ශාලාවේ තිරගත කළ මොහොතක අපේ රටේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙක් සහ තිර රචකයෙක් වන බූපති නලින් පැවසුවේ බහුචිතවාදියා අපේ සිනමාවේ Turning Point එකක් වන බවයි.
ලාංකේය සිනමාව ප්‍රබෝධමත් අවධියකට පිවිසෙමින් සිටින මෙවන් මොහොතක " බහුචිතවාදියා " සමග මාලක දේවප්‍රිය නම් තරුණ අධ්යක්ෂවරයාගේ පැමිණ සිටීම අතිශයෙන්ම වැදගත්.
සටහන - හේමන්ත අරුණසිරි
( හේමන්ත අරුණසිරිගේ මුහුණු පොත ඇසුරිනි)